Tuesday, March 20, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 32 (කලිදු සහ සිත්ති)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

 කලිදු සහ සිත්ති


(සත්‍ය කතාවකි)

 එකෝමත් එක කාලෙක මාලේ දූපතේ කලිදු කියල දුප්පත් තරුණයෙක් වාසය කරා. මාලේ දූපතේම හිටියා සිත්ති කියල වංශවත් තරුණියක්. මේ දෙන්නා ආදරෙන් බැඳුනා.

සිත්ති තමාගෙ පෙම්වතා ගැන දෙමාපියන්ට කිව්වම ඔවුන් තමාගේ තත්වයට නොගැලපෙන තරුණයෙක් එක්ක හාද වීම ගැන සිත්තිට තදින්ම දොස් කිව්වා. තමාගේ විවාහයට කවදාවත් දෙමාපියන් ගෙ කැමැත්ත නොලැබෙන බව දැන ගත්ත සිත්ති ගෙදරට හොරෙන් කලිදු එක්ක පැනල ගිහින් රහසේම විවාහ වුනා.

ටික කාලයක් ගත වුනාම සිත්තිට වැටහුනා තමාගෙ පවුලේ අයගෙන හැංගිල ඉන්න එක හිතපු තරම් ලේසි දෙයක් නොවෙන බව​. ඔවුන් ගේ පවුල ඉතාම ධනවත් සහ බලවත්. ඒ නිසා ඔවුන්ව හොයා ගන්න එක පහසු දෙයක්. තමාව හොයා ගත්තොත් ඔවුන් කලිදු ට අනතුරක් කරයි කියල සිත්ති බය වුනා. ඒ නිසා ඇය රහසේම පවුලේ සාමාජිකයන් හමුවෙලා ඔවුන් ගේ සිත දිනා ගත්ත​. ටික දවසකින්ම ඇයට පුළුවන් වුනා ඔවුන් ගේ දෙමාපියන් ගේ කෝපය සමනය කරන්න​.

සිත්ති සහ කලිදු සතුටින් ජීවත් වුනා. සිත්ති ට කලින් වගේ ධනවත් ජීවිතයක් ගෙවන්න බැරි වුනත් ඇය කලිදු එක්ක ගෙවන දුප්පත් ජීවිතය ගැන පසු තැවුනේ නෑ. මාලේ දූපතේ හැමෝම මේ දෙන්නගෙ බැඳීම ගැන කතා වුනා. වැඩි කල් නොගිහින් ඔවුන්ට දරුවන් තුන් දෙනෙකුත් ලැබුනා.


එක දවසක් සිත්ති හොඳටම අසනීප වුනා. ඇගේ බඩ ඇතුලෙන් ඉවසන්න බැරි වේදනාවක් ආවා. කලිදු ඇයව මාලේ දූපතේ ඉන්න දක්‍ෂම වෙදෙක් ළඟට අරගෙන ගියා. ඇයව පරීක්‍ෂා කරපු වෙදා ඇයට දරුණු අසනීපයක් ඇති බවත්, ඇයගේ ජීවිතය ගලවා ගන්න නම් සැත්කමක් කළ යුතු බවත්, ඒත් ඇයව බේරගන්න එක සහතික කරන්න බැරි බවත් කිව්වා.

සැත්කමෙන් පස්සෙ සිත්ති හිටියෙ ඉතාම අපහසුවෙන්. ඇය කනස්සල්ලෙන් දින ගාණක් එක දිගට ඇඬුවා.

"සිත්ති ඇයි ඔයා අඬන්නේ? ඔයාට ගොඩක් අමාරුද​?"

කලිදු එහෙම අහන හැම පාරම සිත්ති උත්තර දුන්නේ කඳුළු අතරින්

"මම අඬන්නෙ මගේ අසනීපය නිසා නෙවෙයි. මට බයයි ඔයා මාව දාල යයි කියලා."

