අඩෝ…….. සංගක්කාර .


අත පය හිරිඇර ගන්නට නෙලන්න කෙනෙක් කාලෙකින් හම්බනොවුණු විමලසිරි හිටියේ හරිම අමාරුවෙන්.ඒ විතරක්නම් මදැයි,තමුන්ගේ ආර්‍යාවත්  මෙච්චර කලක් ගෙදරදී විතරක් දාපු වලිය ටික ටික ලෝකෙටම පේන්න දාන්න ගත්තු එක ගැන විමලසිරිගේ හිතට හරිම අමාරුයි.ඉස්සර රතු පාටියේ ඉන්නැද්දී කොච්චරනම් ලෝකේ පෙරලෙන්න කෑ ගහනවද,කී දෙනෙකුටනම්  වලි අදිනවද කියල හිතෙනකොටත් හිතට දැනෙන්නේ හරි දුකක්.පහුගිය දොහේ පුරාවටම අත තියන තියන වැඩේ අල වෙලාගියේ පූරුවේ කරපු අකුසලකර්මයක් හින්දද කියලත් වෙලාවකට හිතෙනවා.

පුංචිකාලේ ගමේ සාපින් මාමගේ කඩෙන් ලෙමන් පෆ් පැකට් එකක් හොරෙන් අරන් මාට්ටු වෙච්චි දා ඉඳල ඔය බිස්කට් ජාතිය එක්ක විමලසිරිගේ තිබුනේ ලොකු ආරෝවක්.අවාසනාවකට ඔය බිස්කට් හදන ෆැක්ටේරිය ලංකාවේ එකක් වෙච්චි කොට ඔය අධිරාජ්‍යවාදී ආයතනවල නිෂ්පාදන  කන්න එපා කියල ගුස්තියක් අල්ලන්න පුළුවන් කමක් තිබ්බෙත් නෑ.අන්තිමේදී තමයි ඕක කාලම තරහ පිරිමහගන්නවා කියල හිතල මාරාන්තික උපවාසයක් පටන් ගත්තේ.උපවාසේ තිබිච්ච පැය තුනට කිලෝ තුනක් ලෙමන් පෆ් කාල තමයි යන්තම් ඒ තරහ අකාමකා ගත්තේ. ඒත් ලෝකයා තමන්ට බත්නොකන මුඛයෙනුත් හිනාවෙනවා කියන එක දැනගත්තු කොට ලෙමන් පෆ් කාපු සන්තෝසේ නැතිවෙලා ගියේ,මේ දැන් විරුද්ධ වෙච්චි දේකට රජතුමා දෙන එක ෆෝන් කෝල් එකෙන් පස්සේ පක්ෂ වෙනවාටත් වඩා ඉක්මනින්.

ඉස්කෝලේ නමේ පන්තියේ ඉන්න වංගියේ  හඳ පායපු රෑක අටේ පන්තියේ හිටපු සමන්මලී  බලන්න ඒ ගෙයි පිළිකන්නේ ටැක් ගැහි ගැහි ඉද්දි සමන්මලීගේ අයියා නන්දනට අහුවෙලා කනේ පාරක් කාපු දා ඉඳලා විමලසිරිගේ හඳ ගැන තියෙන්නෙත් ලොකු ආරෝවක්.පස්සේ කාලෙක අතිජාත මිත්‍රයා ජාගොඩ එක්ක සෙට් වෙච්චි වෙලාවක කිව්වේ දවසක හඳට පොල්ලකින් හරි ගහනවා කියලා දාගත්තු දෙක වැඩිවෙලා හෙම නෙවෙයි ඔන්න .පොඩි කාලේ අහපු පරණ කතාවක් මතක් වෙච්චි ජාගොඩ විමලසිරිට මතක් කරලා දුන්නා හදිස්සියෙවත් හඳට පොලුගහන කොට ගොරක පොල්ලකින් හෙම ගහන්න එපා කියලා.

