සංදර්ශන

Posted: May 4, 2011 in Uncategorized
ක්‍රිකට් කියන්නේ මාර වැඩක්ය. එහෙම කියන්නේ ක්‍රිකට් එක්ක ඔරොප්පුවකට නෙමේය. මම ද ක්‍රිකට් බලන්නෙමිය. හැබැයි ඒ අය කරන්නේ රස්සාවය. අපි නිවාඩු දමාගෙන ඒ අය රස්සාව කරන හැටි බලා සිටිමුය. හුරේ දමමුය. කොඩි වනමුය. මුහුණු පාට කරමුය. ගිරිය කඩාගෙන කෑ ගසමුය.
ඒක ඒවැඩේ හැටිය. අප රස්සාව කරන හැටි බලන්නට කිසිවකුත් ටිකට් අරන් එන්නේ නැත. ඒ අපේ වැඩ වල හැටිය. ක්‍රිකට් යනු ක්‍රීඩාවක් වුවත් ව්‍යාපාරයක් ලෙස එය වැටෙන්නේ එන්ටටේනින් බිස්නස් ගණයටය. ගායකයන් සින්දු කියනවා බලන්නට මිනිස්සු ටිකට් අරන් යති. සින්දු කීම ගායකයාගේ රස්සාවය. එය අසන්නාට, නරඹන්නාට එන්ටටේන්මන්ට් එකකි. රූපවාහිනි වැඩසටහන්, චිත්‍රපටි, නැටුම් ආදි සියල්ලත් ඒ ආකාරය.
එන්ටටෙන්මන්ට් බිස්නස් යන්න නිවැරදිව හඳුනාගැනීම පිණිස ඉතා සරල නිර්ණායකයක් භාවිතා‍ කළ හැක. එන්ටටේන්මන්ට් වලදී නරඹන්නා සක්‍රිය නොවේ. ඔහු අක්‍රියය. ඔහුට හුරේ දැමිය හැක. අගය කළ හැක. ප්‍රසාදය ඵල කළ හැක. එහෙත් ප්‍රධාන ක්‍රියාදමය තුළ ඔහුට ඉඩක් නැත. විනෝදය පිණිස සක්‍රියව ඉටු කරන දේ recreation ගණයට වැටේ. ක්‍රීඩා කිරීමේ ආශාවෙන් මෙහෙයැවී ක්‍රීඩාවක නිරත වීම මෙයට උදාහරණයකි. එවිට   ක්‍රීඩාව නැරඹීම හා ක්‍රීඩාවේ නිරත වීම එකම කාසියක දෙපැත්ත බවට පත් වේ. ක්‍රීඩාවේ නිරත වීම recreation වන අතර ක්‍රීඩාව නැරඹීම Entertainment වේ.
නූතනයේ පුළුල්ව ඇති මාධ්‍ය අවකාශය තුළ ක්‍රීඩා කිරීම හා ක්‍රීඩාව නැරඹීම වඩාත් සංකීර්ණ තලයකට එසවී ඇති බව පෙනේ. එහිදී ක්‍රීඩාවෙහි නිරත වන්නා නරඹන්නා තමා දෙස බලා සිටිනා බව දන්නා අතර නරඹන්නා ද තමාගේ නැරඹීම පිළිබඳ ක්‍රීඩකයා දන්නා බව දනියි. එසේම ක්‍රීඩා පිටියට ගොස් තරග නරඹන ක්‍රීඩා ලෝලියා ද ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් රූපවාහිනියෙන් තමා දෙස ද බලා සිටින බව උපකල්පනය කරයි. මෙකී සංකීර්ණ මාධ්‍ය අවකාශය තුළ ක්‍රීඩාවේ නිරත වීම ප්‍රදර්ශනකාමය බවටත් ක්‍රීඩාව නැරඹීම නැරඹුම්කාමය බවටත් රූපාන්තරණය වී ඇත. ඉනුත් නොනැවතී නැරඹුම්කාමී නරඹන්නාට ප්‍රදර්ශනකාමී වීමට ද ඉඩක් සලසා දී ඇත. ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවාට අමතරව පිටිය තුළ තවත් බොහෝ දේ සිදු කරන්නේ එබැවිනි. උදාහරණ අවශ්‍යනම් පහත පින්තූර දෙස බැලිය හැක.
මේ ක්‍රීඩකයන් දෙදෙනා ක්‍රීඩා කරනු නරඹා ඇත්නම් ඉහත දැක්වෙන නිරූපනයන් ඔබ දැක ඇතුවාට සැක නැත.මෙවන් නිරූපනයන් හඳුන්වනුයේ Signature Moves යනුවෙනි. මේ නිරූපනයන් තනිකරම කැමරාව වෙනුවෙනි.
දැන් මේ නරඹන්නන් දෙස බලන්න. ඔවුන් මේ විදියට සැරසී ක්‍රිකට් තරග නරඹන්නට එන්නේ ඇයි. ජීවිතේ කිසිම දවසක ඔවුන් මේ අයරින් මහමගනම් ඇවිද නොයනවා ඇත. එසේම ක්‍රිකට් තරගයක් නරඹන අතරතුර තමා දෙසට කැමරාව යොමු වන සෑම මොහොතකම නරඹන්නන් උඩ පනිමින් කෑගස්නනේ ඇයි? ක්‍රිකට් විචාරකයන්නම් මෙය ක්‍රීඩාවේ චමත්කාරය ලෙස හඳුන්වනවා නොඅනුමානය. එහෙත් මින් පෙන්නුම් කරන්නේ මාධ්‍ය විසින් අප හට තනා දී ඇති අවකාශයේ විශාලත්වය මිස අන් කවරක්ද? ඒ මාධ්‍ය අවකාශයේ කැපී පෙනෙන හරඹකරුවකු වීමට අප තුළ නලියන ආශාව මිස අන් කවරක්ද?
ඉහත ලියන ලද සියල්ල ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව රූපවාහිනි මාධ්‍ය මැදිහත් වී ඇති සියලු ක්‍රීඩාවන්ට පොදුය. පුළුල් අර්ථයෙන් ගතහොත් ක්‍රීඩා කිරීම, ක්‍රීඩා නැරඹීම පමණක් නොව අපගේ බොහෝ ක්‍රියාවන් මාධ්‍යමය මැදිහත් වීම නිසා නාට්‍යකරණය වී ඇත.
Comments
  1. Tyler_Durden says:

