අගෝස්තු 15 : ලෝ ප්‍රකට V-J Day in Times Square ඡායාරූපය ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටේට්ගේ කැමරාවේ සටහන් වේ

 

1945 වසරේ අද වැනි දවසක V-J Day in Times Square හෙවත් " ටයිම්ස් චතුරශ්‍රයේ ජය සැමරුම" නම් ලෝ ප්‍රකට ඡායාරූපය ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටේට්ගේ කැමරාවේ සටහන් විය.
ඒ ඇමරිකානුවන් වීදි බැස නිව්යෝර්ක් නුවර ටයිම්ස් චතුරස්‍රයෙහි ජය සමරන මොහොතකි. 1945 වසරේ අගෝස්තු 15 වැනි දා මිත්‍රපාක්ෂික හමුදා ජපන් හමුදා පරදවා ජය ලැබූ පුවත ඇසූ මිත්‍රපාක්ෂික රටවල් සියල්ලම මේ ආකාරයෙන් ජයපැන් බොන්නට වන්නේ සය වසරක යුද්ධය නිමා වූ බැවිනි. ජූලි 28 වැනිදා නිකුත් කළ අවසාන නිවේදනය ද නොතකන ජපානය ඇමරිකාව විසින් අගෝස්තු 06 වැනිදා හෙලූ හිරෝෂිමා බෝම්බයෙන්ද අගෝස්තු 09 වැනිදා හෙලූුු නාගසාකි බෝම්බයෙන්ද අඩපණ විය. අවසානයේ අගෝස්තු මස 14 වැනිදා ජපානය පරාජය වූ අතර ඔවුන් තමා යටත් වූ බව ලිඛිතව ලබා දෙන්නේ සැප්තැම්බර් 02 වැනිදාය. .V-J Day හෙවත් Victory over Japan Day එනම් , "ජපානයට එරෙහි විජයග්‍රාහී දිනය " ලෙස මේ දින දෙකම සැමරෙන්නේ එබැවිනි.


"ජයපැන් දිනයේ දී මම ටයිම්ස් චතුරස්‍රයේ එක් සේලරුවෙක් දැක්කා. ඔහු දකින ඕනෑම ගෑණු කෙනෙක්ව අතින් අදිමින් තනිව දිව යමින් සිටියේ." ඡායාරූප ශිල්පී ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටේට් (Alfred Eisenstaedt) තම මතකය අවදි කරන්නේ එලෙසය. " ඒ ආච්චි කෙනෙක් ද , තරබාරු ද , කෙට්ටුද කියන එක ඔහු සැලකුවේ නැහැ. මම කැමරාවත් රැගෙන ඔහු පසු පස දිවගියත් පින්තූරයක් ගන්න බැරි වුණා " එසේ පවසන ඇල්ෆ්‍රඩ් ,සේලරුවා එක්වරම සුදු පැහැති යමෙක්ව ඇද ගන්නා බව තමා දුටු බව පවසයි. ඔහු වහා හැරී කළු පැහැයෙන් සැරසුණු සේලරුවා විසින් සුදු පැහැයෙන් සැරසුණු හෙදියව සිපගන්නා ආකාරය ඡායාරූපයට නැගීය. " ඇය අඳුරු පාටක් ඇඳලා හිටියා නම් මම කවදාවත් මේ පින්තූරය ගන්නේ නැහැ. ඒ වගේමයි සේලරුවා සුදු ඇඳලා හිටියා නම් .. " යනුවෙන් පවසන ඡායාරූප ශිල්පියා පින්තූර හතරක්ම කැමරාවට හසුකරගෙන ඇත.
පසුදින පුවත්පත් වල මේ සේයාරුව පළ වූ අතර ලොව පුරා ප්‍රචලිත වන්නේ තටු ලැබුණු අයුරිනි. නමුත් එහි සේලරුවා සහ හෙදියගේ අනන්‍යතාව හෙළිදරව් කර නොමැති වූ අතර මුහුණු ද හඳුනාගැනීම තරමක් දුෂ්කරය. නමුත් ලෝක යුද්ධය නිමාවේ සංකේතාත්මක ඡායාරූපයක් ලෙස සදාතනිකව ඉතිහාසයට එක්වන මෙම ඡායාරූපය වසරින් වසර , දසකයෙන් දසකය ලෝක අවධානයට පාත්‍ර විය.
" මම තරමක් බීමතින් හිටියේ. මම හිතපු විදියට ඇය හෙදියක්" එසේ පවසන George Mendonsa එවකට සේලරුවෙකි. ඔහු එමොහොතේ අසල පිහිටි ශාලාවක ඔහුගේ අනාගත බිරිඳ සමග විනෝදයෙන් කාලය ගත කරමි සිට ඇත. නගරවාසීන් යුද්ධය නිම වූ බව පවසමින් වීදි පුරා ජයග්‍රහණය සමරන්නට වූ විට මේ යුවළ ද සෙනඟ අතරට එක් වෙති. සුදු පැහැයෙන් සැරසී සිටි හෙදිය දකින බීමත් සේලරුව ඇයව සිප ගන්නේ එමොහොතේය. මෙසේ තම කතා පුවත පැවසූ George Mendonsa 1987 වසරේ දී අවසරයෙන් තොරව තමාගේ ඡායාරූප පළ කළේයැයි පුවත්පත් කීපයකට එරෙහිව නඩු පැවරූ අතර පසුව ඒවා නිෂ්ප්‍රභ විය.


" සිප ගැනීමකට ලක් වුණ එක මගේ කැමැත්තෙන් වුණ එකක් නෙමෙයි " එසේ පවසන්නේ ඒ යොවුන් හෙදිය ලෙස සැලකෙන Greta Zimmer Friedman ය. " ඔහු ඉතා ශක්තිමත්. මාව ඇදගෙන තදින් අල්ලා ගත්තා. අනතුරුව සිප ගත්තා. නමුත් මම ඔහුව සිප ගත්තේ නැහැ" ඇය අවධාරණය කළාය. "ඔහු තමයි මාව සිප ගත්තේ"
1945 වසරේ ඡායාරූපයට හසු වූ සේලරුවා සහ හෙදිය ඔවුන් බව තහවුරු කර ගැනීම පහසු නොවන්නේ තවත් කාන්තාවන් සහ පුරුෂයින් කීප දෙනෙක්ම ඒ සිටින්නේ තමන් බව පවසා සිටි හෙයිනි. ඔවුන් සතුව විවිධාකාරයේ ඉතිහාස කතන්දර තිබුණු නමුත් සියලුම සාධක සහ ඉතිහාසය සැසඳීමේ දී George Mendonsa - Greta Zimmer Friedman යනු මේ හාදුවේ සැබෑ හිමිකරුවන් බව නිගමනය විය. හාදුවේ මතකය විවිධාකාරයෙන් සැමරිණ. ප්‍රතිනිර්මාණය විය.

අමිහිරි යුද්ධයක් නිමා විය. විජයග්‍රහණය හාදුවකින් සැමරිණ. ඉතිහාසය සුවඳවත් කරමින් නුරාව සහ කුතුහලය ඉපදිණ.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment