Friday, August 19, 2011

බයවීමෙන් ආතල් ගැනීම සහ ග්‍රීස් යක්කු

ග්‍රීස් යක්කු ගැන ලොකු හාහූවක් තියෙන හින්දා මං කල්පනා කළා උන් ගැන යංකිසි අදහසක් ලියන්ට. ගොඩක් උදවිය ග්‍රීස් යකා ගැන ලියල තිබුණා. නමුත් W3සයිඩර් මාමගෙ විග්‍රහය ඒ අතරෙනුත් කැපිලා පේනවා. මට තේරුණ විදියට උන්නැහෙගෙ මූලික අදහස වෙන්නෙ ග්‍රීස්-යකා භීතියට ආසා කරන සමාජයේ නිර්මාණයක් කියන එකයි. අනිත් පැත්තෙන් ආණ්ඩුව දේසපාලන වාසි ලබාගන්න ග්‍රීස් යක්කු පාවිච්චි කරන බවකුත් කියල තිබුණ. දේසපාලනේ දන්න අය දන්නවා මොන මළ යකෙක් උණත් දේසපාලනේට පාවිච්චි කරන්න පුළුවන් නං නොකර ඉන්නෙ නෑ ආණ්ඩුව. ජේ වී පී කාරයො යූ ඇන් පී කාරයො උණත් එහෙමයි.

කාලෙකට ඉස්සර දිවයින පත්තරේ කසුරිගෙ කොලමෙ ඔය වගේ හාසජනක කතාවක් තිබුණ. ජේවීපී කාරයො රටේ පුරස්න ඇති කොරනවාය කියල ඒකාලෙ ආණ්ඩුවෙ ඇමැත්තෙක් කියපු කතාවකට. විපක්සෙ එවුන්ට දේසපාලනේ කියල කරන්න තියන්නෙ රටේ ප්‍රස්න ඇති තැං හොයාගෙන එව්ව ගැන කෑගහන එක නෙව. ඒ නිසා ඒ උදවිය ඔව්වා හොයා බලනවාත් වෙන්නැති.

නමුත් ඒ විදියෙ නිගමනේකට එන්න නම් ඒ කියන්නෙ සංවිධානාත්මක "ග්‍රීස්-යක්කු කල්ලියක්" වගේ අදහසක් ගන්න නම් ඉතින් මාමා කියනවා වගේ සෑහෙන්න තොරතුරු තියෙන්ට ඕනැ ඒ අයගේ වැඩ ගැන. යූ ඇන් පී කාරයෝ නම් කොහොමවත් මේවගේ වැඩකට අත දාවි කියල හිතන්ට අමාරුයි උන්නැහෙල නායක යකා එලවන්ටය කියලා නටන තොවිලෙ නිසා මේ දවස වල ඉන්නෙ පරලවෙලාමයි. වෙන යක්කු ගැන හොයන්ට බලන්න ඉස්පාසුවක් තියෙන එකක් නම් නෑ.

පොඩි ප්‍රශ්නෙකට තියන්නෙ ග්‍රීස් යක්කු රටේ තැං කීපෙකින් එකම කාලෙදි මතුවීම තමා. ඒ වගේ වුණාම ජේවීපී කාරයො නැතත් සංවිධානාත්මක වැඩක් වගේ හිතෙන්න පුළුවංකම තියනවා. ආණ්ඩු විරෝධියෙක් කියාවි ආණ්ඩුව වාසි ගන්නම කරන වැඩක් කියලත්. ඒතරං වැඩක් ඇති වාදයක් නොවන නිසා ඒක අල්ලලා දාමු.

ඊලඟට ග්‍රීස්-යක්කු සහ භීතිය කියන කාරණාව ටිකක් හොයල බලන්ට වටිනවා. මොකද ඒක නිකන්ම කියන්නෙ නැතුව සාස්ත්‍රීය කයිවාරුත් එක්ක නෙව මාම කියන්නෙ. කොහෙන්ද මනෝ විද්‍යා "තියරියකුත්" ඒකට අමුණල තිබුණ.