ඔය අහුඅස්සේ තමයි අර බෑන් කී මූනා කියල හාදයෙක් කරලියට ආවේ.තැටිය රත්වෙච්චි වෙලාවේ රොටිය පුච්ච ගන්න වහාම ඉදිරිපත්වුන වීරයා ඒ මූනා මොකද මේ මූනා මොකද කියලා හිතලා,මේ මූනට පොලුගහන්නයි  ආයෙත් ඉක්මනටම සෙට් උනේ. ඉතින් මහා ජන පෙළපාලියකින් එජා කාර්යාලයට ගොහින් හඳට පොලුගහලා ,කණේ පාර කාපු තරහ යන්තම් අකා මකා ගත්තා.වැඩි දොහක් යන්න ලැබුනේ නෑ මේ නාට්ටියත් වල් උනා වගේ,රටේ තොටේ ඇහෙන කොන්ඩම් කතා වලින් දැනගත්තු විමලසිරි ඉන්තීරුවෙන්ම හිතාගත්තේ මේනම් නරක ග්‍රහ අපලයක්ම තමයි කියලා.කොයි එකටත් කියල කේන්දරේ බලවාගන්න එක හොඳයි කියල නුවණක්‌ කියල දුන්නේ,මීම නාකිඋනත් අඟ නාකි නොවෙන ජේ ආර් පී මාමා.ඉතින් විමලසිරිකොයිකටත් කියල තකහනියක්ම බ්‍රහ්මදත්ත නුවරට ගොහින් කේන්දරේ බලවා ගත්තා. සාත්තර ගුරුන්නාන්සේත් කිව්වේ හිතේ තියන තරහවල් සේරම කොහොමහරි හිරකරගෙන ඉන්නේ නැතිව පිටකරන්න කියලා නොවැ.

ඉතින් ආර්‍යාවගේ ගෝරනාඩු අහගෙන  මහා -ලඹේ තුන්මහල් ප්‍රාසාදයේ මුල්ලකට වෙලා විස්සෝපෙන් ඉන්නගමන් විමලසිරි අතීතයට නුවණ විහිදලාබලන්නේ තව මොනවද තමන්ගේ හිතේ තියන තරහවල් කියලා.ඔහොම “අල්ප දයන්නක්” වගේ වකුටුවෙලා හිටපු මිනිහා හදිසියේම”ඉංගිරිසි එල් අකුර” වගේ කෙලින් වෙලා යුරේකා කියල උඩ පැන්න සද්දෙට මෙච්චරවෙලා ආඩපාලි කියකියාහිටිය ආර්‍යාවත් තක්බීර් වෙලා ගියපි.මේ හදිසියේම මතක්වුන තරහව මොකද්ද බලන්න දුවගෙන ආවේ මුසා,”ඇයි බොසා”කීයාගෙන.ඉස්කෝලේ දහයේ පන්තියේ ඉන්න වන්ගියේ,බෑක්-බෝල් කණ්ඩායමට බැඳෙන්න තිබුන ආසාවයි මේ මතක් වෙලා තියෙන්නේ තකහනියක්ම.විමලසිරි තටු ඇවිත් වගේ පියාඹලා ගියා තමුන් බෑක්-බෝල වලට පෙම් කරපු ඒ සමනල වයසට.ආසාව නිසාම ඉස්සරවෙලාම පිත්තෙන් ගහලා කණ්ඩායමට එන්න බැලුවට එක හරිගියේ නෑ.”ඔයිට වඩා හොඳ පිත්තෙන් හරඹ කාරයෝ ඉන්නවා.”බෑක්-බෝල උගන්වන ගුරුතුමා කිව්වා.බෝලෙන් දමල ගහලා කණ්ඩායමේ තැනක් ගන්න එකත් එච්චරම හරිනොගිය තැන තමයි කඩුල්ල රකින වැඩෙන් ගොඩයන්න බැලුවේ විමලසිරි.

එකනම් ටිකෙන් ටික හරියාගෙන එද්දී අලුත් කඩුලු  රකින හාදයෙක් ආපි ඉස්කෝලෙට.අලුත් මිනිහා පෙන්නපු වැඩ ඉස්සරහ විමලසිරි සෙකන්ඩ් උනේ දවසින් දෙකෙන්.ඉතින් කණ්ඩායමට යන්න ඔන්න මෙන්න ඉන්නකොට වෙච්චි මේ වින්නැහිය හින්දම තමයි ඔය කඩුල්ල රකින උන් ගැන හිතේ තරහව තාමත් තියෙන්නේ.ඔය තරහව මේ අහුඅස්සේ මතකෙට ආවේ සංගක්කාර එංගලන්තේ ගොහින් කතාවක් කලාට පස්සේ.ඉතින් සතියක් දෙකක් සංගක්කාරට වලිය අදින්න අපේ වීරයා ඉවසල හිටියා වෙන කවුරු හරි ඔය වැඩේට මුලපුරනකම්.කවුරුත් මේකට වලියක් අදින්න ලැස්ති නෑ වගේ පේනකොට තමුන්ගේ “චී නිවුස්”එකේ අභීත මාධ්‍යවේදීන් සංගාට බැස්ටිය දෙන වැඩේට යොදවන්නයි අන්තිමේදී තීරණයවුනේ.

