බොරු රැළිවලින් බේරෙන්නේ කෙසේද? වර්තමාන ‘ග්‍රීස් යක්කු’ ගැන කෙරෙන විග්‍රහයකි

ඩබ්.ඒ. විජේවර්ධන විසිනි

තාර්කික මිනිසාගේ අභාවය සහ භීතිය පිළිබඳ ආර්ථික විද්‍යාව

“භීතිය අලෙවි කරන්නන් අතර ප්‍රධානීන් වනුයේ, අළෙවි ප්‍රචාරකයින්, ආගම් දේශනාකරුවන්, සමාජ ක්‍රියාකරුවන් සහ දේශපාලඥයින් ආදීන්ය. මොවුහු මිනිසුන්ගේ භීතිය තම වාසිය‍ කර තම ලාභ උපරිම කර ගනිති.” ක්‍රි.පූ. තුන්වන සියවසේ දී මහා ඇලෙක්සැන්ඩර් රජතුමා තක්ෂිලා විශ්ව විද්‍යාලයේ සෘෂිවරයෙකුවූ දන්ඩාමිස් මුණගැසුනු අවස්ථාවේදී දෙදෙනා අතර සිදුවූ දාර්ශනික සංවාදය පිළිබඳව ග්‍රීක ඉතිහාසඥයෙකුවූ ප්ලූටාච් සඳහන් කර ඇත.

ඉදිරිපත් කළ සියළුම උභතෝටික ප්‍රශ්න ඉතා දක්ෂ ලෙස දන්ඩාමිස් විසඳූ ආකාරය ගැන පැහැදුනු ඇලෙක්සැන්ඩර්, ඔහුගෙන් අවසාන ප්‍රශ්නය මෙසේ විමසීය.

“කෙනෙකුට අනිත් අයගේ ආදරය සහ ගෞරවය ලබාගත හැක්කේ කෙසේද ?”

“කෙනෙකුට අසීමිත බලතල තිබියදීත් අන් අය තුළ භීතිය ජනිත නොකරනවා නම් ඔහුට අන් අයගේ ආදරය සහ ගෞරවය හිමිවේ”

මිනිස් හැසිරීම පිළිබඳ මූලික ලක්ෂණයක් මෙම පිළිතුරින් විදහා දැක්වේ. එනම්, භීතිය අතිශයින්ම වේදනාකාරී බවත්, බියෙන් තොරව ගෙවන ජීවිතය සැනසුම ගෙන දෙන බවත්ය.

භීතිය පිරි යුගය

නූතන යුගය “භීතිය පිරි යුගයක්” ලෙස සමාජ විද්‍යාඥයන් විසින් හඳුන්වා දී තිබේ.

අද අත්දකින සියළුම දේ, එනම්, දේශගුණික වෙනස්වීම්, ත්‍රස්තවාදය, ගෝලීයකරණය, ජානමය වෙනස් කළ ආහාර, ආදී සියළුම දේ, පිළිබඳව සමාජය විසින් මහ හඬින් කෑ ගසා පළ කෙරෙන බිය සැලකිල්ලට ගත්විට ඉහත සඳහන් නම් පට බැඳීම අරුමයක් නොවේ.

එහෙත් එය භීතිය අදට පමණක් පොදු ලක්ෂණයක් වශයෙන් කෙරෙන ඇඟවීම වැරදි චිත්‍රයක් පළකරවයි.

මිනිසා මිහිතලය මත පහළ වූ දා සිට තමන්ට තේරුම් ගත නොහැකි දේ පිළිබඳව බියෙන් පසුවිණ. අද එදාට වඩා තේරුම් ගත නොහැකි දේ අඩුවන නමුත්, මිනිසාගේ භීතියේ තරමෙහි අඩුවක් දැකිය නොහැකිය. මිනිසා මතුවටත් එවැනිම භීතියකින් පෙලී කටයුතු කරණු ඇත.