අපි මේ කාරණේ බැලුවොත් ඒ කියන්නෙ ජනතාව භීතියක් ඇති කරගන්න ආසාවෙන් පෙලෙනවාය කියන එක. සයිඩර් මාමාට අනුව මේකට හේතුව වෙන්නෙ පොරබාකොරංගෙ මරණෙන් පස්සෙ ලංකාවෙ ජනතාවට බයවෙන්න කාරණයක් නැති වීම. මේක උන්ට මානසික අඩුපාඩුවක් 'හිස්තැනක්' වගේ එකක් හදන නිසා ග්‍රීස්-යකුන් වැනි භීතිකා මවාගෙන කරගෙන හිස්තැන පුරවා අමුතු ආතල් එකක් ගන්න බව. නැත්නම් බිය පාවිච්චි කරන්නෝ කට්ටියක් උවමනාවෙන් භීතීන් ඇතිකොට එයින් ජනතාව මුලාකොට වාසි ලබා ගන්න බව තමයි පෙන්නන්න තනන්නෙ.

තවත් මේ වගේ භීතිකා ගැන මාමා කියල තිබුණ ඒ මෙහෙමයි "විශේෂයෙන්ම වර්තමාන සමාජයේ බහුතරයක් මිනිස්සු විවිධ භීතිකාවන්ගෙන් පෙළෙති. හමේ පාට කළු වීමට බිය, කෙට්ටු වීමට හෝ තරබාරු වීමට බිය, කොණ්ඩය ඉදෙනවාට බිය, විභාග අසමත් වනවාට බිය, රැකියාවෙන් දොට්ට වැටේ යයි බිය, බස්වල බෝම්බ පිපිරෙතැයි බිය, අනාගතයේදී තම ජාතියට වඩා සෙසු ජාතීන් බලවත් වේ යයි බිය, ප්‍රභාකරන්ට වඩා දරුණු ත්‍රස්ත නායකයකු බිහි වෙතැයි බිය, බටහිර කුමන්ත්‍රණවලට බිය, ඉන්දියාව ලංකාව අල්ලා ගනිතැයි බිය, ලෝක විනාශයක් සිදු වෙතැයි බිය ආදී වශයෙන් මෙබඳු භීතිකාවන්ගේ අසම්පූර්ණ ලැයිස්තුවක් සාදාගත හැකිය."

ඊලඟට මාම කියනවා මිනිස්සු ජාති දෙකක් ගැන ඒ තමා බයෙන් පෙළෙන මිනිස්සු සහ තාර්කික මිනිස්සු.

"භීතියෙන් පෙළෙන මිනිසාට තාර්කික මිනිසා කරන අයුරින් මැදහත් සිතකින් යුතුව, තමන්ට ලබාගත හැකි සියළුම තොරතුරු භාවිතා කර හොඳ නරක මැනවින් කිරා බලා නිගමන වලට එලඹීමට නොහැකිය. මිනිසා තාර්කික ලෙස හැසිරෙන්නේය යන පදනමින් අර්ථ ශාස්ත්‍රඥයින් ගොඩනැඟූ න්‍යායන් සියල්ලේම පදනම බියෙන් පෙළෙන අතාර්කික මිනිසා ඉදිරියේ බිඳ වැටිණි. හැසිරීම පිළිබඳ අර්ථ ශාස්ත්‍රය පැන නඟින්නේ මෙකී බියෙන් පෙළෙන අතාර්කික මිනිසා තීරණ ගන්නා ආකාරය විග්‍රහ කිරීමටයි."

ඔන්න දැන් තමා තැනට ආවෙ. මමත් කාලෙක ඉඳන් හොයනවා මේ තාර්කික මෑන්(වුමන් හරි කමක් නෑ) කෙනෙක්. දැං බලාන ගියාම තියරි කාරයෙකුත් ඉන්නවා පුරස්නෙ දන්න. සයිඩර් මාමත් තර්කබුද්දිය වෙන්ටැ යොදාගන්නෙ. වාසනාවං!

