ත්‍රිත්ව විද්‍යාලය අපරාජිතව ශූරතාවය දිනයි

461
Trinity crowned the U16 10 aside champs

වයස අවුරුදු 16න් පහළ සමස්ත ලංකා පාසල් රග්බි තරගාවලියේ දෙවන හා අවසන් දිනය වූ ඊයේ (20) දිනය නිමාවට පත්වූයේ අවසන් මහා තරගයේ දී මහනුවර කිංස්වුඩ් විද්‍යාලය පරාජයට පත්කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරමිනි.

එහි අවසන් මහා තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර නියමිත මිනිත්තු 20ක කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු 12 බැගින් ලබා ගනිමින් සම තත්වයේ පසු වූ නිසා තරගය අතිරේක කාලය වෙත රැගෙන යාමට සිදු විය. එහි දී පළමු උත්සාහක දිනුම වාර්තා කර ගනිමින් තරගයේ ජයග්‍රහණය හිමි කර ගත් ත්‍රිත්ව ක්‍රීඩකයින් අපරාජිතව තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරගාවලිය පුරාවට විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කළ ත්‍රිත්ව විද්‍යාලයේ ෂෙහාන් සිරිසෝම තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

පාසල් 8ක් අපරාජිතව පළමු දිනය අවසන් කරයි

සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ රග්බි තරගාවලිය ඊයේ (19) මහනුවර ස්ථාන දෙකක දී ආරම්භ විය.

තරගාවලියේ පලඟ ශූරතාවය සඳහා පැවති අවසන් තරගය ද ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර එහි දී ශූරතාවය දිනා ගනු ලැබුවේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පරාජයට පත්කළ මහනුවර ධර්මරාජ විද්‍යාලයයි. තරගාවලියේ බඳුන හා පලිහ ශූරතා දිනා ගැනීමට පිළිවෙළින් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය.

තරගාවලියේ දෙවන දිනය ආරම්භ වූයේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගය සමඟයි.

එහි දී ලකුණු 22ක පරතරයක් සමඟින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ සාන්ත පීතර විද්‍යාලයයි. අනතුරුව පැවති තරගයේ දී ලකුණු තත්වයේ පසුපසින් සිට අවසන් මිනිත්තු කිහිපයේ දී උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනිමින් ධර්මරාජ විද්‍යාලය ලකුණු 12-07ක් ලෙස පරාජයට පත්කරන්නට කිංස්වුඩ් විද්‍යාලය සමත් විය.

අනතුරුව පැවති අර්ධ අවසන් පූර්ව වටයේ ඉතිරි තරග දෙකේ දී ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය පිළිවෙළින් විද්‍යා විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය හමුවේ පහසු ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව පැවති අවසන් පූර්ව වටයේ තරගවල දී සාන්ත පීතර විද්‍යාලය ලකුණු 26-00ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කරන්නට කිංස්වුඩ් විද්‍යාලයත්, රාජකීය විද්‍යාලය ලකුණු 22-00ක් ලෙස පරාජයට පත්කරන්නට ත්‍රිත්ව විද්‍යාලයත් සමත් විය.

අර්ධ අවසන් පූර්ව වටයේ දී පරාජයට පත්වූ කණ්ඩායම් අනතුරුව තරගාවලියේ පලඟ ශූරතාවය සඳහා තරග කළ අතර එහි දී ධර්මරාජ විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලයත්, වෙස්ලි විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලයත් තරග බිමට පිවිසුණි. එහි දී වෙස්ලි විද්‍යාලය ලකුණු 12-05ක් ලෙස පරාජයට පත්කරන්නට විද්‍යා විද්‍යාලයත්, විද්‍යාර්ථ විද්‍යාලය පරාජයට පත්කරන්නට ධර්මරාජ විද්‍යාලයත් සමත් විය.

සාන්ත අන්තෝනි, සාන්ත ආනා, පිළියන්දල සහ සහිරා විද්‍යාල පරාජයට පත්කළ සාන්ත ජෝසප්, ලුම්බිණි, ශ්‍රී සුමංගල සහ තර්ස්ටන් විදුහල් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ අතර අවසන් පූර්ව වටයේ දී ලුම්බිණි විද්‍යාලය පරාජයට පත්කරන්නට සාන්ත ජෝසප් විද්‍යාලයත්, තර්ස්ටන් විද්‍යාලය පරාජයට පත්කරන්නට ශ්‍රී සුමංගල විද්‍යාලයත් සමත් විය. අනතුරුව පැවති අවසන් තරගය ලකුණු 28-00ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරන්නට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

පලිහ ශූරතාවය සඳහා පැවති තරග වටයේ දී මහානාම විද්‍යාලය පරාජයට පත්කරන්නට ඩී. එස්. සේනානායක විද්‍යාලයත්, මලියදේව විද්‍යාලය පරාජයට පත්කරන්නට සාන්ත සිල්වෙස්තර විද්‍යාලයත් සමත් වූ අතර පසුව අවසන් තරගය ජයග්‍රහණය කළ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ පලිහ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තරගාවලිය පුරාවට ක්‍රීඩකයින් ඉතාමත් උද්‍යෝගයෙන් තරග කළ අතර වයස අවුරුදු 16න් පහළ සමස්ත ලංකා පාසල්, කණ්ඩායමක් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වන සාමාන්‍ය තරගාවලිය ලබන සතියේ දී ආරම්භ වන නිසා ඒ සඳහා සූදානම් වීමට මෙම තරගාවලිය හොඳ අවස්ථාවක් ද විය.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට