යළි මග කරා යූ.එන්.පිය යා යුත්තේ පානම් පත්තුවෙනි.


ලාංකික ධනේශ්වර පන්තියේ පරමාදර්ශී පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට අභියෝග කිරීමට සමත් ධනේශ්වර පක්ෂයක් මෙතෙක් බිහි වී නැතැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ.එහෙත් වරින් වර හමා ගිය දේශපාලන සුළි කුණාටු හමුවේ එම පක්ෂය පසුබා ගිය අවස්ථා නම් ඉතිහාසයේ කිහිපවිටකදීම හමුවේ. 1994 න් පසුව බිහිවූ යුගයේ දී ද එක්සත් ජාතික පක්ෂය මුහුණ දී ඇත්තේ එවැනි දුෂ්කර පසුබැසීමකට බව නොරහසකි.අයෙක් මෙය අර්ථ දක්වන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්ව ස්වරූපයේ ඇති දුර්වලතාවක් ලෙසිනි. මහින්ද රාජපක්ෂ කෙසේ හෝ පරාජය කර බලය ලබාගැනීමේ නොතිත් ආශාවෙන් පෙළෙන ලූම්පන් ධනපතියන් බහුතරයක් දරන්නේ මෙවැනි ආස්ථානයකි. ඒ අනුව නායකත්වයේ වෙනසක් සිදුකර එනම් පක්ෂයේ නව නායකත්වයට සජිත් ප්‍රේමදාස පත්කර එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමට ඔවුහු උත්සාහ ගනිති. එහෙත් පක්ෂයක කූට ප්‍රාප්ති අවස්ථාව වන බලය ලබා ගැනීමේ තත්ත්වයට එක්සත් ජාතික පක්ෂය රුගෙන යෑමට නොහැකි වී ඇත්තේ නායකත්වයේ වරදක් පමණක් නිසා යැයි යමෙක් සිතන්නේ නම් එය මෙම දේශපාලන වියවුල වැරදි ලෙස කියවීමටත් තේරුම් ගැනීමටත් ගත් උත්සාහයක ප්‍රථිපලයක් බව ඉදුරාම කිව යුතුය.

ලාංකික ධනේශ්වරයේ නියෝජිතයන් දෙදෙනා වන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් 21 වන සියවසට පිය නැංගේ මූල ධර්මවාදී ගෝත්‍රවාදී හා ගතානුගතිකවාදී දේශපාලන ආකල්පයන්ගෙන් අත් මිදෙමිනි. වේළුපිල්ලේ ප්‍රභාකරන් යකඩෙන් හා වෙඩි බෙහෙත් වලින් ඉගැන්වූ ලාංකික දකුණ ලෙයින් හා කදුළින් ඉගනගත් සත්‍ය වූයේ ලාංකික කොදෙව් රාජ්‍යය තවදුරටත් වර්ගවාදී ආස්ථානයන් තුළ හිරවී නොසිට ඉන් ඉවත්විය යුතු බවය.කොළඹ කේන්ද්‍රීය බලය පරිධිය කරා බෙදමින් රාජ්‍යයේ ස්වරූපය ප්‍රතිසංවිධානය කරගත යුතු බව මෑත යුගය තුළ දී නිර්භයව පිළිගත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. ඈ 1994 දී පිහිටවූ රෙජීමය රාජ්‍යයේ ස්වරූපය කෙරෙහි දැක්වූ ආකල්පමය වෙනස නිසා එක්සත් ජාතික පක්ෂයට ද වෙනස් මගක යෑමේ හැකියාවක් නොවුණි.රාජ්‍යයේ ස්වරූපය සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිසංස්කරණ කරා යෑමට තරම් ලාංකික සමාජය මෝරා නොතිබුණ ද 21 වන සියවසට පියවර තැබුවේ ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙකම වර්ගවාදය, මූල ධර්මවාදය හා ගෝත්‍රවාදය අත් හරිමිනි.