තර්කානුකූල කම කෙසේ වෙතත් තර්ක දාගෙන බයවෙන්නත් පුළුවං. උදාහරණෙකට පිටසක්වල ජීවියො ඇවිල්ල මිනිස් වර්ගයා විනාස කරයි කියල මහා තර්ක කාරයෙක් කියල කියන සුදු මහත්තැන් කෙනෙක් කියල තිබුණ. ආයෙ අර ග්‍රහකය ලඟට ආවා මේ ග්‍රහකය ගැටෙන්න පුළුවං කියල ඒ උදවිය කාලෙං කාලෙට කියනවා. මේවා නං ඉතිං තර්කානුකූල භීතිය නිසා අවුලක් නැතුව ඇති මයෙ හිතෙ.

පොරබාකොරං භීතිකාව අයිතිවෙන්නෙ අනාගත භීතිකාවකටද නැත්නම් අතීත භීතිකාවකටද? ඒ කාලෙනං ඕක පාවිච්චි කළේ හුදී ජනතාව බියවැද්දීම මගින් දේසපාලන වාසි ලබා ගැනීමට. ඒක තර්කානුකූල භීතිකාවක් නිසා හැමෝම දේසපාලන විසදුම පිළිගන්න ඕනය කියල පඬිතුමාල වර්තමාන භීතිකාවක් ඇති කරගෙන හිටියා. පස්සෙ පස්සෙ ඒක පුස්සක් බව පෙනී ගියා. ජිනෝසයිඩ් භීතිකාව, මාධ්‍යවාරණ භීතිකාව එහෙම ආවෙ ඊට පස්සෙ නෙව. මතකද මන්ද?

අනේ මන්ද ඉතින් තර්කානුකූල සාස්ත්‍රීය භීතියක් ඇති කර ගැනීමේ ආතල් එක අර ග්‍රීස්-යකා භීතිකාවට වඩා වෙනස්ද කියන්න අපි දන්නෙ නෑ.

ආයෙත් බ්ලොග් අවකාශයේ හැක් වීමට බිය එහෙමත් වැදගත් වෙනවා විසේසයෙංම ආතල් එක පැත්තෙන් බැලුවාම.

දැං ඔය හොරර් ෆිල්ම්ස් කියල ජාතියක් තියනවා. (පොඩිකාලෙ මම හිතාන හිටියෙ හොරකං කිරීමට සම්බන්ධ දෙයක්ය කියල ඉංගිරිස් බැරි නිසා) එව්ව තියන්නෙත් භීතියෙං ආතල් එකක් ගන්න නේද? එව්වාට සම්මාන දෙනවාත් නෙව. එව්ව වැටෙන්නෙ සාස්ත්‍රීය ගණේටද නැත්නම් පීචං ගණේටද? මිනිස්සුන්ට බයවෙන්ට දේවල් හදන එක නැගල යන වියාපාරයක් නෙවෙයිද?

ධම්මපදයෙ නම් තියන්නෙ තණ්හාව තමා භයට හේතුව. තණ්හාව නැත්තාට භය නෑය කියල. නමුත් ලෝකෙ යන්නෙ තණ්හාව වැඩි කරන පැත්තට නෙව. තර්කානුකූල පොරවල් වලට බය නැත්ද කියන එක එතන කියවිලා නෑ. ඕං කරනවානම් පර්යේසන. බටහිර විද්‍යාත්මක ක්‍රමේ කොරන උදවියට.

11 comments:

  1. මොන ක්‍රමයට පර්යේෂනය කලත් තන්හාව නැති කරන කන් භීතිය නැති වෙන්නේ නැනේ . හැබැයි අඩු කරන්න පුලුවන් . මිනිස්සුන්ට කිසිම බලපැමක් කරන්න පුලුවන්ය කියල පේන්ට නැති දෙවිවරු , යක්කු , අත්භූත බලවේග ගැන සාමාන්‍ය මිනිස්සුන්ගේ තියන අන්ධ විශ්වාසය අයින් කරන්න කටයුතු කරනවා නම් , දෙවීවරුන්ගේ උදව් ගන්න , යක්කුන්ගෙන් වැඩ ගන්න වගේ මෝඩ කථා රටේ ප්‍රචාරය නොකර ඉන්නව නම් අනව්ශ්ය භීතිය හෙවත් මෝහයෙන් මත්වුන භීතිය අවම කරන්න පුලුවන් . රාගය හා මෝහය මුල් කරගෙන ඇතිවන භීතියේ අවසාන ප්‍රතිඵලය ද්වේශය භව පැහැදිලිවම පේන්න තියනවනේ . ඒ නිසා දැන්වත් මිනිස්සුන්ව මෝහයට පත් කරන මිත්‍යාවල් රටේ ව්‍යාප්ත වෙන නවත්වනව නම් රාගාධික මිනිස්සු වුනත් අනව්ශ්‍ය භීතියක් , අනවශ්‍ය දේවල් කෙරේ ඇති කරගන්නේ නැති වෙයි . තාර්කික බවෙන් නැති වෙන්නේත් ඔය කියන මෝහයම තමයි . තන්හාව පවතින තාක් කල් තාර්කික බව නිසාත් භීතිය ඇතිවෙන්න පුලුවන් . ඉස්සෙල්ල අපි මෝහය නැති කරගෙන ඉමු පුලුවන් තරම් දුරට , එතකොට තන්හාව අවම කරගන්නත් ලේසි වෙයි

    ReplyDelete
  2. ආයෙත් දීල තියෙන්නෙ කරටිය කැඩෙන්නම

    ReplyDelete
  3. මෙතන මෝහය කියන කාරණේ ගැන පොඩි පටලැවිල්ලක් කොරගෙන නේද බුවෝ? බුද්ධ ධර්මයේ කියවෙන මෝහයයි මෝඩකම කියන අර්තෙං කියවෙන එකයි අනානොගත්තා නං තමා හොඳ.

    දෙවියංගෙන් උදවු ගන්න පුළුවංය කියන එක අන්ධ විස්වාසයක් කියල කියන්නෙ බුවා කොලුවගෙ විස්වාසයක් විතරයි නේ. තමංගෙ විස්වාසය විතරක් හරිය අනිත් එව්ව අන්ධ විස්වාසය කියල ප්‍රචාරය කරන්නෙ මෝහයෙං ද්වේසයෙං නොවේය කියල තියෙන සහතිකේ මොකද්ද?

    බටහිර විද්‍යාවට ගැලපෙන භීතිය හොඳයි අනිත් එව්ව නරකයි කියලවත් කිව්ව නම් ඔන්න තේරුමක් තියනවා (මෝඩ කතාවක්ම උණාට)

    ඒ කොහොම උණත් මට කියන්න ඕන වුණේ භීතියක් මවාගෙන ආතල් ගන්න එක අලුත් දෙයක්වත් ලංකාවෙ විතරක් වෙන දෙයක් නෙවෙයි කියන එකයි. සයිඩර් මාම වගේ අය කෝකටත් තෛලය වගේ ඕව යොදාගන්නවා.

    ReplyDelete
  4. ඔබතුමා බුද්ධාගමේ මෝහය කියල හිතාන ඉන්නේ මොකක්ද කියන්න මම දන්නේ නැ . තමන් මහ ලොකුවට උඩ දාගෙන ඉන්න මිනිස්සුන්ගෙ සංකල්පයකට යන්තම් වැදුනත් _ක උඩදාගෙන දඟලන එක මිසක් මම කියල තියෙන්නේ මොකක්ද කියල තේරුම් ගන්න පාඨක් නැ . කියන්න තියන දේ මම කියල තියෙන්නේ . තේරුම් ගන්න බැරි නම් හෝ අවශ්‍ය නැත්නම් මට කරන්න දෙයක් නැ .