තාර්කික මිනිසා හා හැසිරීම පිළිබඳ අර්ථ ශ්‍රාස්ත්‍රය

භීතියෙන් පෙලී කටයුතු කිරීම තාර්කික මිනිසෙකු සතු ලක්ෂණයක් නොවේ. තාර්කික මිනිසා මැදහත් සිතකින් යුතුව, තමන්ට ලබාගත හැකි සියළුම තොරතුරු භාවිතා කර හොඳ නරක මැනවින් කිරා බලා නිගමන වලට එලඹේ.

භීතිය අතාර්කික හැසිරීමක් වන අතර, එය තාර්කික මිනිසා පිළිබඳ සංකල්පය සමග කිසිසේත්ම හා මුසු නොවේ.

අර්ථ ශ්‍රාස්ත්‍රඥයින් තම න්‍යායයන් ගොඩ නැගුවේ මිනිසා තාර්කික ලෙස හැසිරෙනවා යයි සිතා ගැනීමෙනි. එහෙත් මිනිසා අතාර්කික නම්, නිති බියෙන් පෙළෙනවා නම්, එකී න්‍යායන් සියල්ලේම පදනම බිඳ වැටේ.

මේ නිසා, බියෙන් පෙළෙන අතාර්කික මිනිසා තම න්‍යාය තුළට ඇතුළු කර ගැනීම සඳහා “හැසිරීම පිළිබඳ අර්ථ ශ්‍රාස්ත්‍රය” යනුවෙන් නව අර්ථ ශ්‍රාස්ත්‍රයක් ගොඩ නගා ගැනීමට අර්ථ ශ්‍රාස්ත්‍රඥයන්ට සිදුවිය.

මෙය සිදුවූයේ, 2002 වසරේදී අර්ථ ශ්‍රාස්ත්‍රය පිළිබඳව නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද, එහෙත් වෘත්තියෙන් මනෝ විද්‍යාඥයෙකු වූ, ඩැනියෙල් කැහ්නමන් සහ ඔහුගේ සගයන් විසින් 1974 තරම් ඈතකදී සිදුකළ මනෝ විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵල සැලකිල්ලට ගැනීමෙනි.

හදවත සහ ශීර්ෂය අතර ගැටුම

මනෝ විද්‍යාඥයින් විසින් බොහෝ කාලයක සිට “ආවේගාත්මක පාර්ශවය” සහ “තාර්කික පාර්ශවය” වශයෙන් මොළයේ අංශ දෙකක් හඳුනාගෙන තිබිණ. පොදු ව්‍යවහාරයේ ආවේගාත්මක පාර්ශවය “හදවත” වශයෙනුත්, තාර්කික පාර්ශවය “ශීර්ෂය” වශයෙනුත් හැඳින්වේ. අර්ථ ශ්‍රාස්ත්‍රඥයන්ගේ න්‍යායවලට පදනම්වූ තාර්කික මිනිසා පැමිණියේ මෙකී තාර්කික පාර්ශවය හෙවත් ශීර්ෂයෙනි.

තාර්කික මිනිසා මැදහත් සිතින් යුතුව තමන්ට ලැබෙන සියළුම තොරතුරු සැලකිල්ලට ගෙන හොඳ නරක මැනවින් කිරා බලා නිගමනවලට එළඹේ.

එහෙත් අතාර්කික ආවේගාත්මක මිනිසා මෙහෙයවනුයේ ඔහුගේ හදවතයි. ඒ අනුව, ඔහු නිගමනවලට එලඹෙනුයේ භීතියත්, එහි අත දරුවන් වන “චෛතසික පිළිකුල්” සහ “චෛතසික භක්තීන්” පදනම් කර ගෙනය.

මේ අනුව, අර්ථ ශ්‍රාස්ත්‍රඥයින්ගේ න්‍යායයන් සත්‍ය වීමට නම්, මොළයේ තාර්කික අංශය එහි ආවේගාත්මක අංශය පරදවා මිනිසා තාර්කික පුද්ගලයෙකු බවට පත් කර තිබිය යුතුය.

