Saturday, February 17, 2018

උතුරේ ජනමතය සහ පොහොට්ටුව

උතුරේ ද දකුණේ ද වාසය කරන දෙමළ වර්ගවාදීන් පවසන පරිදි අපේ රටෙන් වෙන් වී වෙනම රටක් ගොඩනැගීම උතුරේ ජනතාවගේ එකම අරමුණය. 13 බලාත්මක කිරීම, ෆෙඩරල්, සන්ධීය සහ සහ සන්ධීය මාර්ග ඔස්සේ ඒ ඊළම වෙත යාමට මග අවුරන්නේ සිංහල ජාතිවාදියෝය. ඒ වර්ගවාදීන්ගේ කඳවුර පොදුජන පෙරමුණය.

මෙවර මැතිවරණයේ දී එම පෙරමුණට උතුරේ කිසිවකු ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් ඔහු බෙදුම්වාදයට එරෙහි අයකු විය යුතුය. තමන්ට තනි රටක් නොව අප හැමට එක රටක් යන මතයෙහි පිහිටා කටයුතු කරන පිරිසක් විය යුතුය. බෙදුම්වාදීන් පවසන පරිදි නම් එවැනි පිරිසක් උතුරේ සිටිය නොහැකිය. උතුරේ බෙදුම්වාදයට එරෙහි කිසිවකුට කිසිම ඉඩක් තිබිය නොහැකිය. මන්ද තමන් නියෝජනය කරන්නේ උතුරේ ජනමතය යැයි ඔවුන් කියන නිසාය.

ඒ අනුව උතුරේ විශේෂයෙන් යාපනයෙ පොදුජන පෙරමුණට අවාසි සහගතම කලාපය ලෙස නම් කිරීම නිවැරදිය. බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණට ද ඔවුන්ට වඩා වායසියක් උතුරේ තිබිය යුතුය.

එහෙත් මහ පොළොවේ යථාර්ථය ඊට වෙනස්ය. මේ පොදුජන පෙරමුණ උතුරේ යාපනය දිස්ත්‍රික්කයේ ලද ඡන්ද ප්‍රමාණයයි.
පේදුරු තුඩුව නගර සභාව 66
චාවකච්චේරි නගර සභාව 60
කරෙයිනගර් ප්‍රාදේශීය සභාව 15
කයිට්ස් ප්‍රාදේශීය සභාව 142
වෙලනායි ප්‍රාදේශීය සභාව 899
වලිකාමම් බටහිර ප්‍රදේශීය සභාව 198
වලිකාමම් නිරිත දිග ප්‍රදේශීය සභාව 198
වලිකාමම් දකුණ ප්‍රදේශීය සභාව 188
වඩමාරච්චි නිරිත දිග ප්‍රදේශීය සභාව 125
පේදුරුතුඩුය ප්‍රාදේශීය සභාව 912
චාවකච්චේරි ප්‍රාදේශීය සභාව 210
නල්ලූර් ප්‍රාදේශීය සභාව 274
එකතුව 3287


මේ අනුව පළාත් පාලන මැතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ ඡන්ද 3287ක් ලබා නියෝජිතයන් තිදෙනකු පත්ව තිබේ. අතිශය භයානක ලෙස සිංහල ජනතාව කෙරෙහි බිය වෛරය ඇති වන ආකාරයටත් මහින්ද රාජපක්ෂ එහි නායකයා ලෙසත් හුවා දක්වා දෙමළ සන්ධානය, ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ වර්ගවාදී මැතිවරණ ප්‍රචාරය හමුවේ උතුරින් පොදුජන පෙරමුණට තරග කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට හෝ හැකියාවක් ඇතැයි අප විශ්වාස කළේ නැත.

එහෙත් යාපනයේ සැලකිය යුතු පිරිසක් ඒ ප්‍රචාරවලට එරෙහිව පොදුජන පෙරමුණ ඔස්සේ තරග වැදී තිබීම ඉතාම වැදගත්ය. ඡන්ද ප්‍රමාණය පවා එතරම් වැදගත් නැත. බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින ජවිපෙට වඩා ජන ආකර්ෂණයක් පොදුජන පෙරමුණට ම රටේ අවාසිසහගතම කලාපයේ දී තිබේ.

මෙලෙස මාස කිහිපයක් ඇතුළත සමස්ත රට පුරා බිම් මට්ටමේ සාමාජික පිරිසක් ගොඩ නඟා ගැනීම එම පක්ෂය ලද සුවිශේෂ ජයකි. එන්ජීඕකාරයන් සහ ෆෙඩරල්වාදීන් දුර්මුඛ කරන මේ ප්‍රතිඵලය රැක ගැනීමට ජාතික බලවේග පෙරමුණ ගැනීම වැදගත්ය. උතුරේ ජනතාව අතර සිංහල ජනතාවට එරෙහිව වපුරන හුඹස් බිය පරාජය කිරීමට කටයුතු කිරීම මේ අවස්ථාවේ අප හමුවේ ඇති වගකීමකි.

එසේම මේ අවස්ථාවේ දෙමළ සන්ධානයේ මතය ම නියෝජනය කළ ද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන ජාතික ධාරාවේ පක්ෂ වෙත උතුරේ ජනතාව ආකර්ෂණය වීම ඉහළ යාම ද මා මේ මොහොතේ දකින සුබ ලකුණකි. එය අනාගතයේ දෙමළ ජනතාව තමන් සිර කොට ඇති වර්ගවාදී සීමා බිඳ දමා එක රටක් එක දැයක් ලෙස නැගී සිටීමට සුදානම් වන බවට ලද ඉඟියකි. අප ද ඒ පිරිස සාදරයෙන් පිළිගැනීමට සහ සෙසු පිරිස ද ඒ දහරාවට යොමු කර ගැනීමට සුදානම් විය යුතුය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !