Sunday, April 25, 2010

නව ඇමති මණ්ඩලය සහ එහි වගකීම්

නව රජයේ ඇමති මණ්ඩලය ‍මේ වන විට පත් කොට තිබේ. සියළුම හිටපු ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ මේ වන විට වෙනස් ‍වී ඇත. ජනතාව විසින් ඉල්ලා සිටි පරිදිම ඇමතිධූර සංඛ්‍යාව ද අඩු කොට ඇත. මෙම නව සාධනීය තත්ත්වය අගය නොකරන්නෙක්වේ නම් ඔහු හෝ ඇය දේශපාලන කුහකයෙක් ලෙස හඳුන්වා දීම වඩාත් තාර්කිකය.
ඇමති තනතුරු වලට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න ජනාධිපතිතුමාට කියාදීමට යමෙක් අවශ්‍ය නොවේ. වසර ගණනාවක දේශපාලන අත්දැකීම් අනුව තමන්ට අවශ්‍යයෙන්ම උවමනා කරන කණ්ඩායම එතුමා තෝරාගෙන ඇති බව පෙනේ. මගේ සිතේ තිබූ ඇමැති මණ්ඩලය මෙයට වඩා මඳක් වෙනස් වූවත් නැවත සිතා බැලීමේ දී මෙම ඇමති තනතුරු ලබා දීමේ හේතු සිතා ගත හැකිය.
රටට දැන් අවශ්‍ය වන්නේ සීග්‍ර සංවර්ධනයකි. මෙම සංවර්ධනයේදී කැපවීමෙන් වැඩ කරන අවංක ඇමති මණ්ඩලයක් තිබීම ඉතා වැදගත් වේ. ඇමති වරුන් පමණක් නොව අමාත්‍යාංශ ලේකම් වරුද තෝරාගැනීමේ දී ඉහත අභිමථාර්තයන් ඉටු කිරීමට කැපවූ නිලධාරීන් පත් කරගැනීම වැදගත්ය. අමාත්‍යාංශයක වැදගත්ම නිලය හොබවන්නේ එහි ලේකම් වරයා වන අතර අමාත්‍යවරයා ගන්නා තීරණ කෙරෙහි විශාල බලපෑමක් කිරීමට දක්ෂ ලේකම් වරයෙකුට හැකියාවක් ඇත. එනිසා සිට අමාත්‍යාංශය නිවැරදි සහ රටට හිතකර ගමනක මෙහෙයවීමට ඇවැසි සෘජු සහ අවංක එමෙන්ම කොන්ද පණ ඇති ලේකම්වරුන් ඒ ඒ අමාත්‍යාංශ වලට පත් කිරීම අත්‍යාවශ්‍යවේ. ඇමැතිතුමා කියන ඕනෑම වැඩක් කරගෙන දෙකට තුනට නැවෙන ලේකම් වරුන් අමාත්‍යාංශයක සිටින්නේ නම් ඒ අමාත්‍යාංශය නිසි මගක ගමන් ගනී යැයි සිතිය නොහැක.
ඇමතිවරුන් මෙහිදී නිහතමානීව දැනගත යුතු කරුණක් ඇත. අමාත්‍යාංශ වල සිටින ඇතැම් දක්ෂ නිලධාරීන්ගේ උපදෙස් රටේ ඉදිරි ගමනට ඉතා වැදගත් වන බවය. එමෙන්ම වඩාත් දෙකට තුනට නැමෙන්නේ සිය රාජකාරිය නිසි ලෙස නොකරන නිලධාරීන්ය. එනිසා අවංක හා දක්ෂ නිලධාරීන් හඳුනාගෙන ඔවුන් රාජ්‍ය සංවර්ධනයට වඩාත් ඵලදායී ලෙස යොදවා ගැනීමත්, කොන්ද කඩා දමා ඇති රාජ්‍ය අංශයේ නිලධාරීන්ට ආත්ම ගරුත්වයක් ඇති පිරිසක් ලෙස සිය අත්දැකීම් ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව සලසා දීමත් ඉතා වැදගත්වේ. පසුගිය කාලයේ ඇතැම් අමාත්‍යාංශ වල බරපතල ප්‍රශ්න ඇති වීමට ප්‍රධානතම හේතුවක් වූයේ ඇමතිවරයා සමග කථාකිරීමට වත් බියවූ නිලධාරීන් ඒවායේ උසස් නිලතල හෙබවීමය.
අපේ රටේ වැඩියෙන්ම කථා බහට ලක්වූ අමාත්‍යාංශ දෙකක් වන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශ මෙවර ලැබී ඇත්තේ වැඩියෙන්ම කථා බහට ලක්වූ ඇමැති වරුන් දෙදෙනෙකුටය.
ගරු මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යතුමා පසුගිය සමයේ වී මිළදී ගැනීම සහ රට ස්වයං පෝෂිත කිරීමේ වැඩසටහනට උර දීමෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ ලේකම් වරයා වශයෙනුත් කථා බහට ලක්වූවෙකි. සෞඛ්‍ය අමාත්‍යාංශය යනු මේ රටට වැඩියෙන්ම දැනෙන අමාත්‍යාංශ වලින් එකකි. මීට පෙර සිටි නිමල් සිරිපාල ද සිල්වා ගරු ඇමතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශය පාලනය කිරීමේ දී විවේචනයට ලක්වූයේ කුමන අංශ වලින් ද යන්න ගැඹුරින් සලකා බලන්නේ නම් මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාට ජනප්‍රිය සෞඛ්‍ය ඇමතිවරයෙක් වීම අසීරු නොවනු ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය යනු අපේ රටේ වැදගත්ම අමාත්‍යාංශයයි. මම එසේ කියන්නේ මීළඟ පරපුර නිර්මාණය කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යය භාරය තරම් තීරණාත්මක වෙනත් සාධකයක් දක්නට නොලැ‍බෙන නිසාය. අපේ සාරධර්ම දැන් නැත්තටම නැතිවී යමින් පවතී. මම අද මට අහන්නට ලැබුනු කථාවක් කියන්නේමි. මගේ මිත්‍රයෙකුගේ පියා 1970 දශකයේ ලංගම  රියැදුරු මහතෙකු වශයෙන් සේවය කළේය. ඔහු සේවය කළ බසයේ මාර්ගය වැටී තිබුණේ ඔවුන්ගේ නිවස අසලිනි. මගේ මිත්‍රයාගේ මව දිනක් නගරයට පැමිණ නැවත නිවසට යාමට සැරසෙද්දී සිය සැමියා සේවය කළ බසය දැක එහි යාමට සිතා, පෝලිමේ නොයා බසයට නැගීමට සිටියාය. ඇයගේ සැමියා කළේ ඇය බසයට නංවා නොගෙන කුළී රථයක එන ලෙස පවසා ඇයට මුදල් දීමය. මින් උරණවූ මගේ මිතුරාගේ මව එසේ කළෙ මන්දැයි විමසූ විට ඔහුගේ පියා දුන් පිළිතුර වූයේ බස් රථය ලංගමයට අයිති බැවින් එහි ගමන් කරන්නේ නම් නීති ගරුකව පෝලිමේ පැමිණ බසයට නැංග යුතු බවත් ඇයට පෝලිමේ සිටිය නොහැකි නම් කළ යුත්තේ මුදල් වැඩිපුරගෙවා කුළී රථයක පැමිණීම බවත්ය. මම මේ කථාව ලිව්වේ ඒ කාලයේ අපේ පුරවැසියන් තුළ තිබූ නීතිගරුක භාවයත් ස්වකීය රැකියාව කෙරෙහි තිබූ භක්තියත් පෙන්වීමටය. ‍නීති ගරුක පුරවැසියන් බිහිකිරීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරෙන රාජකාරිය ඉතා වැදගත්ය. අපේ රටේ දැන් දැන් බෝවී ගෙන යන්නාවූ නාස්තික වාදී නරුම සංස්කෘතියෙන් අපේ ඉදිරි පරපුර ගලවා ගැනීම සඳහා අවශ්‍ය කරන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සෑදිය යුතුය. අපට වැරදුන මුල්ම තැන නම් ආණ්ඩු මාරු වන විට වෙනස් වන අධ්‍යාපන ක්‍රමයක් පැවැතීමය. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාට පැවරී ඇති වගකීම භාරදූර එකක් වන්නේ මේ නිසාය.
අවසාන වශයෙන් පුරවැසියෙකු ලෙස නව ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටින වැදගත්ම දෙය නම් ඔබ දරා සිටින ඇමති මන්ත්‍රී ධූර වල තාවකාලික බව දැන, බලයෙන් මත් නොවී වඩත් නිහතමානීව රටට සේවය කරන ලෙසයි...

