Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නාට්සි විද්‍යාඥයින් ඇමරිකාවට කැඳවූ “ඔපරේෂන් පේපර්ක්ලිප්”

දෙවන ලෝක යුද්ධය බරපතල ලෙස පැවතුණු 1941 වසරේ දී නාට්සීන් සෝවියට් රුසියාව ආක්‍රමණය කිරීමේ බාබරෝසා මෙහෙයුම දියත් කළා. ඉන්පසු ලෙනින්ග්‍රාද් වටලෑමත්, නෝඩ්ලික්ට් මෙහෙයුමත්, ස්ටාලින්ග්‍රාද් සටනත් දියත් වුණත්, දීර්ඝ කාලීන සටනකට සූදානම්ව නොසිටීම හේතුවෙන් සෝවියට් රතු හමුදාව අතින් පරාජයට ලක්ව පසුබැසිමට නාසීන්ට සිදුවුණා; වඩා ප්‍රබල ආයුධ සහ තාක්ෂණයක අවශ්‍යතාවක් ඇති වුණා. මේ හේතුවෙන් 1943 පමණ වන විට යුධ බිමෙහිත්, අනෙකුත් විවිධ ‍රැකියාවලත් නියැලෙමින් සිටි ජර්මානු විද්‍යාඥයින් සහ තාක්ෂණවේදීන් රජය විසින් නැවත කැඳවනු ලැබුවා.

“හමුදාවේ කුස්සිවල සිටි ආචාර්ය උපාධිධාරීන්, සාත්තුසේවක ‍රැකියාවල නියැලෙමින් සිටි විද්‍යාවේදීන්, බේකරිවල පිසිමින් සිටි ගණිතඥයින් සහ ලොරි රියකරුවන්ව හුන් තාක්ෂණවේදීන් එක ‍රැයකින් එම ‍රැකියාවලින් නැවත කැඳවනු ලැබුවා”යි එකල සිටි විදුලි ඉංජිනේරුවරයෙකු වූ ඩීටර් කේ. හියුසල් ඔහුගේ පොතක සඳහන් කරනවා.

නාට්සි විද්‍යාඥයින් ලැයිස්තුගත කෙරේ.

දෙවනි ලෝක යුධ සමයේදී යමෙකු දක්ෂ විද්‍යාඥයෙකු වූ පමණින් ඔහුව රජයේ ‍රැකියාවකට බඳවාගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඔහුගේ දේශපාලන මත, පක්ෂපාතීත්වය සහ විශ්වාසකටයුතුභාවය පිළිබඳව ප්‍රථමව සොයා බැලිය යුතු වුණා. එම පිරික්සුම් කටයුතුවලින් අනතුරුව බඳවාගැනීමට උචිත යැයි රජය විසින් තීරණය කරන ලද සියළු විද්‍යාඥයින්ගේ ලැයිස්තුවක් සකස් කෙරුණා. මෙම ලැයිස්තුව සකස් කරන ලද්දේ එකල “ආරක්ෂාව පිළිබඳ පර්යේෂක එකතුව”ට නායකත්වය සැපයූ ඉංජිනේරුවා වූ වර්නර් ඔසෙන්බර්ග් විසින් නිසා මෙය “ඔසෙන්බර්ග් ලැයිස්තුව” යනුවෙන් හඳුන්වනවා.

පේපර්ක්ලිප් මෙහෙයුමේ විද්‍යාඥයින් පිරිසක් ටෙක්සස් ජනපදයේ ෆෝට් බ්ලිස් හි දී (Wikimedia)

1945 මාර්තුවේ දී බොන් විශ්වවිද්‍යාලයේ වැසිකිළියක තිබී මෙම ලැයිස්තුව සොයා ගෙන අැත්තේ පෝලන්ත ජාතික පර්යේෂණාගාර සහායකයෙකු විසිනුයි. මෙම ලැයිස්තුව බ්‍රිතාන්‍යයේ SIS නම් බුද්ධි අංශය අතට පත්වන අතර, ඉන්පසු එක්සත් ජනපද යුධ හමුදාවේ යුද්ධෝපකරණ බලකායේ මේජර් රොබර්ට් ස්ටැවර් අතට පත්වෙනවා. යුද්ධෝපකරණ බලකායේ පර්යේෂණ සහ බුද්ධි අංශයට සේවය කළ ඔහු, එහි නම් සඳහන් අයවලුන් අල්ලා ප්‍රශ්න කිරීමට තීරණය කරනවා.