    ඔබතුමා දෙවියන්ගෙන්ම හැම එකටම උදව් ගන්නකො . මම නම් සතපහකට විශ්වාස කරන්නේ නැ ඒ ඇයින්ගෙ උදව් . පුලුවන් කමක් තියනව නම් ඔය දේව බලයකින් මට කෙලවන්න මම අභියෝගයට ලැස්තියි . ඔබතුමාට හරි , ඔබතුමාගෙ ඔය දෙවියන්ගෙන් උදව් ගන්න දන්න කෙනෙක් ලවා හරි පුලුවන් නම් දෙවියන්ට කියන්න ඔබතුමන්ලට බනින එකෙක් ඉන්නව ඌට පාඩමක් උගන්වන්න කියල , මම ලැස්තියි . අර ඉන්නවාය කියන තිස් තුන් කෝටියම ආවත් මට කමක් නැ .


    හැබැයි බැරි නම් මට හිතාගන්න තියෙන්න තමන්ට බනින එකෙකෙට පාඩමක් උගන්වන්නවත් බැරි දෙවියො කියන්නේ නැට්ට පැගුවාම කකුල හපා කන බලලෙක් තරම්වත් කෙහෙල් මලක් කරන්න බැරි කෙනෙක්ය කියල තමයි

    ReplyDelete
  5. දැං මෙතන අදාල නැති කාරණාවගයක් අල්ලාගෙන පුක හිරවෙලා දඟලන්නේ මමද නැත්නම් බුවා කොලුවද කියල කියවලා බලන උදවිය තේරුං ගනීවි. කොලුවගෙ කයිවාරුව නං තර්කානුකූලව හිතවිල්ල ගැන කෙරුවාවට ගියාම මල පැනලා දෙස් දෙවොල් තියනවා. මේ වැඩෙන් වෙන්නෙ ලියුමෙ මතු කරාපු කාරණේ යටවෙලා යන එකයි.

    බුද්ධ ධර්මයට අනුව මෝහය කියන්නෙ මොකද්ද? ඉතා කෙටියෙං කිවුවොත් දුක නොතේරීමයි මෝහය. දැං මේ මෝහය කොලූලගෙ පන්තියෙ සර් "මෝඩ වැඩ කරන්න එපා මිනිහෝ" කියල තරවටු කරද්දි කියාපු මෝහයත් එකමය කියල ගත්ත නම් එහෙම ගම කෑවා. ඒ නිසා මේ සම්බුද්ධත්ව ජයන්ති කාලෙ තමුං දෙකේ වෙනසක් තේරුං ගන්න උත්සාහයක් දරන එක වටිනවා.

    ඊලඟට අර පුහු අභියෝගයක් ලියල තියන්නෙත් තමුංගෙ මතයෙ දුර්වලකම වහගන්න බවයි මට පේන්නෙ. බනින එවුන්ට උත්තර දෙන්න බාහිර උදවු නැතුවත් මට පුළුවං. දැං මහින්ද මහත්තයට බණින එවුන් ඕන තරං ඉන්නවා, ගෝඨාභය මහත්තයටත් එහෙමයි. හරි ඒක තියමු. ඔබාම ලොක්කට කොච්චර ඇමරිකන්කාරයො බණිනවා ඇත්ද? නමුත් උන්නැහෙල එනවද අරුන්ට පාඩමක් උගන්නන්නම් කියල. වෙලා තියන්නෙ පඩයක් තරමටවත් ඒ බණින එවුංව ගණන් ගැනෙන්නෙ නැති එක මිසක් එහෙම මහත්තුරු නැති එක නෙවෙයි.