මේ දේශපාලන ධ්‍රැවීකරණය තුළ වර්ගවාදී ආන්තිකවාදී සමාජ කොටස් වලට අලුත් ඉල්ලුමක් ලැබුණි. ගෝලීය ප්‍රාග්ධනය පරිධියේ රටක් වන ශ්‍රී ලාංකික සමාජයට ගෙන ආ දුෂ්කරතා මේ වර්ගවාදී ආන්තිකවාදී සමාජ කොටස් යහමින් පෝෂණය කිරීමට සමත් වුණි.ධනේශ්වරයේ මේ ඉතුරු බිතුරු කොටස් වර්ගවාදය පෝෂණය කිරීමට තරම් ශක්තිමත් වූයේ මූල ධර්මවාදයෙන් මිදීමට ලාංකික ධනේශ්වරය දැක්වූ ඉක්මන් බව ලාංකික පීඩිත පන්තිය තුළින් දකින්නට නොවීමයි. ඔවුන් ධනේශ්වර ඉතුරු බිතුරු හා හරි හරියට එක්වෙමින් අහෝසිවෙමින් තිබූ මූල ධර්මවාදයට ද ආන්තිකවාදයට ද ගිනි පිම්ඹේ තරගයකට මෙනි. ධ්‍රැවීකරණය වූ දේශපාලන තත්ත්වයෙන් ප්‍රයෝජන ගත්තේ අදේශපාලනිකයකු වූ මහින්ද රාජපක්ෂයි. රනිල් වික්‍රමසිංහ 2002 දී සටන් අත්හිටුවීමේ ගිවිසුම අත්සන් කරන විට විපක්ෂ නායකයා වූයේ මහින්ද රාජපක්ෂයි.ඒ අවධියේ දී රනිල් වික්‍රමසිංහ තම පන්ති මිතුරාට යහමින් සලකමින් සිටීයේ ය. මහින්ද රාජපක්ෂ සටන් අත්හිටුවීමේ ගිවිසුම සම්බන්ධයෙන් කටක් ඇර යමක් නොකීය. නමුත් එහෙව් මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ පසු සටන් අත්හිටුවීමේ ගිවිසුම ජාතිද්‍රෝහී ක්‍රියාවක් බව පවසයි. ඒ ගිවිසුම අත්සන් කළ රනිල් වික්‍රමසිංහ යුගයේ ලොකුම ජාතිද්‍රෝහියා යැයි හදුන්වයි. මේ දේශපාලන විහිළු තේරුම් නොගන්නා ලාංකික සමාජය මහින්ද රාජපක්ෂගේ දෑත සෑම මැතිවරණයක දී ම ශක්තිමත් කරති. එක්සත් ජාතික පක්ෂය සෑම මැතිවරණයක දී ම පරාජය වන විට ඇතැම්හු එය අන්ධයා අලියකු දුටු පරිදි විස්තර කරමින් සිටීන්නේ ලාංකික සමාජයේ මෙම දේශපාලන භෞතිකය තේරුම් ගැනීමට ඔවුන් අසමත්ව ඇති බැවිනි.

21 වන සියවසට ප්‍රවිශ්ෂ්ඨවීමේ දී මූලධර්මවාදය හා ආන්තිකවාදය අත්හරිමින් සිටී ලාංකික සමාජය නැවතත් ඒ කරා ඇදගෙන ගියේ රාජපක්ෂ රෙජීමයයි. ලාංකික සමාජය රාජපක්ෂ රෙජීමය විසින් බරපතල ලෙස සමාජ අහුමුළු කරා ඇද දමා ඇති අන්දම තේරුම් ගැනීමට නම් අනුරාධපුර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයන්හි යුධ ගම්මාන ආශ්‍රිතව පළාත් පාලන මැතිවරණයේ දී චන්දය භාවිතා කර ඇති අන්දම විමසා බැලිය යුතුය.

කැබිතිගොල්ලෑව
එ.ජ.නි.සං ලබාගත් චන්ද ප්‍රතිශතය
76.15
එ.ජා.ප.ය ලබාගත් චන්ද ප්‍රතිශතය
22.34

පදවිය
එ.ජ.නි.සං ලබාගත් චන්ද ප්‍රතිශතය
81.47
එ.ජා.ප.ය ලබාගත් චන්ද ප්‍රතිශතය
15.89

කහටගස්දිගිළිය
එ.ජ.නි.සං ලබාගත් චන්ද ප්‍රතිශතය
53.02
එ.ජා.ප.ය ලබාගත් චන්ද ප්‍රතිශතය
30.71

