Saturday, June 18, 2011

අකාලිකෝ (for all times)

කටුකුරුන්දේ ඥානානන්ද හිමියන් ගේ ධර්ම දේශනාවකදී පහත විස්තරය අසන්නට ලැබුණි.

"බුදුන් වහන්සේ විසින්ම වදාල ධර්ම පාඨයක් නම් පහසුවෙන් හඳුනාගත හැකියි. අර්ථය ඉතාම පැහැදිලියි, කෙටියි, කිව යුත්ත කිව හැකි සරලම සහ නිවැරදිම ආකාරයෙන් දේශනා කර ඇත. පරස්පර නොපවතී."     

ගැඹුරු කරුනු විස්තර කිරීමේදී බුදු හිමියන් දක්වන මේ කියන විශිෂ්ඨත්වය හරිහැටි දැකීමට නම් ඥානානන්ද හිමියන් මෙන් ධර්ම මගෙහී ගමන් කොට තිබීම අවශ්‍ය වනු ඇත. එසේ වුවද පෘථුග්ජන අපටත් මේ සදහම් රසය විඳිය හැකි අවස්ථා තිබිය හැක.

පහත උදාහරණය බලන්න.

ආරෝග්‍යා පරමා ලාභා, සන්තුෂ්ඨී පරම0 ධන0
විශ්වාසා පරමා ඥාතී, නිබ්බන0 පරම0 සුඛ0 

පරම ලාභය නම් නීරෝගීකම වෙයි.
පරම ධනය නම් සිතේ සතුටයි,
පරම ඥාතියානම් විශ්වාසවන්ත තැනත්තායි.
පරම සැපත නම් නිවනයි. 

කොතරම් අගනේද ? සරලද ? සර්වකාලීනද ?

1) නීරෝගීකමෙහී අගය දැනෙන්නේ එය නැති වූ විටය. අප ලබන මොනම ලාභයක්වත් නීරෝගිකම නැතිකරගෙන ලබනු වටීද ?

2) සිතේ සතුට නැතිව වෙන කුමක් ලැබුවත් ඇති ඵලය කිම ? අනෙක් අතට සිතේ සතුට ඇත්නම්, අපට අවශ්‍ය ලෙස දකින බොහෝ දෙය නැතුව සිටීමට හැකිය. සිතේ සතුට අහිමි කරගෙන ලබන ධනය කුමක් සඳහාද? සතුට යනු අවසානයේදී මානසික තත්වයකි. (mental condition)  අවශ්‍යනම් දැනට අප සතු දෙයින්ම මේ සතුට ඇති කරගත හැකිය. ධනය සහ වස්තුව අත් කරගැනීමත් සිතේ සතුටත් අතර ඍජු සම්භන්ධයක් ඇත්තෙන්ම දැකිය හැකිද ? ඇත්ත සැනසීම ලැබෙනුයේ අරමුණු හඹා යෑමෙන් සහ ගොඩ ගසාගැනීමෙන්ද ? සැනසුම පසුපස එළවන තරමට එය අපෙන් ඈත් වනු දැක ඇතිද ? සැනසීම ලැබෙනුයේ අත් හරින තරමටය! අත් හරින විට ජීවිතය සරල වේ, බැඳීම් අඩු වෙයි, වගකීම් සහ සිතේ බර අඩු වේ, නිදහස වැඩි වෙයි.

3) ෆේස්බූක් මිතුරන් සිය ගණනකට සහ අප ලඟ නැති, විශ්වාසය තැබීමට නොහැකි නෑදෑ පරපුරකට වඩා විශ්වාසවන්ත එක සැබෑ මිතුරෙක් නොවටීද ? විශ්වාසවන්තයාට වඩා නෑයෙක් තවත් කොහින්ද ?

නීරෝගීකම, සිතේ සතුට, විශ්වාසවන්තයින්... ජීවිතයේ අරමුණු කර ගත යුත්තේ මේවා නොවේද ?

4) අපගේ අවබෝධයෙන් ඈතය. කෙසේ වුවත් මේ සඳහා වුවද, ඉහත කරුණු 3 කෙරෙහි යොමුවීම හොඳ ආරම්භයක් ලබා දෙනු ඇත.

1 comment:

  1. Anonymous10:23 PM

    “ගැඹුරු කරුනු විස්තර කිරීමේදී බුදු හිමියන් දක්වන මේ කියන විශිෂ්ඨත්වය හරිහැටි දැකීමට නම් ඥානානන්ද හිමියන් මෙන් ධර්ම මගෙහී ගමන් කොට තිබීම අවශ්‍ය වනු ඇත“
    සත්‍ය වශයෙන්ම බුදු පියාණන් වහන්සේ යනු කවරෙක්දැයි හදුනාගෙන සිටින අයෙක් විය යුතුය.

