විසිරුණු සිතිවිලි

Share

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මම ආසම කොල්ලුපිටියේ ඉදන් වැල්ලවත්ත වෙනකන් තියෙන මුහුදු තීරයට..වෙරළක් නැති දුම්රිය පාරටම සමාන්තරව තියෙන මුහුද දිහා බලන් යන්න මට තියෙන්නේ කවදාවත් නො සන්සිදෙන්නේ නැති ආසාවක්.වෙරළකින්වත් වෙන් නො වුණ අන්තය දක්වාම පෙනෙන මුහුදේ තියෙන්නේ වචනෙන් කියන්න බැරි අමුතුම ලස්සනක්.දුම්රියේ කවුළුවෙන් ඔලුව එළියට දාගෙන මුහුදු  හුළං විදින ගමන් ඈත පේන මුහුද දිහා බලන් යනකොට මට දැනෙන හැඟීම් අනන්තයි.පරක් තෙරක් නො පෙනෙන මුහුදට වඩා අපි මොන තරම් පුංචි ද කියල මට එවෙලෙට දැනෙනවා.ක්ෂිතිජය දක්වාම නිල් පාටේ ඉදන් කොළ පාට වෙනකන් අඩු වැඩි විදියට පාට ගෑවුණ මුහුදු වතුර ඇස් මානයේ මවන ලෝකය දිහා මන් බලාගෙන යන්නේ පුදුම ආසාවකින්..අතරින් පතර තැනක මාත් ඒ සාගරයත් අතරට තවත් දේ පැමිණියත් යළිත් මොහොතකින් ඒ සියලු දේ මැඩගෙන නැවත අපේ දර්ශනය එකතු වෙනවා.සාගරය තරමටම ඒ සුළු මොහොතට මගේ හිතත් අනන්තය සමග ඒකාත්මික වෙන සෙයක් මට හැඟෙනවා.

සාගරය තරමටම ලොව අනන්ත යැයි කිව හැකි දෙයක් ඇත්නම් ඒ ආදරය යැයි මන් අදහනවා.සාගරය සේම ආදරය ද අනන්ත නො වන නමුත් ඒ යථාර්තයට වඩා ඒ බොරුව අපි ප්‍රිය කරනවා.ආදරයට සීමා මායිම් නැති බව විශ්වාස කරන අයම විටෙක ආදරයේ නාමයෙන් සීමා මායිම් පනවනවා.ආදරය පරාර්ථය පිණිසම යි පාරම් බාන ඔබත් මමත් ආදරයේ අයිතිය ගිලිහුණ තැන අඩනවා..වැලපෙනවා.ආදරය යනු අයිතිය නො වේ යැයි දැන දැනම අපි ආදරේට අයිතියක් හොයනවා.පසු කලෙක නීතිමය වශයෙන් අයිතිය තහවුරු කරගැනීම සඳහා ක්‍රියා කරනවා.සැබවින්ම ආදරයක් පොතේ ලිවූ පමණින්ම මැරෙනතුවට පවතිනවා ද? පොතක නො ලියා නීතිගත නො කෙරූ පමණින් සමහර ආදර අන්දර නැතිව යනවා ද ? ආදරය අනන්ත යැයි පවසන බොහෝ අයගේ ආදර කතා කාලයත් සමගම වියැකි යනවා.ඒ අතර ඇතැම් කෙනෙක් ඒ ආදරේ හිතේ දරාගෙන ලොවෙන් සඟවාගෙන ජීවත් වෙනවා..කවුරු හරි ද වැරදි ද යැයි විනිශ්චය කිරීමට මටත් ඔබටත් අයිතියක් නො මැති බැවින් ඒ ගැන වැඩි යමක් නො කිව යුතු යැයි මා සිතනවා.නමුත් ආදරය පූජනීය දෙයක් යැයි සිතන, ආදරය යනු විශ්වාසය අවංකත්ව යැයි සිතන ලොවක ආදරය යනු අයිතියම නො වේ යැයි අදහනු හැකි වුවත් වංචනිකයන් සිටින ආදරය යනු තාවකාලික හැඟීමක් පමණක්ම යැයි සිතන ලොවක ආදරය යනු අයිතිය මගින් රැක ගත යුතු දෙයක් යැයි මිනිසුන් සීතීම සාධාරණ යැයි මට හිතෙනවා.ආදරය යනු පවිත්‍ර නො කිලිටි හැඟීමක් වුවත් අයිතිය කරලියට ආ කල එහි පවිත්‍රත්වය කෙලෙසෙනවා.එහි පිවිතුරු බව නැති වූ කල ආදරයේ නියම අරුත වියැකි යන බව මම විශ්වාස කරනවා.

Image credits : http://bit.ly/2EOTZyR