දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ ආයලා

නූතන තරඟකාරී ජීවන රටාව නිසා සහ රටේ ආර්ථික තත්ත්වය නිසා, පවුලකින් එක් අයෙක් පමණක් රැකියාවක නියුතුවී පවුලක් නඩත්තු කරන්න බොහොම අසීරුයි. ඒ නිසා බොහොමයක් පවුල්වල මව සහ පියා දෙදෙනාම රැකියාවල නියුතුවෙනවා.

අලුත විවාහවූ යුවලකට දරුවෙක් ඉපදීම බොහොම සතුටුදායක අවස්ථාවක්. රැකියාවක නියුතුවෙන අම්මලාට අවම වශයෙන් මාස 3 කවත් ප්‍රසූත නිවාඩු ලැබෙනවනෙ. (රජයේ රැකියාවක නියුතු වෙන අයටනම් මාස 10 ක් විතර නිවාඩු ලැබෙනවා.) ඒ වෙනකම් දරුවව බලාගන්න ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. නමුත් ඊට පස්සෙ මොකද වෙන්නෙ?

බොහොම අය කරන්නේ තම දෙමවුපියන්ගෙන් දරුවා රැක-බලාගන්නා ලෙස ඉල්ලීමයි. ආච්චිලා-සීයලාට දරුවෙක් රැක බලාගන්න පුළුවන්නම් ලොකු දෙයක්. ඒත් හැමෝටම ඒ වාසනාව නෑ. සමහර ආච්චිලා-සීයලා රැකියා කරනවා. තවත් සමහරු දරුවො බලන්න බැරි තරම් අසනීපයි. වෙනත් සහෝදර-සහෝදරියන්ගේ දරුවො බලන නිසා උදවු කරන්න එන්න බැරි ආච්චිලා-සීයලත් ඉන්නවා. දරුවො ගොඩාක් දුර පදිංචි වෙලා ඉන්නවානම්, මුණුබුරු-මිණිබිරියෝ බලන්න ගම දාල එන්න අකමැති අයත් නැතිව නෙවෙයි. මේ වගේ නා-නා ප්‍රකාර හේතු නිසා ආච්චිලා-සීයලාට දරුවන්ව දාල යන්න බැරි වෙන අවස්ථා එමටයි.

ඊලඟ විකල්පය තමා ආයා කෙනෙක් (nurse) හොයාගන්න එක. විශ්වාසවන්ත, පළපුරුදු ආයා කෙනෙක් හොයාගන්න එක කළුනික හොයනවටත් වඩා අමාරු වැඩක් මගෙ හිතේ! දරුවෙක්ව ආය එක්ක විතරක් ගෙදර දාල යන්න ගොඩක් දෙමවුපියො බයයි, විශේෂයෙන් කලින් ඇඳුනුම්කමක් නැති, නෑදෑයෙක් නොවන ආය කෙනෙක් නම්.

ආයා කෙනෙකුට ළදරුවෙක්ව දාල යන්න බයවෙන්න හේතුත් නැතිව නෙවෙයිනෙ. ඒ අයට නිසි පුහුණුවක් නෑ. ඒ වගේම දරුවෙකුට මොනවා හරි වුනොත් ඒ අය වගකීම භාරගන්නෙත් නෑ. (මොනවා හරි වුනොත් නොකියා ඉන්න තියෙන ඉඩකඩ වැඩියි.) ඒ නිසා නොදන්න ආයා කෙනෙකුට දරුවෙක්ව භාරදීලා යන එක තරමක් අවදානම් වැඩක්. ඒ විතරක් නෙවෙයි, ආයලා මාර්ගයෙන් හොරු ගෙට ආපු අවස්ථා ගැනත් අහලා ඇති.

දන්න කියන ආය කෙනෙක් හොයාගන්න අමාරු නම්, ආයලා හොයල දෙන නියෝජිත ආයතනත් දැන් තියනවා. මේ නියෝජිත ආයතනවලින් එවන ආයලා ගොඩක් අය එක ගෙදරක දිගටම රැඳී ඉන්නෙ නෑ. මාසයකට- දෙකකට පස්සෙ ඒ අය ගෙදර යන්න ඕනෙ කියලා යන්නෙ ආයෙත් එන්න නෙවේ. එහෙම ගියාම ආයෙත් අර නියෝජිත ආයතනයට සල්ලි දීලා තව ආය කෙනෙක් හොයාගන්න සිද්ධ වෙනවා.

