පුංචි ඡන්දෙට ලොකු ටෝක් දෙන පුංචි පුංචි ඔළු

Posted: March 7, 2011 in Uncategorized
Tags: , , , , , , , , ,
මේ දවස් වල හෙන ඡන්ද උණුසුමය. ඒ උණුසුම ඇත්තේ ටීවි එකේත් තාප්ප වලත් කටවුට් වලත්ය. මිනිස්සුන්ට මේක ඒ හැටි ගාණක් ඇති වැඩක් වාගේ පේන්නේ නැත. තමංගේ ගමට පුංචි ආණ්ඩුව පත් කරගන්නට මිනිස්සුන්ට නැති තරමේ උනන්දුවක් ආණ්ඩුවට සහ අනෙකුත් දේශපාලන පක්ෂ වලට තිබීමෙන් පෙනී යන්නේ ජනතාවට මේ හැමෝවම එපා වී ඇති තරමය. සියලු දේශපාලන පක්ෂ කුජීත වී ඇති තරමය.
ආණ්ඩුව මේ දවස් වල කියන්නේ මාර කතාවකි. ජනාධිපති බල තලත්ආණ්ඩු බලයත් පළාත් සභා බලයත් ඔවුන් සතු නිසා ප්‍රාදේශීය සභා වල බලයත් ඔවුන්ටම දෙන්නැයි ඔවුහු කියති. එසේ නොවන ප්‍රාදේශීය සබා නඩත්තු කිරීමට ආණ්ඩුව මුදල් ප්‍රතිපාදන ලබා නොදෙන බවද ලැජ්ජා නැතිව ප්‍රසිද්ධියේම පවසති. පළාත් පාලන ඇමතිවරයා පසුගිය දිනෙක රැස්වීමක දී ප්‍රකාශ කළේ දුප්පත් ගම්මාන වල ප්‍රාදේශීය සභා නඩත්තු කිරීමට හා පඩි නඩි ගෙවීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමන් මුදල් එවන බවත් බැරි වෙලාවත් තමුන්නාන්සේලා විපක්ෂය ජයග්‍රහණය කරවූවොතින් ඔවුන්ගේ පඩි නඩිත් තමුන්නාන්සේලාටම ගෙවීමට සිදු වන බවත්ය. පුදුම තර්කයකි. ඉතිං එහෙනම් ඡන්දය තියන්නේ මොන බම්බුවටදැයි අපට සිතේ. සේරම ඒගොල්ලන්ගේ නිසා අනික්වත් දෙන්න ඕනෑ නම් ඡන්දය තියන්න වියදම් කරන සල්ලිත් අපරාදේ නොවැ.
අවධානයට ගත යුතු අනෙක් කරුණ වන්නේ මේ ගොන් තර්කය සනාථ කරවන්නට කරළියට එවන්නේ ‘මාල කැඩූ මන්ත්‍රී තුමා’, ‘පංචායුධ’ වැනි වාචාලයන් මිස වැදගත් පෞරුෂයක් ඇති අය නොවන බවයි.(එවැන්නන් සිටිනවාදැයි දන්නේ නැත.) මේ කතාව හරියට තමන්ගේ කැමැත්තට පිටින් කසාද බඳිනවානම් ගේ දොර ඉඩකඩම් මිල මුදල් ආදියෙන් සතයක්වත් ලබා නොදෙන බවට සිය දියණියට තර්ජනය කරන වයසක පියෙකුගේ භූමිකාව සිහිගන්වයි. පියා එසේ කරනුයේ දුවණියට ඇති ආදරය නිසා යැයි ගොන් කතාවක් දැන් කාට හරි කොමෙන්ටුවක් හැටියට දැමිය හැක. රටක් පාලනය කිරීමයි පවුල්කෑමයි එකක් වීම මේ රටේ දැවෙන ප්‍රශ්නයක් බව ඒ අයට කලින්ම මතක් කර දෙමි.
යූ ඇන් පීය තමන්ගේ නායකයා කව්දැයි හරි හැටි හොයාගැනීමට නොහැකිව ඇති නිසා කරු ජයසූරියව පෙරමුණේ තබා‍ගෙන මෙම ඡන්දයට මුහුණ දෙන්නට සූදානම් වන බව පෙනේ. මෙවර ඡන්දයේදී විපක්ෂයට ඡන්දය පාවිච්චි කිරීමෙන් ආණ්ඩුව බය කොට එහි වැරදි සාදාගැනීම පිණිස ආණ්ඩුවට බල කළ හැකි බව ඒ අයගේ අදහසයි. එයනම් මරුය. යූ එන් පීය සෙට් වෙන්නේ ආණ්ඩුවට ‘හප්’ කියන්නටය. එවිට ආණ්ඩුවට කලිසමේ චූ යනු ඇත. ඉන්පසු නැවත වැරදි නොකර ආණ්ඩුව හොඳ බබෙකු වනු ඇත. කරු හා රවී නිතර කියන්නේ මේ ඡන්දයේ දී ආණ්ඩුව පෙරළීමට නොහැකි වුවත් ආණ්ඩුව හෙළවීමට හැකි බවය. එසේ ආණ්ඩුව හොල්ලා නුදුරු අනාගතයේ ආණ්ඩුව ගෙදර යවන සටනේ පළමු වෙඩිමුරය මෙය බවය. අපට මතක විදියට මේ දහ අටවැනි ‘පළමු වෙඩි මුරය’ විය යුතුය. සජිත් නම් කතා කරන්නේ ප්‍රාදේශීය සභා ඡන්දය දින්න ගමන් ප්‍රේමදාස යුගයක් බිහි කරන්නටය. කොයි තරම් සිම්පල් ප්ලෑන් එකක්ද? කොහොමටත් සජිත් සිතා සිටින්නේ රටක් පාලනය කරන්නට ඔය මහන මැෂින් කිහිපයක් කැති උදලු ටිකක් හා හේනක් දෙකක් තිබුණාම ඇති කියාය. ඒ අතින් බැලුවහම එයා හරියන්නේ හම්බන්තොටටත් එහා ගංගොඩකටය.
ජනතා විමුක්ති පෙරමුණ මෙවර සටනට බැස ඇත්තේ රැවටිල්ල නිමා කරන්නටය. ඒත් මේ ඉවර කරන්නට යන්නේ කවුරු කාව රවට්ටන එකදැයි පැහැදිලි නැත. ජෙප්පන්ද වරින් වර ධනපති පක්ෂ වලට රැවටෙනු අපි දැක ඇත්තෙමු. ඔවුන් මේ නවත්තන්න හදන්නේ ඒකද? ඇතැම් විට ධනපති පක්ෂ දිනවන්නට ජෙප්පන්ද හරි හරියට එකතු වී ජනතාව රැවටූ හැටිද අපි දැක්කෙමු. මේ නවත්තන්න යන්නේ ඒකද? ඇතැම් වාචාලයන්ව ඕනාවට වඩා ෆෝම් කොට ඔවුන් අතින් ජෙප්පන් රැවටෙන හැටිද අපි දැක්කෙමු. මේ අරඅඳින්නේ ඒක නිමා කරන්නටද? ඒ වගේම සමානුපාත ඡන්ද ක්‍රමයේ පිහිටෙන් වැඩි පාර්ලිමේන්තු ආසන ගණනක් ලබාගත් ජෙප්පන් එයින් තමාම තමාට රැවටෙන ආකාරයක් ද අපි දැක්කෙමු. ඉතිං අපිට පැනයක් නැගේය. මේ රැවටිල්ල නවත්තන්නට යන්නේ කාව රවට්ටලාද?

Leave a comment