    තවත් සියුම් උපමාවක් දෙනවානං බුවා කොලුවට පුළුවං වෙයි ලංකාවෙ CIA කාරයො කියල ජාතියක් නෑය ඉන්නව නම් මගෙ මයිල් ගහක් හොලෝල පෙන්නපිය කියල රට වටේම උණත් යන්න. (ඒකෙන් තමංටම සවයංවින්දනේකුත් ගත්තෑකි මම CIA කාරයොන්ටත් අභියෝග කළාය කියලා.) නමුත් CIA කාරයොත් එක්ක ගනුදෙනු කරාපු මිනිහෙකුට ඕක පිළිගන්නන්න බෑ නෙව මොන ජාතියෙංවත්.

    හැබැයි ඉතින් බ්ලොග් අවකාශෙ ඉන්නවා ඔයවාගෙ ආතල් දෙන අය. සබ්ජෙක්ට් කොල්ලව ආණ්ඩුවෙං හැක් කොළාය කියල කියාපු මිනිස්සුත් මේකෙ හිටිය නෙව.
    ඔව්ව ඔහොම තමා. තම තමුංගෙ මට්ටං තම්මැට්ටංලුනෙ.

    ReplyDelete
  6. හොඳ ලිපියක් පොඩි ගමය, මුල ඉඳන්ම එක හුස්මට කියවගෙන ගියා. දිගටම ලියන්න.

    ඒ අතර බුවා ඕනැ දේටයි එපා දේටයි මොකක් හරි මෝඩ තර්කයක් දාගෙන පැනලා පිස්සු නටන බව පෙනෙනවා.

    ReplyDelete
  7. ඒක නෙව. ඇත්තටම මට කියන්න ඕන වුණේ භීතිය එක එක පුද්ගලයො භාවිත කරාපු සහ කරණ ක්‍රම ගැන. නමුත් සංවාදෙ යන්නෙ දෙවියො භූතයො පැත්තෙං පටලැවිල.
    කොලූ විරුද්ධ මත කියවද්දි ටිකක් ඉවසිල්ලෙ කියවන්ට පුරුදු වුණානං තමා හොඳ.

    ReplyDelete
  8. තමුන්නාන්සේගේ බෞද්ධ දර්ශනය ගැන දන්න තරම ගැන දුකයි , ඒ ගැන මට කොරන්න දෙයක් නැ


    ජනාධිපති තුමාට , ගෝඨ මහත්තයට බනින එව්වට ප්‍රති උත්තර ලැබෙන හැටි අපි පහුගිය කාලෙදි දැක්කා . ඔබතුමාලට ඒවා පේන්නේ නැත්තේ මොකද දන්නේ නැ , අඩුම තරමෙ ආණ්ඩුව ඇතුලේ කම්බ හොරු තොග ප්ටින් ඉද්දි බැට්‍රි කැලි වගයක් ගැන හොරකමකට ෆොන්සේකා උන්නැහේ හිරේ ඉන්නේ ඇයි කියලවත් පේන්නේ නැද්ද ?


    සිඅයීඒ කියන්නේ ඔත්තු සංවිධානයක් , තමුන්නාන්සෙලගේ ඔය දෙවිවරුත් සිඅයි ඒ වගේ හැංගි හොරාද වැඩ කරන්නේ , එලියට එන්න බැරි . ඔබතුමාටත් , රංග ජයවර්ධන මහත්තයටත් කියන්න තියෙන්නේ මෙච්චරයි .. ඔය දෙවිවරු , යක්කු භූතයෝ හෝ ඒවගේ නොපෙනෙන බලවේග පස්සෙ යන මිනිස්සු තමයි ග්‍රිස් යකා හරි මොකක් හරි මලදානයක් බදාගෙන පිස්සු නටන්නේ . ඒවගෙ විකාර මිනිස්සුන්ගෙ ඔලුවෙන් ඉවත් කරනව වෙනුවට තව තවත් පුරවන උනුත් ඒකට වග කියන්න ඕනි . අනික් විකාර විශ්වාස ඔක්කොම පතුරන ගමන් ග්‍රිස් යකා ගැන භීතිය විතරක් වැරදියි කියන්න බැ .ඔය වගේ සමයං විශ්වාස කරන ඒවා පතුරන උන් නිසා තමයි කහවත්තේ සිද්ධිය දවස් වල ඊට හැතැම්ම ගානක් ඇට්‍රහි තියන ඇහැලිය ගොඩ නගරේ පවා හවස 6 වෙන කොට පාලු වුනේ . මිනිස්සුන්ව මුලාවේ දාගෙන තමන්ගේ පොරවත්වය තියාගන්න වැඩ කරන උන් තමයි ,ලංකාවේ මිනිස්සු අන්ධ භක්තික ලිං මැඩියෝ වීමට වගකියන්න ඕනි