ආයා කෙනෙකුට ගෙවන්න ඕනෙ වැටුපත් සමහර අයට දරාගන්න බෑ. කෑම-බීම, ඉඳුම්-හිටුම් වලට අමතරව මාසිකව රුපියල් 12,000 ක් විතර ආයා කෙනෙකුට දෙන්න ඕනෙ. මාසෙකින් දෙකකින් විතර ඒ අය ගෙදර ගියොත් අලුතෙන් ආයා කෙනෙක් හොයාගන්නත් තව අමතර මහන්සියක් වගේම වියදමකුත් යනවා. ආයලා කරන්නෙ දරුවා බලන වැඩේ විතරක් නිසා ගෙදර වැඩවලට පහසුවක් වෙන්නෙ නෑ.

මේකට විකල්පය තමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන (Day Care Centers). නමුත් බොහොමයක් දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට ඇතුල් කරන්න පුළුවන් වයස අවුරුදු 2.5 හෝ 3 සම්පූර්ණ කළ දරුවන් පමණයි. ඒ නිසා ඊට වඩා වයසින් අඩු දරුවන් බලාගැනීමට දෙමාපියන්ට විවිධ දුෂ්කරතා වලට මුහුණදෙන්න වෙනවා.

නිසි පුහුණුවකින් යුත් කාර්ය මණ්ඩලයක් සිටින, දරුවන්ගේ කායික මෙන්ම මානසික වර්ධනයට නිසි පහසුකම් සපයන, දරුවන් එහි රැඳීසිටින කාලය තුල ඔවුන්ගේ වගකීම භාරගන්නා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සුලභ කිරීමෙන් දරුවන් රැක-බලාගැනීමට තිබෙන දුෂ්කරතා අවම කරගත හැකියි.

වැදගත්ම කාරණය වන්නේ දැනට තිබෙන මෙන්ම අලුතෙන් ඇති කරන දිවා  සුරැකුම් මධ්‍යස්ථාන නිරීක්ෂණයට මෙන්ම පාලනයට නිසි අධිකාරියක් පිහිටුවීමට යුහුසුළුව රජය කටයුතු කළයුතු වීමයි.  ඒවායේ සේවය කරන අයගේ පුහුණුව, තිබිය යුතු අවම පහසුකම්, සිටිය හැකි උපරිම දරුවන් ප්‍රමාණය (දරු-ගුරු අනුපාතය ) ආදිය ගැන සම්මතයක් පිහිටුවිය යුතුයි.

පාසල් අධ්‍යාපනය මෙන්ම, පෙර පාසල් අධ්‍යාපනයද යහපත් පුරවැසියන් බිහිකිරීමට උපකාරී වෙනවා. දරුවන් බලාගැනීමට මෙන්ම දෙමාපියන්ව ආර්ථිකයේ වර්ධනයට දායක කරගැනීමටද දිවා සුරැකුම් මධ්‍යස්ථාන උපකාරී වනු ඇති.

දරුවන්ව පාසල් යවනතෙක්ම නිවසේ තබාගෙන ඇති-දැඩි කළහැකිනම් ඊටත් වඩා අගනේයි!

“දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ ආයලා” වෙත සිතුවිලි 4ක්

  1. ඔය තියෙන්නෙ මට තියෙන ප්‍රශ්නය අගේට මෙතන ලියල. නැනියෙකුට 12000 දෙනකොට මාසෙ පඩිය අහවරයි නෙව. එහෙමයි කියල පොඩි එකා ඔ‍ෆිස් එක්ක යන්නයැ. අන්‍තෝ ජටා බහි ජටා !

  2. නදී, මට පොඩි උදව්වක් ඕන, ඔයාගෙ බ්ලොග් එකේ වගේ “මේ මේ තැන් වලත් ගිහිල්ල බලන්න කියන වැජට් එක මෙගෙ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් දාගන්නෙ කොහොමද ?

    1. නවම්, මම Dashboard->Links->Link Categories තැනට ගිහින් “මේ තැන් වලටත් ගිහින් බලන්න” කියලා Category එකක් දාගත්තා.
      ඊට පස්සෙ Dashboard->Links->Add New තැනින් අලුත් Links දානකොට Category එක “මේ තැන් වලටත් ගිහින් බලන්න” කියලා තෝරගත්තා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න