ගෝමරන්කඩවල
එ.ජ.නි.සං ලබාගත් චන්ද ප්‍රතිශතය
85.74
එ.ජා.ප.ය ලබාගත් චන්ද ප්‍රතිශතය
11.25

පදවි ශ්‍රී පුර
එ.ජ.නි.සං ලබාගත් චන්ද ප්‍රතිශතය
57.52
එ.ජා.ප.ය ලබාගත් චන්ද ප්‍රතිශතය
14.40

රාජපක්ෂ රෙජීමය විසින් වගා කර ඇති වර්ගවාදී මූලධර්මවාදී දේශපාලන මතවාදයන් නිසා මේ යුධ ගම්මානයන්හි ජනයා එක්සත් ජාතික පක්ෂට එළව එළවා පහර දී තිබේ. සිංහල අති බහුතරයක් වාසය කරන පදවිය, පදවි ශ්‍රී පුර හා ගෝමරන්කඩවල යන ප්‍රදේශයන්හි එක්සත් ජාතික පක්ෂය ලබා ඇත්තේ 20% ටත් වඩා අඩු චන්ද ප්‍රතිශතයකි. පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය සභාවේ දී එක්සත් ජාතික පක්ෂය තුන්වැනි ස්ථානයට පත්ව තිබේ.රනිල් වික්‍රමසිංහ නම් ජාතිද්‍රෝහියාට යුධ ගම්මානයන්හි සිංහල බහුතර ජනතාව නිසි පාඩම් උගන්වීමට මැතිවරණය යොදා ගෙන ඇත්තේ නිර්දය ලෙසිනි.

එහෙත් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිපල මීට ඉදුරාම වෙනස් ය. ලාහුගල ප්‍රදේශයේ අති බහුතරය වන්නේ ද සිංහල බෞද්ධයන් ය. එහෙත් රනිල් වික්‍රමසිංහ රාජද්‍රෝහියකු යැයි රාජපක්ෂ රෙජීමය විසින් පතුරවන්නා වූ මතය ලාහුගල සමාජය ප්‍රතික්ශේප කර ඇත්තේ එම ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙමිනි.

ලාහුගල
එ.ජ.නි.සං ලබාගත් චන්ද ප්‍රතිශතය
48.26
එ.ජා.ප.ය ලබාගත් චන්ද ප්‍රතිශතය
50.96

රාජපක්ෂ රෙජීමය විසින් ලාංකික සමාජය මූලධර්මවාදයට හා ආන්තිකවාදයට ගෙනයමින් එක්සත් ජාතික පක්ෂයේ චන්ද පදනමට කර ඇති හානිය අතිමහත් ය. මේ නිසා රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කර වඩා ජාතිකවාදී වඩා සමාජශීලී සජිත් ප්‍රේමදාස නායකයා බවට පත් කර ගැනීමට සමහරු උත්සාහ ගනිති. එහෙත් අවශ්‍ය වන්නේ රාජපක්ෂ රෙජීමයටත් වඩා වර්ගවාදී හා මූල ධර්මවාදී වෙමින් බලය ලබා ගැනීමට කටයුතු කිරීම නොවන බව ලාංකික ධනේශ්වරයට උගන්වන්නේ පානම් පත්තුවේ ජනතාවයි. අනුරාධපුරයේත් ත්‍රිකුණාමළයේත් යුධ ගම්මානයන්හි ජනයා ඇති තරම් දේශප්‍රේමී වෙමින් දේශද්‍රෝහීන්ට පහරදුන් පරිදිම අවශ්‍ය නම් පානම් පත්තුවේ ජනතාවට ද දේශප්‍රේමී වන්නට අවස්ථාව තිබුණි. එහෙත් පානම් පත්තුවේ ජනතාවට තවදුරටත් යුධ ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති විදීමට රාජපක්ෂ රෙජීමය විසින් විවේකයක් ලබා දී නොමැත. දෙමළ අරගලය පොඩි පට්ටම් කළ රාජපක්ෂ රෙජීමය මේ වනවිට උතුරු නැගෙනහිර ඉඩම් ද ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතාවන්ට ගැට ගසමින් සිටීති. මේ නිසා පානම් පත්තුවේ සම්ප්‍රදායිකව ජීවත්වන සිංහල ජනතාවගේ ඉඩම් උදුරා ගනිමින් පවතින්නේ ධනපති ව්‍යාපාරිකයන්ට බදුදීමටයි. උපන් බිමේ උරුමය අහිමිවන මොහොතේ දී ත් දෙමළා පරාජය කළ සතුට භුක්තිවිදීමට සිංහලයාට ඉස්පාසුවක් නොමැත. පානම් පත්තුවේ අහිංසක සිංහලයන් නැවතත් “ද්‍රෝහියා” කර ඇදෙමින් සිටීන්නේ ජීවත්වීමේ අයිතිය ඉල්ලමිනි.

ජනතාවගේ භෞතික ප්‍රශ්නයන්ට සංවේදී නම් රාජපක්ෂ රෙජීමයේ දේශප්‍රේමය පරාජය කිරීම එතරම් දෙයක් නොවන බව පානම් පත්තුවේ ජනතාව ප්‍රායෝගිකව ඔප්පු කර තිබේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය තවදුරටත් සටන් කළ යුත්තේ නායකයන් ඉවත් කර නව නායකයන් පත් කර ගැනීමට නොවේ. එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ නායකත්ව අර්බුදයක් නොව රාජපක්ෂ රෙජීමයේ දේශප්‍රේමයට මුහුණ දෙන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. එය ජයගත යුත්තේ රාජපක්ෂවරුන්ටත් වඩා මූල ධාර්මිකවීමෙන්වත් ආන්තිකවාදීවීමෙන්වත් නොවේ. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා යෑමේ අරගලය ආරම්භ කළ යුත්තේ පානම් පත්තුවෙනි.

මෙරට ධනපති පන්තියේ දේශපාලන බලයේ ප්‍රකාශකයා වන්නේ එක්සත් ජාතික පක්ෂය යි. එසේනම් එම පක්ෂය ප්‍රති සංවිධානය කිරීමේ මහා ව්‍යාපෘතිය ද පක්ෂ කේඩරයන්ට පමණක් සීමා කළ යුතු නොවේ. එය ධනපති සමාජයේම පුළුල් සාකච්ඡාවකින් ඇති කර ගත යුතු සම්මුතියකි.

එය සංයුක්ත විපාක්ෂික දේශපාලන වැ පිළිවෙලක් විය යුතු අතර ඒ තුළ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සදහා යුද්ධයෙන් තොර සාකච්ඡාමය දේශපාලන විසදුමක් ද මානව අයිතීන්ට ගරු කරන හා මානව අයිතීන් රුක දෙන ප්‍රතිපත්තියක් ද ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීය කරමින් බහුතර ජනතාවකට ඊට සක්‍රීව සම්බන්ධවීමේ ක්‍රමවේදයක් ද ආර්ථිකය හා සම්බන්ධවීමට නොහැකිව අතරමං වන සමාජයේ දිළිදු කොටස් රුක ගැනීමේ රාජ්‍ය ව්‍යාපෘතියක් ද අඩංගු විය යුතුය. එපමණක් නොව එම ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරී සැලස්මක් ද (action plan) සකස් කර ගත යුතුය.

මෙරට ප්‍රධානතම ධනපති දේශපාලන පක්ෂයේ මේ අරාජිකත්වය වාසි සහගත වන්නේ පංති දේශපාලනය ගැන අවබෝධයක් නැති රාජපක්ෂ රෙජීමයට හා එහි පරපුට්ටන්ට පමණි. නමුත් දීර්ඝ කාලීනව ධනපති පංතියට කරන්නා වූ හානිය අති මහත් ය. ඒ අර්ථයෙන් ධනපති පංතිය සමාජ ප්‍රගමනයේ දී ඉටු කළ යුතු කාර්යය භාරයට ද බාධා ඇති කර ගනිමින් සිටිති. ඒ නිසා තම පංතියට ලැබිය යුතු දේශපාලන නායකත්වය ශක්තිමත් කර ගැනීමටත් ප්‍රබල කර ගැනීමටත් මේ රටේ ධනපති පංතිය පෙරමුණට පැමිණිය යුතු කාලය එළඹ ඇත. එක්සත් ජාතික පක්ෂයේ පැවැත්ම තීරණය වනු ඇත්තේ ඒ මත පමණි

6 thoughts on “යළි මග කරා යූ.එන්.පිය යා යුත්තේ පානම් පත්තුවෙනි.

  1. //මේ නිසා පානම් පත්තුවේ සම්ප්‍රදායිකව ජීවත්වන සිංහල ජනතාවගේ ඉඩම් උදුරා ගනිමින් පවතින්නේ ධනපති ව්‍යාපාරිකයන්ට බදුදීමටයි //

    එක්සත් ජාතික පක්ෂය නැවත නැගිටීම සදහා පාඩම් ඉගෙන ගත යුත්තේ පානම් පත්තුවේ ජනතාවගෙන් බව ඔබ කියනවා.එසේ එක්සත් ජාතික පක්ෂය නැවත නැගිටීම විසින් පානම් පත්තුවේ ජනතාවට පෙරලා ලැබෙන ප්‍රතිලාභය කුමක්ද?එජාපය ඉඩම් ධනපති ව්‍යාපාරිකයන්ට බදු දීම නතර කරනවාද?පවතින නව ලිබරල් සංවර්ධන ආකෘතියෙන් කැඩීමක් එජාපය විසින් සිදුකරනවාද?ඔබම පවසන “ලුම්පන් ධනපති කන්ඩායම්” වලට සමාජයේ පීඩිත ස්ථරයන් තුල ඇති කල හැකි වෙනස කුමක්ද?

    ධනපති පංතියේ වඩා බටහිරවාදී කොටස සහ දැනට බලයේ සිටින පවුල්වාදී රෙජිමය අතර ප්‍රතිවිරෝධය මට අනුව ගසා කෑමේ චාන්ස් එක කාගෙද වර්ගයේ ප්‍රශ්නයක්.ධනපති කන්ඩායම් දෙකක් අතර ඇතිව තිබෙන ගැටුමේදී ජයගන්නේ කෙසේදැයි එක් ධනපති කන්ඩායමකට ටියුෂන් දීමෙන් තිබෙන ප්‍රයෝජනය කුමක්ද?ප්‍රභූ පංතියේ අභ්‍යන්තර ආරවුල් විසදන ආකාරය ගැන සිතමින් සිටීම වෙනුවට පීඩිතයාගේ පැත්තෙන් අවශ්‍ය කරන්නේ විකල්ප සංවර්ධන ආකෘතියක් සහිත නිර්ප්‍රභූ බලවේගයක් දේශපාලනිකව ගොඩනැගීමයි.එජාපය අර්බුදයට යාම මට අනුව සාධනීයව පිලිගත යුතු දෙයක්.ක්‍රම විරෝධී විකල්පයක් වර්ධනය වීමට එය විසින් වැඩි ඉඩක් සපයා දෙනවා.

    1. රාමා,
      ලාංකික පීඩිත පන්තියට එජාපය විසින් විමුත්තිය සොයාදේවි යැයි මා කිසිතැනක සදහන් කර නැහැ. මෙහිදී මා සදහන් කළේ පීඩනය පත්වන ජනතාව සහනය පතා එජාපය කරා යන බවයි.

      ඒ අනුව සමාජයේ පීඩිත ස්ථරයන් තුළ කිසිම වෙනසක් සිදු නොකරන්නේ ලූම්පන් ධනපති කණ්ඩායම් පමණක් නොවෙයි. ලූම්පන් වාමාංශිකයන් ද පීඩිත ස්ථරය තුළ නිල මැස්සන් සේ සිටිනවා මිස කිසිවක්ම කරන්නේ නැහැ. ඒ ගැන ඉදිරියේ දී මා කතා කරන්නම්.

      ධනපති පන්තියේ එතිහාසික කාර්ය භාරය සම්බන්ධයෙන් මට ඇත්තේ ඔබට වඩා වෙනස් කියවීමක්. ඒ නිසා මට අනුව එජාපයේ අර්බූදය ලාංකික සමාජයේ අර්බූදයක්. එය විසදෙන්නේ නම් සමාජ සංවර්ධනය අතින් යහපත් යැයි මා සිතීම මාක්ස්වාදී දැක්මට පටහැණි වූවක් නොවෙයි. අවවර්ධිත සමාජයක ධනපති පන්තියේ අර්බූදය සාධනීයව දැකීම ෂෝට් කට් වලින් දෙව් ලොව යෑමට සිහින දැකීමක් මිස අනෙකක් නොවන බව රාමා තේරුම් ගත යුතුයි.