    ReplyDelete
  9. ජනාදිපතිතුමාලට බණින බණින එවුන්ගේ ගාණට හානියක් වෙන එවුන් ගාණ සුළු බවයි මම කියන්නෙ. මේ අනුව බුවා කොලුවාට හානියක් වීමේ සම්භාවිතාවත් සුලුයි. අනික ඔබාමා ලොක්කගෙ සුපර් ප්‍රජාතන්තරවාදී රටේදි හානියක් වීමේ සම්භාවිතාව බින්දුවයි. (බොරු? සපිරෝ නෝනෙගෙන් අහල බලන්ට ඉලක්කමුත් එක්ක කියාවි.)

    ඒ නිසා ඒක හරියන්නෙ නෑ. CIAකාරයංගෙ කතාව ගත්තොත් ඒක උපමාවක් විදියට දුන්නෙ. CIAකාරයංවත් "දකින්න" හැමෝටම බෑ. කීප දෙනෙක් දන්නවා. අනිත් අය නිගමනේ කළොත් අපි දන්නෙ නැති නිසා නෑය කියල ඒක වැරදි.

    මේ ප්‍රස්නේ බුදුහාමුදුරුවංටත් ඇතිවුණ බව සංයුත්සඟියෙ ලක්ඛණ සංයුක්තය කියෙවුවා නං දැනගන්න තිබුණ.

    කොහොම වුනත් මට ඕන වුණේ බයවීමෙං ආතල් ගන්න වැඩේ එක එක උදවිය කරන හැටි එලිදරවු කරන්න. මොකද පඬිවරු මේක දේසපාලන වාසියක් ලබා ගන්න පාවිච්චි කරන එක පැහැදිලි නිසා. මේවයිං පඬිතුමාල කියන එව්ව විතරක් අනික්වට වඩා පහත් වෙන්නෙ නෑ විගඩං වසයෙං බැලුවාම.

    ReplyDelete
  10. බොහොම හොද ලිපියක්.එත් බුව කියන එකත් ඇත්තක් නමුත් පොඩ් ගමයා ගෙ ලිපියෙන් කිවන්නෙ තවත් දෙයක්

    ර0ග ජයවර්ධන මහත්තයා බුදුදහාම ගැන ලියන එකෙ පොඩ්ඩක් ලියල ගියෙ ඇයි.

    ReplyDelete
  11. කොලුව ඔය සමහර වෙලාවට තදවෙලා කෑගැහුවාට හොඳ බුවා. තව සමහරක් උදවිය ග්‍රීස් යක්කු ගැන වරදවා ගත්තු කාරණයක් ගැනත් ලියන්න තියනවා.

    බෞද්ධ දර්ශනේ ගැන දන්නවාය කියන උදවිය සංයුත් සඟියෙ සලායතන වග්ගයෙ ජම්බුඛාදක සංයුත්තයෙ කිමත්ථිය සූත්‍රය වගේ දුක්ඛ සූත්‍රය වගේ සූත්‍ර ගැනත් තමංගෙ අවධානය යොමු කරන්ටය කියල හුදී ජනතාව වසයෙං ඉල්ල හිටිනවා.

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.