Main Logo

Sunday 18 February 2018

මන්ත්‍රීවරු 113 ඇතත් නැතත් රනිල් ඉවත් කරමු


මන්ත්‍රීවරු 113 ඇතත් නැතත් රනිල් ඉවත් කරමු


බොහෝ දෙනා මට රනිල් ඉවත් කිරීම පිළිබඳ ව කියනවා. එක් තරුණයකු කිව්වේ අගවිනිසුරු අස්කළ අන්දමට එක් නිවේදනයකින් අගමැති අස් කරන්න පුළුවන් කියා. මෙරට බොහෝ දෙනකු කතා කරන්නේ යම් දැනුමක් (නීතියක්  ඇතුළු) වලංගු වන්නේ කිනම් පරාසයක ද කියා සෙවිල්ලක් නැතිව. එනම් දැනුමක් වලංගු වන හතරමායිම ගැන නොදැන. දහනවවැනි සංශෝධනයට පෙර හා පසු යන වෙනසත් ඇතැමුනට තේරෙන්නේ නැහැ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර අගවිනිසුරු ඉවත් කළ ආකාරය හා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අගමැති වෙනස් කරන ආකාරය දෙකක්. අතන එහෙම කළා නම් මෙතන මෙහෙම කරන්න පුළුවන් කියා කියන්න බැහැ.

2015 ජනවාරි 9 වැනි දා දි මු හිටිය දී ම රනිල් පත්කිරීම වැරදියි කියලා මාත් ඒ දිනවල හිතන් හිටියෙ. එහෙත් එකලත් එකල ව්‍යවස්ථාවේ 43(3) යටතේ එය කරන්න පුළුවන්. මා ඒ බව තේරුම් ගැනීමෙන් පසු රනිල් ඉවත් කිරීමටත් 43(3) හා තවත් වගන්ති යොදා ගත හැකි බව කියන්න පටන් ගත්තා. එ දැනට අවුරුදු දෙකකටත් කලින්. එහෙත් ඒ අදහස සමාජයට දැනෙන්න මැතිවරණයක් පවත්වන්න සිද්ධ වුණා! දැනට අවුරුද්දකට පෙර මා ඒ අදහස ප්‍රසිද්ධ හිමිනමක් ඉදිරියේ මාධ්‍ය ප්‍රධානියකුට පැවසුවා. එහෙත් ඔහු ඒ ගැන කිසිවක් කෙළේ නැහැ. එක් පඬියකු කියා තිබුණේ මේ තර්කය දැන් පරණ බව. ඔහු ඉන් කුමක් අදහස් කෙළේ ද යන්න පැහැදිලි නැහැ. තර්කයක් පැරණී වූ පමණින් ඒ ගැන මෙතෙක් කිසිවක් නොකෙරී ඇති පමණින් තර්කය අවලංගු  වන්නේ නැති බව පමණක් කිව යුතුයි.

දහනවයට පෙර ව්‍යවස්ථාවේ එකල 47 (අ) යටතේ ජනාධිපතිට අගමැති අස් කිරීමේ බලය තිබුණා. දහනවයෙන් ඒ බලය නැති කෙරුණා. දහනවයෙන් පසු අදාළ වගන්තිය 46(2) යි. එහි අස් කිරීමේ බලතල නැහැ. මේ රනිල් විධායක ජනාධිපති බලතල නැති කළ ආකාරයයි. අද ඊනියා ව්‍යවස්ථා අර්බුදයක් ඇති වී තිබෙන්නේ ඒ බලතල ජනාධිපතිට අහිමි කිරීම නිසයි. එහෙත් එය ව්‍යවස්ථා අර්බුදයක් නොවන බවත් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ හැකි බවටත් අප පසුගිය ලිපිවලින් තර්ක කර තියෙනවා.

මේ අතර රටින් පිට සිටින අයකු 48(1) කෙරෙහි මගේ අවධානය යොමු කර තියෙනවා. ඒ අනුව සාමාන්‍ය කාලයක දී අගමැති ඉල්ලා අස්වූවොත් හෝ ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් හෝ අන්‍යාකාරයකින් හෝ ධුරය දැරීම නතර වුවහොත් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරෙනවා. මෙය දහනවයට පෙර ව්‍යවස්ථාවේ 48(2) අනුව්‍යවස්ථාවයි. දහනවය කෙටුම්පත් කළ අයට ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් කියන කොටස අයින් කිරීමට අතපසු වී තිබෙනවා. මා කලකට පෙර කී පරිදි දහනවය කඩිමුඩියේ කළ වැඩක්. එහි අතපසු වීම් පරස්පර ගණනාවක් තිබෙනවා.

48(1) අනුව්‍යවස්ථාව කෙරෙහි මගේ අවධානය යොමු කළ අයට මා ස්තුතිවන්ත වෙනවා. ඔහු ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් යනුවෙන් සඳහන් වී ඇත්තේ ඇයි ද කියා ප්‍රශ්න කරනවා. ඒ කෙටුම්පත් නිලධාරීන්ට ධුරයෙන් ඉවත් කිරීමට දහනවයෙන් ඉඩ නැති බව අමතක වී පැරණි 48(2) එසේ ම තිබීම නිසා හටගත්තක්. එහෙත් මේ නව 48(1) වෙනත් කරුණක් නිසා වැදගත් වෙනවා. එහි සඳහන් අන්දමට අන්‍යාකාරයකින් අගමැති ධුරය දැරීම නතර වුවත් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරෙනවා. මේ අන්‍යාකාරය යනු අර්ථ නොදැක්වෙන දෙයක්. මෙහි කියන්නේ අගමැති ධුරය දැරීම නතර කෙරෙන නිශ්චිත ව ව්‍යවස්ථාවේ සඳහන් නොවූ අන්‍යාකාරත් තිබිය හැකි බවයි.

ජනාධිපතිට අගමැති අස් කරන්න බැරි වුවත් අප ඊයේත් කලින් දිනවලත් තර්ක කර ඇති ආකාරයට 43(3) යටතේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකියි. 42 (4) යටතේ වෙනත් අගමැති කෙනකු පත් කළ හැකියි. එසේ සංයුතිය වෙනස් කිරීමට අගමැති ද අයත් වෙනවා. එනම් ජනාධිපති අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමත් සමග අගමැති එකී ධුරය දැරීම නතර වෙනවා. එය 48(1) හි කියැවෙන අන්‍යාකාරයකින් අගමැති ධුරය නතර කිරීමක්. රනිල් ඉල්ලා අස්නොවූවත් මන්ත්‍රී ධුරය අහිමි නොවූවත් අන්‍යාකාරයකින් අගමැති ධුරය දැරීම නතර කිරීමට අගමැතිත් ඇතුළුව අමාත්‍ය මණ්ඩල සංයුතිය වෙනස් කිරීම ප්‍රමාණවත්. ඒ සමග 48(1) අනුව අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරෙනවා. එවිට වෙනත් අමාත්‍ය මණ්ඩලයක් පත් කරන්න පුළුවන්. මේ සියල්ල විනාඩි ගණනකින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ජනාධිපතිට අගමැති අස් කරන්න බැරි වුවත් රනිල් අගමැති ධුරය දැරීම නතර කරන්න පුළුවන්.

අප ඊනියා ජාතික ආණ්ඩුව වලංගු නැත ආදී තර්කවල එල්ලෙන්න හොඳ නැහැ. ඊනියා ජාතික ආණ්ඩව පිහිටුවා ඇත්තේ 46(5) අනුව්‍යවස්ථාව යටතේ මිස ගිවිසුමක් මත නො වෙයි. ඇතැමුන් මෛත්‍රිපාල නොමග යැවීමට ලණු දෙනවා වෙන්නත් පුළුවන්. කොහොමටත් අද රනිල් මෛත්‍රිපාල විරසකය තීව්‍ර වෙලා. එය රඟපෑමක් ලෙස අයකුට තවමත් හිතන්න පුළුවන්. ඒ අයට ව්‍යාජ සමාජවාදයේ පිහිටයි. අද ප්‍රශ්නය නීතිය හා පාර්ලිමේන්තුව අතර ප්‍රශ්නයක් කරන්න පුළුවන්. එහෙත් නීතිය ඇත්තේත් රනිල්ට විරුද්ධවයි. නිමල් සිරිපාල ද සිල්වාට 113ත් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නැතත් නීතියෙනුත් ව්‍යවස්ථානුකූල ව රනිල් ඉවත් කරන්න පුළුවන්.

මෛත්‍රිපාලට උපදෙස් දෙන්න දක්‍ෂයන් නැති බව පැහැදිලියි. අද ඔහු නීතිපතිගේ පිහිට පතනවා. අයකු අසා තිබූුණා එදා අගවිනිසුරු ඉවත් කරන විට රනිල් අගමැති ලෙස පත් කරන විට මහේන්ද්‍රන් පත් කරන විට නීති උපදෙස් නොපැතූ මෛත්‍රිපාල අද නීති උපදෙස් පතන්නේ ඇයි ද කියා. එයට හේතුව පැහැදිලියි. 2015ත් 2016ත් මෛත්‍රිපාල කටයුතු කෙළේ රනිල්ගේ හා චන්ද්‍රිකාගේ උපදෙස් මත. ඔහු ඔවුනට අවනත වෙලා හිටියෙ. 2017 වන විට ඔහු තරමක් නිදහස්. අද ඔහු රනිල්ට විරුද්ධව කටයුතු කරනවා. අප දිගින් දිගට ම ඔහු අවිශ්වාස කරමින් ඔහුට ශක්තිය නොදෙමින් කටයුතු කළහොත් ඔහුට නැවතත් රනිල්ට යට වීමට සිදුවෙනවා. අද බටහිර හා ඉන්දීය බලවේග සිංහලයන්ට විරුද්ධ ව ඊනියා ජාතික ආණ්ඩූව සංහිඳියාවක් නාමයෙන් පවත්වාගෙන යෑමට සම්පූර්ණ බර දමනවා. ඔවුන් ජෙනීවා තර්ජන නැවතත් කරාවි. ඊනියා යහපාලනය ඉවත් කර අපි ඒ තර්ජනවලට මුහුණ දෙමු. මේ අවස්ථාවේ මෛත්‍රිපාලට ශක්තිය ලබා නොදීම යනු රනිල් තහවුරු කිරීමක් හා බටහිර හා ඉන්දීය බලවේගවලට යට වීමක්. අද පිහිටුවන්න ඕන භාරකාර සම සංධාන ආණ්ඩුවක්. එහි ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකු ඇමතිකම් භාර ගැනීම බටහිරට හා ඉන්දියාවට  දෙන අතුල් පහරක් වේවි.  


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-18