මහා දඩයක්කාරයාගේ වල් ඌරු දඩයම.


මාටින් ආතා පුංචි සන්දියේ අපේ ගෙවල් ලඟපාත හිටපු වයසක උන්දැ කෙනෙක්.අවුරුදු අනූගානක් උනත් කඩමන්ඩියට පයින්ම ගිහින් බඩුමුට්ටුටික අරගෙන පයින්ම ආපහු එන්න තරමට උන්දැට අතපය වාරු තිබුනා.අපි පුංචි සන්දියේ මාටින් ආතාගේ කතා අහන්න හරිම කැමතියි.ලංකාවේ ඒ කොනෙත්,මේ කොනෙත් හැම අහුමුල්ලම දැනගන්න තරම් මාටින් ආතා ඇවිදලා තියනවා තමයි උන්දැ කියන්නේ.කිව්වත් වගේ කොයි පළාතේ ගමක් කිව්වත් ආතා ඒ තියෙන්නේ කොයි ඉසව්වේද කියල හරි අඩුගනනේ කියන්න දන්නවා.
 
උන්දැ කාලෙකට ඉස්සර කොළඹ දාගෙන හිටපු තේ කඩෙන් උදේට ලැවරියා කාල තේ බොන්න හිටපු ජනාධිපති ප්‍රේමදාස උන්නැහෙත් ආව කියලයි කියන්නේ.ඒ විතරක් නෙවෙයි නොගෙවපු ණයත් එකයි පනහක් තියනවලු.අපි ආසාවෙන් කතන්දර අහගෙන හිටියට මොකද අපේ අහල පහල ඒ දවස්වල කරදඩු උස්මහත් වෙච්චි කොල්ලෝ කතාව ඉවරවුනාම “මාටින් ආතේ,පච කියන්න එපා”කියල කොලොප්පන් කරනවා.එතකොට උන්දැට අසූහාරදාහට කේන්ති ගොහින් හැරමිටිය අතට අරන් නැගිටිද්දී ඒ පෝරිසාදයෝ දුවල ඉවරයි.
 
මේ කියන්න හදන්නේ උන්දැ කියපු එක කතාවක්.කොල්ල කාල ගම්පහ පළාතේ කාලයක් ජීවත් වෙච්චි මාටින් ආතා ඒ පළාතේ නම ගිය දඩයක්කාරයෙක් කියලයි උන්දැ කියන්නේ.ඉතින් දවසක් ඉර බැහැගෙන යද්දී මාලිගාතැන්න කියන පන්සල තියන පැත්තට දඩයමේ ගිහින් තියනවා වල් ඌරෙක් එලා ගන්න.ඔය පන්සලට යද්දී තියනවලු ගල් දෙබොක්කාවක් මැද්දෙන් නගින්න තියන පඩිපෙලක්.(ජාලය පීරලා හොයාගත්තු ඔය කියන තැන පින්තූරයක් තමයි මේ තියෙන්නේ.)
 
යන්තම් කළුවර කරගෙන එද්දී උන්දැට හම්බවෙලා වල්ඌරු රෑනක් ඔන්න ඔය දෙබොක්කාව ගාවදි.ගහකට මුවාවෙලා යන්තම් පේන එළියෙන් ඉලක්කේ අල්ලලා ඌරෙකුට වෙඩි තිබ්බා මාටින් ආතා.හැබැයි වෙඩි කාපු ඌරා පැන්න දිහාව හොයා ගන්න බැරිවුණා මේ අන්දකාරේ.වෙඩි කාපු ඌරා  වගේ කියන කියමන තියෙන්නේ කට කහනවට කියල නෙවෙයි කියල දන්නා උන්දැ එතනම තිබ්බා ගහකට නැග්ගා තුවක්කුවත් අරගෙන,එලිවුනාම වෙඩි කාපු ඌරාව අරගෙන යනවා කියල හිතලා.
 
ගහට නැග්ගට මොකද ආතාට සද්දයක් ඇහෙනවා ඌරා පැනපු පැත්තෙන්.
ටික්……..ටික්……….ටික්………..ටික්……….
මොකද්ද කියල හිතාගන්නවත් බෑ.රෑ එලිවෙනකම්ම මේ ටික් ටික් සද්දේ නැවතුනෙම නෑ.වටින් ගොඩින් එලිය වැටීගෙන එද්දිම මාටින් ආතා ගහෙන් බැස්සා.එත් තාමත් සද්දෙනම් ඒ විදියමයි.
ටික්……..ටික්……….ටික්………..ටික්……….
අප්පටසිරි ගජ පප්පට දෙහි ගැට කිව්වලු.මෙන්න බොලේ අර ගල් දෙබොක්කාව මැද්දේ ඌරො දොළොස් දෙනෙක් වැටිලා ඉන්නවා.සද්දෙනම් එහෙම්මම එනවා හැබැයි.උන්දැ ඉක්මනට ඌරො වැටිලා ඉන්න තැනට ගියා.දැන්නේ පේන්නේ මේ සද්දෙට හේතු කාරණේ මොකද්ද කියලා.
 