2 comments:

  1. ඉතාම විසිස්ට විග්‍රහයක්!මල් හතයි.මර්වින් සිල්වාට මාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම හම්බුන එක ගැනත් සදහන් කරාම මල් දාහතරයි.
    අමතක වුනා - මෛත්‍රීපාල රට ස්වයංපෝෂ කලා කිව්වා නේද?මොනවයින්ද දන්නෙ නැහැ පෝෂනය කලේ.ආනයන වියදම එහෙම අරගෙන සංසන්දනය කොරල බලන්නකො ස්වයංපෝසනේ කොහොමද කියල.ඔයාට ගනං තේරෙනව ඇතිනෙ.

    ReplyDelete
  2. පුලස්ති අදහස් පළ කිරීමේ දී තමන් අදහස් පළ කරනදේ ගැන කියවා බලා එසේ කරන්නේ නම් මැනැවැයි සිතමි. මෛත්‍රීපාල සිරිසේන මහතා රට ස්වයං පෝෂණය කළේ යැයි මම කිසි විටෙක සඳහන් නොකළෙමි. මා අදහස් කළේ ඔහු එම වැඩසටහනට දායක වූ බව පමණි. ශ්‍රී ලංකාව සෑම අතින්ම ස්වයං පෝෂිත නම් අළුතෙන් කරන්නට කිසිවක් ඉතිරීවී නොතිබිය යුතුය. අළුත් ආණ්ඩුවට ‍බොහෝ අභියෝග ඇත. ආණ්ඩුව සාධනීය යමක් කරනු ඇතැයි යන්න පොදු මහ ජනතාවගේ අපේක්ෂාවයි. ඒ ගැන ආරම්භයේදීම අසුභවාදීව සිතීමට මම නොකැමැත්තෙමි. ආණ්ඩුව කරන සෑම දෙයක්ම හුදෙක් එය කරන්නේ ආණ්ඩුව වීම නිසා අසුභ වාදීව දැකීම අනුමත කළ නොහැක. අප‍ට අද අවශ්‍ය වන්නේ සාධනීය විවේචන කරමින් ජනතා අවශ්‍යතා අනුව රජයට මග පෙන්වන්නන් විනා සර්ව අසුභ වාදී නිෂෙධනාත්මක විවේචකයින් නොවේ...

    ReplyDelete