      1. //අවවර්ධිත සමාජයක ධනපති පන්තියේ අර්බූදය සාධනීයව දැකීම ෂෝට් කට් වලින් දෙව් ලොව යෑමට සිහින දැකීමක් මිස අනෙකක් නොවන බව රාමා තේරුම් ගත යුතුයි.//

        අපිට වැරදුනේ ධනවාදෙන් බේරෙන්න හිතගෙන සමාජව්දී හම් පොරවගත්ත මෝඩ හොර නඩේකට නැවත නැවතත් අහුවීමයි කියලයි මට හිතෙන්නේ
        ධනවාදීන්ගේ තියෙන්නේ පන්ති බේදේ විතරයි?
        මේ හොර නඩේ හැම බේදයක්ම තියන්වා
        කොහොමත් ලිබියාවක් වෙනවට වැඩිය නෝවෙයක් වෙන එක හොඳයි

      2. ඔබේ නිගමනය පදනම් වෙන්නේ ලංකාවේ ධනපති පංතියේ ඓතිහාසික කාර්යභාරය තවමත් නිමා වෙලා නැහැ කියන තර්කය උඩ.මා කල්පනා කරන්නේ ලංකාවේ ධනේශ්වරයේ ‍ඓතිහාසික කාර්යභාරය(එයත් නිසි ලෙසින් සාක්ෂාත් කරගැනීමට අසමත්ව) අවසන් වී බොහෝ කල් ගෙවී ගොස් තිබෙන බවයි.ඔබම දක්වන පරිදි ලංකාවේ ධනපති පංතිය එහි ස්වභාවයෙන්ම ලුම්පන් එකක්.‍ඓතිහාසික කාර්යභාරයකට උර දෙන්නට යන්නේ මෙම ලුම්පන් ධනපති පංතියද?මෙම අවවර්ධිත ධනේශ්වරයට කල හැකි නිර්මානශීලී යමක් තිබෙනවාද?‍
        (රවි කරුනානායක නම් ධනේශ්වර මහත්මයා කල වඩාත්ම නිර්මානශීලි ක්‍රියාව විදිහට මගේ මතකයේ තිබෙන්නේ සතොස පැය 24ම විවෘතව තබමින් කල පෙරලියයි!මෙම මහත්වරුන්ගේ වද පීදුනු ස්වභාවයට ඊට වඩා නිදසුනක් මට මතක් වෙන්නෙ නැහැ)

        වඩා නිවැරදි වෙන්නේ (ඉතිහාසය පුරා අසාර්ථක බව නැවත නැවත සනාථ කල) ධනපති පංතිය තමන්ගේ ඓතිහාසික කාර්යභාරය කවදා හරි කරයි යනුවෙන් ප්‍රාර්ථනා කරමින් ඉන්නවාට වඩා විකල්ප ශක්‍යතාවයන් සදහා වෙහෙසීමයි.

      3. ඔව්, විකල්ප ශක්‍යතාවයන් කෙරෙහි වෙහෙසීමේ පළමු පියවර වන්නේ ධනේෂ්වර සංවර්ධනය පරිපූර්ණ කර ගැනීමයි. එය මගහැර සොයන විකල්පය මිත්‍යාවක්.

        අනෙක ධනපති පන්තිය යනු රවී කරුණානායක යැයි ලඝු කරන්නට යෑම ඔහුට කරන්නා වූ අනවශ්‍ය ගෞරවයකි.

        ධනපති පන්තිය ලූම්පන් වූ නිසාත් අවවර්ධිත වූ නිසාත් ධනේශ්වර සංවර්ධනය අවලංගුවේ නම් ලූම්පන් නිර්ධන පන්තිය නිසා ලංකාවේ සමාජවාදී විප්ලවයත් අහෝසි විය යුතුයි නේද රාමා?

        ලංකාවේ ධනේශ්වරයේ ‍ඓතිහාසික කාර්යභාරය(එයත් නිසි ලෙසින් සාක්ෂාත් කරගැනීමට අසමත්ව) අවසන් වී බොහෝ කල් යැයි පවසන ඔබේ මතයට එකග නොවෙමි.

Leave a comment