    මේක මමත් දැක්ක දෙයක්. ක්‍රිකට් ගැන මෙලෝ උනන්දුවක් නැති කොල්ලො සහ විශේශයෙන්ම කෙල්ලො මූනෙ පේන්ට් ගාගෙන කොඩි උස්සගෙන මැච් බලන්න ගිහින්, සමහරක් මගෙ මිතුරියො, ක්‍රිකට් ගැන කිසිම දැනුමක්වත් කැමැත්තක්වත් නැහැ නමුත් කලින් කිව්ව වගේ කොඩි උස්සගෙන මැච් බලන්න ගිහින් ගත්තු ෆොටෝ facebook එකේ එහෙමත් නැත්තන් attentionbook එකේ දාල තියෙනව මම දැක්ක. ඒක ඇත්තටම සිනහ උපදවන සුලුය්. ඔබතුමා කිව්ව වගේ ප්‍රදර්ශනකාමය තමය් ඕකට හේතුව. නමුත් එහෙම කරන්න පොලඹවන්නෙ මාධ්‍යය සහ ව්‍යාපාරිකයො, උඹලට කූල් වෙන්න ඕනෙනම් මෙන්න මෙහෙම මැච් බලන්න පලයල්ල කියල මාධ්‍යය සහ ව්‍යාපාරිකයො කොල්ලො කෙල්ලොන්ගෙ ඔලුවට දානව, උන්ගෙ සාක්කු පුරවගන්න. අපේ අයත් හව් වෙනව, ලෝකෙ පුරාම තත්වය ඕකය්. මට මතක් වෙන්නෙ fight club චිත්‍රපටිය

Leave a comment