Sunday, March 18, 2018

ජපන් සංස්කෘතිය විදහාපාන වචන - 7 (ෂිකත​ ග නයි)


මගේ ජපන් ජාතික මිතුරියකට වුන සිද්ධියක්. ඇය තවත් මිතුරියක් එක්ක නේපාලයේ සංචාරයක වෙමින් සිටියදී ඔවුන් ගමන් කරපු වාහනය කැඩිලා. නේපාලයේ ගම්බද පෙදෙසක් නිසා වාහනය හදා ගන්න තැනක් තිබිලා නෑ. රෑ වෙන්න කලින් ආපහු එන්නත් ඕනෙ නිසා අසල තිබ්බ කඩමණ්ඩියක හිටපු ත්‍රිරෝද රථයක රියැදුරාට කතා කරල තියෙනවා. ඒත් එතැන හිටපු පිරිමි සෑහෙන දෙනෙක් එතැනට රැස් වෙලා ඔවුන් ගෙන් ගාස්තුව වශයෙන් විශාල මුදලක් ඉල්ලලා. සමහර විට විදේශික කාන්තාවන් දෙන්නෙක් නිසා පිරිමි ගොඩකට මැදි වුනාම බය වෙලා ඉල්ලන ගාන දෙයි කියල හිතන්න ඇති. කොහොම නමුත් ඔවුන්ට ඉල්ලන ගාන දීල මේ දෙන්න ත්‍රිරෝද රථයේ ආපහු ඇවිත්. පසුව දවසක මට මේ සිද්ධිය ගැන කියල ඇය කතාව ඉවර කරේ මේ වාක්‍යයෙන්.

"මොනව කරන්නද වෙලාවෙ හැටියට කරන්න දෙයක් නෑ නෙ. මොනව වුනත් එයාට හොඳ යාළුවො ටිකක් ඉන්නවා."

මේ හිතන විදිහට පසුබිම් වෙන්නේ ජපන් සංස්කෘතියේ එන සංකල්පයක්. මේ වගේ වෙලාවට ජපන්නු පාවිච්චි කරන වචනයක් තියෙනවා. ඒ "ෂිකත ගා නයි". ඒක "මොනව කරන්නද​?" කියල සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්. (සමහර වෙලාවට මේක "ෂෝ ගා නයි" කියලත් උසුරුවනවා).

ජපන්නු මේ යෙදුම පාවිච්චි කරන්නෙ තමාට වලක්වාගන්න බැරි අසීරු අවස්ථාවකට පත් වුනාම සිත බිඳ නොවැටී තියා ගන්න​. මේ සංකල්පයට තියෙන්නෙ බෞද්ධ පසුබිමක්. අට ලෝ දහමින් කම්පා නොවීම කියන සංකල්පයත් එක්ක මේක ළඟින් යනවා.

ජපානය කියන්නෙ සොබාවික විපත් ඉතා අධික රටක්. භූමිකම්පා, කුණාටු, සුනාමි, හිම පතන වගේ උවදුරු ජපනුන් ගෙ ජීවිත වල කොටසක්. ඒ එක්කම දෙවැනි ලෝක යුද්ධයේදි ජපානය සම්පූර්නයෙන්ම වගේ විනාශ වුනා. න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයකට පවා ලක් වුනා.

ඒත් මේ මොන උපද්‍රවයෙන් වුනත් ආපහු නැගී සිටින්න ජපනුන්ට තියෙන ශක්තිය පුදුම උපදවන සුළුයි. ඒ ශක්තියේ ප්‍රධාන ප්‍රභවයක් වෙන්නෙ ෂිකත ගා නයි සංකල්පය​. භූමිකම්පාවක් කියන්නෙ අපිට වලක්වාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් භූමිකම්පාවකින් විනාශයක් ඇති වුනාම ඒක ගැන තැවෙනවා වෙනුවට "මොනව කරන්න ද?" කියල හිත හදාගෙන ඉදිරිය දිහා බලන එක තමයි ජපන් සංස්කෘතියෙන් ඉගැන්වෙන්නේ.

මේක සොබාවික විපත් වලදී වගේම එදිනෙදා ජීවිතයේදි ඇතිවෙන කරදර වලදිත් යෙදෙනවා. විශේෂයෙන්ම රැකියාවේදී.

රැකියාවේදී ෂිකත ගා නයි සංකල්පය යොදා ගැනීම ජපන් සහ බටහිර සංස්කෘතීන් අතර ගැටුම ඉතා තදින් පවතින තැනක්. ජපන්නු එක්ක වැඩ කරද්දි ඔවුන් අමාරු අවස්ථාවකදී "ෂිකත ගා නයි" කියල හිත හදා ගැනීම බටහිර අයෙක්ට අදහා ගන්න බැරි තරම් පුදුම දෙයක් වගේම ඔවුන් ඒක සලකන්නේ මෝඩ කමක් විදිහට​. ඔවුන් දකින්නෙ ජපන්නු අසාධාරනයක් වුනාම ඒ වෙනුවෙන් කෑගහන්නෙ නැතුව බියසුළු විදිහට නිහඬ වෙනවා කියල​. ඒ නිසාම ඔවුන් දකින්නෙ ජපන්නු තමාවෙනුවෙන් පෙනී සිටින්න ඇති අකැමැත්ත නිසා දුක් විඳින පිරිසක් විදිහට​.

ඒත් ෂිකත ගා නයි සංකල්පය කියන්නෙ ජපනෙක්ට ජීවිතය පහසු කරවන දෙයක්.

1 comment:

  1. අපේ අනිත්‍යයි කියන එක මේ වගේම තමා.

    ReplyDelete