ඒ වැඩෙන් පස්සේ උනත් වෙන කිසිම මාධ්‍යයකින් මේක පයිසෙකට ගණන්ගත්තේ නෑ.එහෙම කියලා අතට ගත්තු සටන පණ ගියත් අත අරින මිනිහෙක් නෙවෙයි මේ විමලසිරි. එහෙම කිව්වේ පහුගිය දොහක හවස්කොරේ දෙකක් දාගන්නගමන්  බණ්ඩාර දොස්තරමහත්තයට.ඉතින් කේන්දරේ පිළිවෙලට තවත් මේ තරහවනම් නිවුණේ නැති වෙච්චි මේ වීර පුරුෂය සංගක්කාර ඌ ඇම් පී එකෙන් චන්දෙ ඉල්ලනවා කියලා ආයෙත් සංගාට නෙලන්න පටන් අරන් තියෙන්නේ.මේ වැඩෙත්  වල්වුනොත් එහෙම,බලාපොරොත්තුවන්න ප්‍රේක්ෂක මහජනතාවෙනි,ඊ ළඟ එකනම් නෙලනවා ඇඩ්රස් නැතිවෙන්නම.

කොහොමහරි මේ අපල කාලේ ගෙවාගන්නත්  එපායැ.විමලසිරි කොච්චරනම් සම්පතක්ද අපේ මේ මුතුඇටේට.

8 thoughts on “අඩෝ…….. සංගක්කාර .

  1. එතකොට මේ මිනිහ බෑන්කී මූනට මේ තරම් ගෙරෙව්ව කාරණාව ඒකයි එහෙනම්. කලින් දැනන් හිටියෙ නෑ ඒක.
    සංගක්කාර දේශපානයට ඇදල දාන්න තුට්ටු දෙකේ බත් බැල ලියන්නො කිහිප දෙනෙක් වලිකනව. ඒ මොකද උන්ට ඕනි සංගක්කාරව හප කරල කුජීත කරල දාන්න. කාළකණ්නි ආශාවක්. සංගක්කාර ඒ තත්වෙට නොවැටෙයි කියල අපි බලාගෙන ඉමු.

  2. දැං උඹ මොකටද ඕවා බලා කියාගන්ඩ මහ-ලඹේ ඇඳං යට රිංගුවේ? මොකක් උනත් මටත් දැං තමා වැඩේ තේරුනේ………
    (මේ ටෙම්ප්ලේට් එක නං මරු)

  3. කිව්වත් වගේ විමලසිරි වගේ එකෙක් ඔය සංගා වගේ එවුන්ව හපලා දායි කියලා භයක් මටත් තියෙනවා.
    කතා දෙකක් නෑ විමලසිරි හීනෙනුත් පේන්න ලියලා තියෙනවා…

  4. @ Roshan-Thank you Friend.

    @ “`Outsider“`-සංගක්කාර දේශපාලනයට එනවනම් ඔය ලංකා පාර්ලිමේන්තුවේ ඉන්න උදවියගෙන් 75% ක් අයට වඩා සුදුසුකම් තියනවා.මහින්දට දේශපාලනය කරන්න තියන අයිතිය හා සමානම අයිතියකුත් තියනවා.ඒත් මමත් උඹ වගේම ප්‍රාර්ථනා කරනවා ඒ දේ නොවේවා කියලා.

  5. @ Charmi-දන්නේ නෑ වගේ අහන හැටි.ඔය මහා මන්දිරයක පස්සේ දොරෙන් නොගියොත් දැන් කාටවත් තමුන්ගේ සුභ අනාගතේ ගැන හිතන්න බෑ.මොකෝ කියන්නේ යමුද?
    (ටෙම්ප්ලේට් එක හදලා දුන්නේ වර්ඩ් ප්‍රෙස් එකේ අඳුනන අයියා කෙනෙක් බං)

    @ බූරු බබා,Shehan-ඔබේ අදහස් දහස් වටී.

ගල්ද මල්ද සමසිතින් පිළිගනිමී. වාරණ නොමැත.