එහෙත් ඩැනියෙල් කැහ්නමන් වැනි මනෝ විද්‍යාඥයන් හෙලිකළේ එයට පටහැනි සාක්ෂිය. ඔවුන් හෙළිකළේ, ආගම, උගත්කම, සමාජ තත්ත්වය ආදිය කුමක් වුවත්, බහුතරයක් මිනිසුන්ගේ මොළයේ ආවේගාත්මක පාර්ශවය වඩා බලගතු බවත්, ඔවුන් තීරණ ගනුයේ ආවේගවලින් මෙහෙයවී බවත්ය.

භීතිය යනු වැරදි තීරණවලට මිනිසුන් ‍මෙහෙයවන එක් මානසික ආවේගයකි.

භීතියේ අළෙවිකරුවෝ

බහුතරයක් දෙනා භීතියෙන් පෙලෙනවා නම්, එම භීතිය දඩමීමාකරගෙන අයුතු වාසි ලබා ගැනීමට සැදී පැහැදී සිටින විශාල සංඛ්‍යාවක් හඳුනා ගත හැකිය.

එම නම් ලැයිස්තුව ඉතා දිගු වුවත්, ඔවුන් අතුරින් ප්‍රධානීන් වනුයේ, අළෙවි ප්‍රචාරකයින්, ආගම් දේශනාකරුවන්, සමාජ ක්‍රියාකරුවන් සහ දේශපාලඥයින් ආදීන්ය. මෙකී කණ්ඩායම්, මිනිසුන්ගේ භීතිය තම වාසියට හරවා ගෙන තම ලාභ ප්‍රයෝජන ආදිය උපරිම මට්ටමකට පත් කර ගනිති.

අප සැම දෙනාම අද අත්විඳින දෛනික අත්දැකීමක් වනුයේ, බොහෝ බිය ජනක නස්පැත්ති පිළිබඳව පදනම් විරහිත තොරතුරු මහා පරිමාණයෙන් අප වෙත එල්ල කරනු ලැබීමයි. තාර්කික පුද්ගලයෙකු එකී තොරතුරු මැදහත්ව සලකා හොඳ නරක කිරා බලා අසත්‍යයැයි හැඟී ගියහොත් ඉක්මනින් ඒවා ප්‍රතික්ෂේප කරනු ඇත.

එහෙත් “තාර්කික දැනුම” වශයෙන් හැඳින්වෙන මෙම ක්‍රියාවෙලිය අපහසු වනවා පමණක් නොව, ධනයත් කාලයත් විනාශ කරන්නක් වේ. මිනිසා සෑම විටකම ක්ෂණික දේ හි රසය භුක්ති විඳීමට කැමැත්තෙන් සිටීම සාමාන්‍ය තත්ත්වයයි. ආවේග අවුස්සා ගැනීම එවැනි එක් ක්ෂණික නිෂ්පාදනයකි.

මේ ක්ෂණික පාරිභෝගිකයන් පිළිබඳ හොඳම නිදසුන ආවේගවලින් පිරිපුන් මිනිසුන්ය. ඔවුන් තමන්ට ඉඩ ප්‍රස්ථා ලැබී තිබියදීත්, අතාර්කිකව අඥාණව සිටීමට ක්‍රියා කරති.

ඔවුන්ගේ ලක්ෂණය වනුයේ පහසු මාර්ගය අනුගමනය කරමින් තමන්ට දමාගසන සියළුම තොරතුරු ඒ ලෙසම පිළිගැනීමයි. ඒ, එම තොරතුරු තමන් දැනටමත් දරන මතය සනාථ කරවන බව ඔවුන්ට පසක් වෙන නිසාය.

ආවේගවලට යටත් වී සිටින පුද්ගලයන් විසින් අනුන් දෙන ඕනෑම තොරතුරක් විමසා බැලීමකින් තොරව පිළිගැනීම භීතිය වපුරා ලාභ ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින්නන්ගේ කණට මී පැණි වක්කරනවා වැනිය.