"ඔයා බය වෙන්න එපා. මට ඔයා ඇර වෙන කාවවත් ඕනෙ නෑ. ඔයා මැරුණොත් මම ආයෙ විවාහ වෙන්නෙ නෑ. මම ඔයා එක්කම ඉන්නවා."

සිත්ති ගේ තත්වය එන්න එන්නම නරක් වුනා. ඇයට ඇවිදින්න අපහසු වුනා. වැඩි කලක් නොගිහින් ඇයට පුටුවක ඉඳගන්නවත් අපහසු වුනා. ඇය මුළු දවසම ගත කලේ ඇඳට වෙලා. කලිදු ඇය ළඟින් හෙලවුනේ වත් නෑ. ඔහු ඇයට කන්න උයල දුන්නා. ඇයව නෑව්වා. ඇයගේ හිත හැදෙන්න කතන්දර කිව්වා.

එක දවසක් සිත්ති කලිදු ට ළඟට කතා කරා. ඇය අමාරුවෙන් කෙඳිරිලි හඬකින් මෙහෙම කිව්වා.

"මගේ පණ රැඳිල තියෙන්නෙ නූලකින්. මම ජීවත් වෙලා ඉන්නෙ ඔයා නිසා. ඔයා නැත්තං මම මෙලහකටත් මැරිලා."

ඊට ටික වෙලාවකට පස්සේ සිත්ති කලිදු ගෙ ඇස් දෙක දිහා බලාගෙනම අවසන් හුස්ම හෙළුවා. මුස්ලිම් සිරිත අනුව එදාම සිත්ති ගේ අවමගුල ලෑස්ති කරා. නෑදෑ හිත මිතුරන් අවමගුලේ කටයුතු සූදානම් කරද්දි කලිදු පැත්තකට වෙලා දෑතින් හිස බදාගෙන වාඩිවෙලා හිටියා. ඔහුට මල ගෙදර අපු කිසි කෙනෙක් පෙනුනේ නෑ. ඔහුගේ ඇස් ඈත අනන්තය දිහාවට යොමු වෙලා තිබුනා.

නියමිත වෙලාව ආවම කලිදු සිත්ති ගේ මළ සිරුර කනත්තට අරගෙන යන්න උදව් කලා. ඒත් ඔහු කා එක්කවත් කතා කලේ නෑ. කා දිහාවත් බැලුවෙ නෑ. ඔහු සිත්තිගේ සිරුර වළදාන හැටි කඳුළු පිරුන දෙනෙතින් බලාගෙන හිටියා. ඊට පස්සෙ නිහඬවම ගෙදර ආවා.

ගෙදර "ඔලිගන්ඩු" (දොරකඩ​) පහු කලා විතරයි කලිදු බිම ඇදගෙන වැටුනා. මිනිස්සු හිතුවෙ ඔහුට කලන්තයක් හැදිලා කියල​. මිනිස්සු ඔහුව වත්තම් කරගත්තා. එතකොට තමයි ඔවුන් දැක්කේ ඔහු මිය ගිහින් බව​. කලිදු ගේ මුහුණේ තිබුනේ ශාන්ත හිනාවක්.

එදාම හවස කලිදු ගේ සිරුරත් සිත්ති ගේ සොහොන අසලින්ම වළ දැම්මා.

කලිදු සිත්තිට වුන පොරොන්දුව අකුරටම ඉටු කලා.

"ඔයා මැරුණොත් මම ආයෙ විවාහ වෙන්නෙ නෑ. මම ඔයා එක්කම ඉන්නවා."෴


- කතාව කිව්වේ මෞසුමා තුත්තා (මාලේ දූපත​)

3 comments:

  1. සැබෑ ආදරය. ලස්සනට කතාව ලියලා.ජය !

    ReplyDelete
  2. me kathawa ape ithihase kiyawena adara katha wage male doopatheth katha wenawad?

    ReplyDelete