    “එසේ වුවද පෘථුග්ජන අපටත් මේ සදහම් රසය විඳිය හැකි අවස්ථා තිබිය හැක“ පිළිගත නොහැකිය. මෙහි පෘථුග්ජන නැමති වචනය නැතිනම් තරමක්හෝ සත්‍ය විය හැකියැයි නිගමනය කළ හැකිය. මන්ද යත් බුද්ධිමතන් ලොව සිටිනා නිසාවෙන්.

    පෘථුග්ජනයා වනාහී තෙරුවන් කෙරෙහි ස්‍රද්ධා මාත්‍රයකුදු නැත්තාවූ පුද්ගලයාය... එවන්කෙනෙක් මේ ධර්මය කෙසේ නම් දකින්නද?
    ඔබේ උදාහරණයෙන්ම තේරුම් කර දිය හැකිය.

    “ආරෝග්‍යා පරමා ලාභා, සන්තුෂ්ඨී පරම0 ධන0
    විශ්වාසා පරමා ඥාතී, නිබ්බන0 පරම0 සුඛ0 “

    පරම ලාභය නම් නීරෝගීකම වෙයි. (සත්‍ය වශයෙන්ම පරම ලාභය වන්නේ නිරෝගී කමයි... නමුත් මේ මහත් සත්ව සංහතියක් තුළ සැමදා නිරෝගීව ඉන්නාවූ එකදු සත්වයෙක් හෝ සිටීද? එලෙස ලෙඩ වන මරණයට පත්වන මහළු වන මේ ජීවිතය නිරෝගීයැයි කිවිය හැකි වන්නේ කෙසේද? සත්‍ය වශයෙන්ම බුද්පියාණන් වහන්සේ මෙළස දේශනා කලේ මේ කයෙහි ඇති කුමන නම් නිරෝගී කමද? නැහැ මිතුර බුද් පියානන් වහන්සේ එවැනි කායිකවූ නිරෝගීකමක් පරම වූ ළාගයයැයි නොවදාළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ දුක්කිත ව කය, අප්‍රසන්න වූ කය කිසිවිටකත් වර්ණනා නොකලේය. උන්වහන්සේ මේ සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් පෙන්වා වදාලේ මේ සත්වයා රාගයෙන් , මෝහයෙන්, ද්වේශයෙන් ආදී ක්ලේෂ රෝගයන්ගෙන් පීඩා විදින බවත් ඒවායින් වෙන් වීම පරම ලාබය වූ නිරෝගී කමත්ය.)

    පරම ධනය නම් සිතේ සතුටයි,(සත්වයාගේ සිකෙහි, තණ්හාව ක්රොධය, රාගය මොහය යන මේ රෝගයන් නැති වූ විට,ඒ සිතෙහි කිසිම ආකාරයක දුකක් හට නොගන්නා බැවින් භාග්‍යවතුන් වහන්සේ ඒ සිතෙහි පවතින සතුට පරම ධනය ලෙස වර නැංවූහ.. )
    පරම ඥාතියානම් විශ්වාසයයි. (මේ කියන්නා වූ පරම ධනය, පරම ලාභය ලබා ගැනීමට අපට උපකාර කරන පරම ඥාතියානම් තමා පිළි බදව ඇති විශ්වාසයයි, ඒමෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් වලාග ආර්ය අෂ්ඨාන්ගික මාර්ගය පිළිවදව, බතුරාර්ය සත්‍යය පිළිබදව, සතිපට්ඨානය පිළිබදව ඇති විශ්වාසයයි... )
    පරම සැපත නම් නිවනයි. (මේලෙස ලබා ගත හැකි යම් සැපතක් වේද, ඒ නම් නිවන සාක්ෂාත් කර ගැනීමයි... )
    මෙහිදිී භාග්‍යවතුන් වහන්සේ විස්න් දේශනා කළ වදාලේ, නිවන් මාර්ගය යම් අයෙක් සාක්ෂාත් කරගනීද හේ තුන්ලොව විදිහ හැකි උපරිම සැපය (මේ කාමයන්ගෙන් වෙන්වීමෙන් ලබන සැපත) ලබා ගන්නාවූ ආකාරය ගැන මිස මේ ලොවදී කාමයන් තුළ ලබන්නාවූ සැපතක් ගැන දේශනා කර නැත... හිදින් පෘථුග්ජනයා කෙසේනම් මේ ධර්මය දකින්නද? (පෘථුග්ජන යනු සිවුරු නොදරණ යන අදහස නොවන බවද වටහා ගන්න. පෘථුග්ජනයා යනු තෙරුණ් කෙරෙහි නොසැලෙන ස්‍රද්ධාවක් නැති, මේ නිවන් මගෙහි ගමන්නොකරන පුද්ගලයා යන්නයි.. යමෙක් බුදුන් , දහම්, සගන් කෙරෙහි පැහැදී, මේ අස්තීරවූ සිරුරත්, දුක්කිත වූ සසර ගමනත් කෙළවර කරනු පිනිස වෙහෙසෙන්නේද හේ පෘථුග්ජන යෙකු නොවේ.. ) තෙරුවණ් සරණයි....

    ReplyDelete

I would love to hear your views...