ඔවුන් සියළු දෙනාම ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන උපාය මාර්ගය සෑම විටකම එක සමානය.

භීතියෙන් ලාභ ලැබීම

අළෙවි ප්‍රචාරකයන් තමන් ඉලක්ක කරගත් ආවේගවලින් මත්වූ ජනතාව උගුලට හසු කර ගන්නා ආකාරය බලමු.

කාන්තාවන් මහළු වීමට බියෙන් පසු වනවා නම්, ප්‍රචාරකයන් කරනුයේ මහළුවීම නිසා අහිමිවී යන සියළුම දේ පිළිබඳව මුලින් එකී කාන්තාවන් බිය පත් කර, පසුව මහළු වීම නැවැත්වීම සඳහා තමන් ඉදිරිපත් කරන ‍ඖෂධය පිළිගැන්වීමය.

සමේ දුර්වර්ණය පිළිබඳව තරුණියන් කනස්සල්ලෙන් පසු වනවා නම්, එම දුර්වර්ණය නිසා ඔවුනට අහිමිවී යන සියළුම අවස්ථාවන් – රැකියා, විවාහ යෝජනා ආදිය – ගැන මුලින් ඔවුන් තුළ සංවේගයක් ඇති කරවයි. ඉන් පසු සම සුදු පැහැගැන්වීමට හැකි ඖෂධය ඉදිරිපත් කෙරේ.

හිසකෙස් සුදුවීම හෝ වැටීයාම ගැන පිරිමි අය දුකින් පසුවනවා නම්, ප්‍රචාරකයන් කරනයේ එනිසා ඔවුනට මුහුණ පෑමට සිදුවන කරදර හුවා දක්වා ඔවුන් තවත් දුකට පත් කිරීමය. ඉන්පසු හිසකෙස් ස්ථීරව කළු පැහැ ගැන්විය හැකි තමනට පමණක් අයත් “බෙහෙත” ඉදිරිපත් කිරීමය.

දේශපාලනඥයන්ව හෝ ආගමික ප්‍රචාරකයන්ව හෝ සමාජ ක්‍රියාකාරීන්ව, භීතිය යොදා මිනිසුන් මුලා කිරීම ගැන නිදොස් කළ හැකිද? නැත. ඔවුන් සියළු දෙනම එක ලෙසට භීතිය තම වාසියට යොදා ගන්නා අයවේ.

දේශපාලනඥයන් අනුගමනය කරන උපාය මාර්ගය කුමක්ද ? ඔවුහු මිනිසුන් තුළ කැකෑරෙන සියළු බිය තම වාසියට යොදා ගනිති. ත්‍රස්තවාදය, පිරිහෙන ආර්ථික තත්ත්වය, ගෝලීයකරණය, පෞද්ගලීකකරණය, බහු ජාතික සමාගම්, ලෝක බැංකුවේ බලපෑම් ආදිය ඒවායින් සුළු කොටසක් පමණි. ඒ සමගම, අතාර්තික චෛතසික ලැදියාවන් වන ජාතිහිතෛශීභාවය සහ දේශීයත්වය වැනි මානසික මත් ද්‍රව්‍ය මිනිසුන්ගේ සිත් තුළ වගා කරති. ඒ අනුව ඒ ලක්ෂණ වෙනුවෙන් පෙනී සිටින්නන් වශයෙන් පෙන්වා ඡන්ද දිනාගනිති.

මේ නිසා සියළු දෙනා මිනිසුන් තුළ රජයන භීතිකා තම වාසිය වෙනුවෙන් යොදා ගනිති. එසේ නොකරන බහු ජන නායකයකු හෝ ප්‍රචාරකයකු දැකීම උගහටය.

භීතිය විකිණීම අළුත් දෙයක්ද?

භීතිය විකිණීම පිළිබඳ නිදසුන් ඈත අතීතයේ පවා එමට දැකිය හැක.

අර්ථ ශ්‍රාස්ත්‍රය නම් මහඟු ග්‍රන්ථය රචනාකළ ක්‍රි.පූ. තුන්වන සියවසේ විසූ කෞටිල්‍යය රජුට මෙසේ උපදෙස් දෙයි.

සඳෙහි ලප පහළවී ඇතැයි, මිනිසුන් අතර කතාවක් පැතිර ගියහොත් රජු කළ යුත්තේ තම නියෝජිතයන් රහසේ යොදවා එම ලප නිසා සිදුවිය හැකි අතිවිශාල උපද්‍රව පිළිබඳව ඔවුන් තව තවත් බියට පත් කිරීමයි. ඉන් පසු එම උපද්‍රව වලින් බේරීම සඳහා පැලඳිය යුතු භාණ්ඩය නිපදවා රජු විසින් මිනිසුනට විකිණිය යුතුය.

රජු එසේ කළ යුත්තේ වෙනත් අයකු මිනිසුන්ගේ බිය තම වාසියට හරවා ගැනීමට පෙර රජුට එම වාසිය ලබා ගැනීම සඳහාය.

මේ නිසා, ඉතිහාසයේ එදත්, අදත්, මින් මතුවටත් සූර පුද්ගලයන් විසින් මිනිසුන්ගේ ආවේගාත්මක ‍මානසිකයන් තම වාසියට යොදා ගැනීම සිදුකෙරී ඇත.

අනුන්ගේ අදහස් වලට අවිචාරවත්ව යටත්වීම

මිනිසුන්ගේ ආවේග තම වාසියට හරවා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින්නන්ට ඒ සඳහා හොඳ තෝ තැන්නක් බිහිවනුයේ පුද්ගලයන්ට තමන්ගේම මතයක් නොමැති වන විටය.

මනෝ විද්‍යාඥයින්ගේ පර්යේෂණවලින් හෙලිවී අති කරුණක් වනුයේ, ඈත අතීතයේ සිටම මිනිසා කණ්ඩායම් මතය සත්‍යය ලෙස පිළිගැනීමට සූදානම් ව සිටීන බවය. 1953 තරම් ඈතකදී සිදුකළ පර්යේෂණ වලින් හෙලිවූයේ, තමන්ට යම් දෙයක් අසත්‍ය යයි පෙනි පෙනී තිබියදීත්, කණ්ඩායමේ අන් අය ඒ දෙය සත්‍ය යයි හඬගා කියන්නේ නම්, අවිචාරවත්ව තමන්ද එය සත්‍ය යයි ප්‍රකාශ කිරීමේ පුරුද්දකට මිනිසුන් ඇබ්බැහිවී සිටින බවය.

මෙම පුරුද්ද “රැළ අනුව යාම” වශයෙන් සමාජ විද්‍යාඥයන් විසින් හඳුන්වා දී ඇත.

මේ නිසා මිනිසුන්ගේ බියෙන් වාසි ගැනීමට අපේක්ෂා කරන්නවුන් විසින් කළ යුත්තේ ඉතා සුළු දෙයකි. බොහෝ දෙනා යොදවා “බොරු රැල්ලක්” නිර්මාණය කර ඒ රැල්ල දිගේ ඔවුන් දක්කාගෙන යාමය. කෞටිල්‍යය මෙය ඉතා ප්‍රබල උපක්‍රමයක් ලෙස දැන සිටි බව ඔහු රජුට දුන් උපදෙසින් පෙනී යයි.

බොරු රැළිවලින් බේරෙන්නේ කෙසේද ?

හිතා මතා කෙරෙන ආවේග අවුස්සන සුළු රැළි වලින් බේරීමට ඇත්තේ එක උපක්‍රමයක් පමණි. ඒ, තම මොළයේ තාර්කික පාර්ශවය වැඩි දියුණු කර ගැනීමයි.

ඒ සඳහා අනුගමනය කළ යුතු පළමු පියවර වනුයේ, මොළයේ ආවේගාත්මක පාර්ශවය තුළ මුල් බැස ඇති භීතිකාව තුරන් කර ගැනීමයි. එය දීර්ඝ ඉගෙනුම, අවබෝධය, විචක්ශනාත්මක මනසක් ගොඩ නගා ගැනීම වැනි දුෂ්කර ක්‍රියාවන් තුළින් ඇතිකර ගත යුත්තකි. ඇතැම් විටක, එයට අඩි තාලම තමන් ජීවත් වන සමාජයේ වටිනාකම් වලින් ලැබෙනවා විය හැක.

ධම්මපාල ජාතකය අනුන් මොනවා කීවත්, තමන්ගේ තාර්කික ස්ථාවරයේ පිහිටා සිටීමේ වැදගත්කම හුවා දක්වයි.

ඈත පෙදෙසක සිටි දිසාපාමොක් ආචාරිවෙත ඉගෙනුම සඳහා යවන ලද තම පුතා මියගිය බව, බොරු සත්ත්ව ඇට පවා පෙන්වා ඔප්පු කිරීමට ඇදුරු හලේ සියළු දෙන උත්සාහ කළත්, “තම රැහියේ කිසිවකු කුඩාකළ මිය නොයන බැවින් එය විය නොහැකි යයි” පියා තරයේ කියා සිටී. අවසානයේ දී ඇදුරු තුමාට පරාජය පිළිගෙන සඟවා සිටි පුත්‍රයා ඉදිරිපත් කිරීමට සිදුවෙයි.

තාර්කික චින්තනයෙන් හෙබි පුද්ගලයන් බිහි කිරීම

තාර්කික චින්තනයෙන් හෙබි පුද්ගලයන් බිහි කිරීම ඉතා දුෂ්කරය. මේ නිසා සෑම සමාජයක්ම ආවේගාත්මක සිතුවිලි වලින් හෙබි පුද්ගලයන්ගෙන් පිරී පවතී. ඔවුහු චෛතසික ලැදියාවන් සහ චෛතසික භක්තීන් වලින් අනූනව, භීතිකාවෙන් පෙලෙති. එබැවින් ඔවුන් ගන්නා තීරණ තාර්කික මිනිසුන් ගන්නා තීරණ වලට වඩා හාත්පසින්ම වෙනස් වේ.

එයින් පිළිබිඹුවන්නේ තාර්කික මිනිසුන් මත ගොඩ නැගූ අර්ථ ශ්‍රාස්ත්‍රඥයන්ගේ ආර්ථික න්‍යායයන් සියල්ලක්ම මායාවන් මත ගොඩ නගා ඇති බවය.

මිනිසුන්ගේ මොළයේ තාර්කික අංශය වැඩි දියුණු කිරීමට කටයුතු කිරීම අර්ථ ශ්‍රාස්ත්‍රඥයන්ගේ කර්තව්‍යයක් නොවේ.

එය ඇතැම් විටක මානසික උපදේශකයන්ගේ හෝ දාර්ශනිකයන්ගේ කාර්යය විය හැක.

(මෙම ලේඛකයා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයාය. ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ සභාපතිත්වයද දැරුවේය. මෙම ලිපිය 01 අප්‍රේල් 2010 දින විමසුම.කොම් වෙබ් අඩවියේ පළවූ ලිපියකි. මෙහි සඳහන් කරුණු ඔහු ගේ පුද්ගලික මතය විනා ඔහු නියෝජනය කරන ආයතන හෝ “විමසුම” කතු මඩුල්ලේ මතය නියෝජනය නොකරන බව සැලකුව මනාය.)

Posted on අගෝස්තු 15, 2011, in ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 2.

  1. Thanks for reproducing my article and I believe that readers would refer to it without ‘fear’ or ‘favour’. However, it would have been better had the writer’s name too been given there.

ප්‍රතිචාරයක් ලබාදෙන්න