ඌරාට තිබ්බ වෙඩිල්ල උගේ බෙල්ල පසාරු කරගෙන ගිහිල්ල ගල් දෙබොක්කාවේ එක පැත්තක වැදිලා.වැදිච්ච පාරට ආපහු ඇවිත් අනික් පැත්තේ වැදිලා.ඔහොම වදිද්දී ඌරො දොළොස් දෙනෙක්ම අහුවෙලා ඔය පතරොමට.ඌරො දොළහක්ම සෙට්ටපොච්චි උනත් පතරොමනම් නැවතිලා නෑ.එලිවෙනකම්ම අරපැත්තට වදිනවා,අපහු ඇවිත් මේ පැත්තට වදිනවා.ඔය සද්දේ තමයි අර රෑ තිස්සේ ඇහුන ටික් ටික් සද්දේ.ඉතින් පොල් ලෙලි දෙකක් හොයාගෙන ආපු ආතා ටක් ගාල පොල් ලෙලි දෙකින් අර එහෙමෙහෙ වැදී වැදී තිබිච්ච් පතරොම අල්ලගත්තා.අල්ලාගෙන එකත් මඩිස්සලේට දාගෙන ගමට ගිහින් කට්ටිය එක්කරගෙන ඇවිදින් ඌරො දොළහම අරගෙන ගියා.ගමේ උදවියට එදා ඉතින් හරිම ජයයි කියලයි උන්දැ කියන්නේ.මොකද මාටින් ආතා වල් ඌරො දොළොස් දෙනෙක්ම ගමේ උදවියට බෙදල දුන්නනොවැ.
 
ඔන්න ඔහොමයි මාටින් ආතා එක පතරොමෙන් ඌරො දොළහක්ම දඩයම් කරගත්තේ.

10 thoughts on “මහා දඩයක්කාරයාගේ වල් ඌරු දඩයම.

  1. මාටිං ආතාගේ බුලට් එකේ කතාව මල් හතයි.

    MA කියලා ඉංගිරිසියෙං ලියලා හිටං ” ටිං ” එකක රූපයක් ඇදලා අස්සං කොරව්ව මාටිං කෙනෙක් ගැන මම අහලා තියෙනවා. ඒ ඔය ඔය මාටිං ආතා ද?

  2. ඔය පඬුවස්නුවර බේගල් වලත් ඔය කතාව තිබුනද මන්දා. ඕවා ඇත්තටම වගේ කියනකොට මරු ඇති නේ?
    හැබැයි ඉතිං මං නං හිතන්නෙ ඔය කතාව මාටිංගේ බේගලයක්ම තමා. නැත්තං අපේ සාම්ප්‍රදායික පුරාණ සුන්දර ගම්මානවල උන්නු සිංහල බෞද්ධ අව්‍යාජ ගැමියෝ ඔහොම පන්සල් වතුවලට පැනලා අහිංසක සත්තු මරාගෙන කනවද?

  3. මාටින් ගොයියට ලොකු කොල්ලො එහෙම කිව්ව එක සාධාරණයි. නයි වර්ගයටත්‍ නෙවෙයි ඇනකොන්ඩා වර්ගයටනෙ මේ වගේ බේගල් අයිති වෙන්නෙ.
    අනෙක චාර්මි කිව්ව වගේ සිංහල බෞද්ධ ගැමියො පන්සල් වත්තෙ සත්තු මරන්නෙ නෑ කවදාවත්. මාටින් ලොක්ක කුමන්ත්‍රණකාරයෙක්ද කොහෙද?

  4. @-deeps-ඔයානම් ඒ පැත්තේ කෙනෙක් වගේ.
    @-නවම්-ඔව් ඔව්,මරු දේව පුත්තරය. උන්දැ කියන හැටියටනම්.
    @-විකී-වෙන්නත් පුළුවන් බං,උන්දැ එංගලන්තෙත් ගියාය කියනවනේ අඳුනන සුද්දෙක් එක්ක.
    @-Charmi-එකනේ බං,සුපිරිසිදු සමාජයක(මේ දැන් වගේ) ඕව සිද්ධ වෙයිද ?
    @-“`Outsider“`-අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකාරයෙක්ද දන්නේ නෑ නේද?

  5. මේ මාටින් සීයා දැන් නැද්ද බන් ??

    අපේ ජනාධිපති තුමා දන්නවනම් මෙහෙම බුවෙක් ඉන්න බව විමල් වීරවංෂට පුකට පයින් ගහල එලවලා ඒ තැන මාටින් සීයට දෙනවා ෂුවර් . .

  6. මාටිං ආතාගේ තව රස කතා නැද්ද ? සජිත් ප්‍රේමදාසගෙන්වත් තමා දැන් ප්‍රේමදාස මහත්තයාගේ ණය බේරගන්න වෙන්නේ :))

ගල්ද මල්ද සමසිතින් පිළිගනිමී. වාරණ නොමැත.