“ඔපරේෂන් පේපර්ක්ලිප්”

මුලදී “Operation Overcast” යන නමින් මෙම මෙහෙයුම් දියත් කරද්දී මේජර්වරයා අදහස් කළේ මෙම විද්‍යාඥයින් අල්ලා ප්‍රශ්න කිරීම පමණයි. නමුත් මේ පිළිබඳව වැඩි වැඩියෙන් සොයාබැලීමේදී ඔහුගේ අදහස වෙනස් වුණා. වරින් වර විවිධ අවස්ථාවන්වලදී 1000ට අධික විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, සහ තාක්ෂණවේදීන් බොහොමයක් දෙනා අත්අඩංගුවට ගැනුණු අතර, වසර කීපයක් තුල ඔවුන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සමඟ එක්සත් ජනපදයට ගෙන ගොස් එහි පදිංචි කරවනු ලැබුවා.

ප්‍රසිද්ධ ඡායාරූපයට පෙනී සිටි, පේපර්ක්ලිප් මෙහෙයුමේ පුරෝගාමී රොකට් විද්‍යාඥයින් (Pinterest)

1945 නොවැම්බර් පමණ වන විට ඕවර්කාස්ට් මෙහෙයුමේ නම්, “පේපර්ක්ලිප් මෙහෙයුම” ලෙස වෙනස් කරනු ලැබුවා. ඒ, ඔවුන් විසින් ‍තෝරාගත් විද්‍යාඥයින්ගේ ලිපිගොනුවලට ලිපි ඇමිණුමක් (පේපර්ක්ලිප් එකක්) යෙදීමට ඔවුන් පුරුදුව සිටි නිසා බවයි කියැවෙන්නේ. මෙම පේපර්ක්ලිප් මෙහෙයුම් හරහා 1990 වන තෙක් ජර්මානු විද්‍යාඥයින් එක්සත් ජනපදයට ගෙන්වූ බව වාර්තා වෙනවා.

“සීතල යුද්ධය” ජයගැනීමට 1600ක් නාට්සි විද්‍යාඥයින්.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු එක්සත් ජනපදය හා සෝවියට් සමූහාණ්ඩුව අතර සීතල යුද්ධයක් පැවති සමයේ, 1600ක් නාසි විද්‍යාඥයින්ගේ දැනුම එක්සත් ජනපදය දිනවීම සඳහා යොදාගනු ලැබුවා. මොවුන් අතරේ V-2 රොකට්‍ටුව නිපදවීමට දායක වූ විද්‍යාඥ වර්නර් වොන් බ්‍රෝන්, කර්ට් ඩෙබස්, බර්න්හාඩ් ටෙස්මන්, වෛද්‍ය හියුබර්ටස් ස්ට්‍රග්හෝල්ඩ්, හා වෛද්‍ය කර්ට් බ්ලෝම් ආදීන් ද වුණා. ඔවුන් රොකට්‍ටු, රසායනික අවි, ජෛව අවි ආදිය පිළිබඳව පර්යේෂණ පැවැත්වූයේ සෝවියට් සමූහාණ්ඩුවට වඩා එක්සත් ජනපදය යුධමය හා තාක්ෂණික අතින් දියුණු කරවීමේ අරමුණ ඇතිවයි.

වොන් බ්‍රෝන් (Life)

කෙසේ නමුත් එකල එක්සත් ජනපද ජනපති හැරී ටෲමන් මෙම “නාට්සි අපරාධකාරයින්ව” රජයේ බුද්ධි අංශවල සේවයට බඳවාගැනීම තහනම් කළා. එවිට ඔවුන් යොදවා පර්යේෂණ කටයුතු කරවමින් සිටි රජයේ බුද්ධි අංශයන් දෙකක් වූ JIOA සහ OSS විසින් සිදුකළේ මෙම නාසි විද්‍යාඥයින් සිදුකර තිබූ යුධ අපරාධ සැඟවීම සහ ඔවුන් ඒවායින් නිදොස් කිරීමයි. දෙවන ලෝක යුධ සමයේ අපරාධවල නියැලුණු විද්‍යාඥයින්ව එසේ නිදහස් කරගත් එක්සත් ජනපද බුද්ධි අංශ, ඔවුන්ගේ දැනුම සෝවියට් දේශයට එරෙහිව භාවිතයට අදහස් කළා.

නාට්සීන්ගේ නව නිපැයුම්.

මෙම විද්‍යාඥයින් කෙතරම් අපරාධ සිදුකර තිබුණත්, ඔවුන්ගෙන් විද්‍යාවේ දියුණුවට සිදුවූ දායකත්වය අති මහත්. අප අද භාවිතා කරනා ඇතැම් උපකරණ පවා නිර්මාණය කරන්නට යෙදුනේ මේ පේපර්ක්ලිප් මෙහෙයුමේ විද්‍යාඥයින් විසිනුයි.

මේ නිපැයුම් අතර කන භාවිතයෙන් ශරීර උෂ්ණත්වය මනින උෂ්ණත්වමාපකය, වාහනවල රෝද සඳහා භාවිත කරන කෘත්‍රිම රබර්, දත්ත ගබඩා කිරීම සඳහා භාවිත කරන විද්‍යුත් චුම්බක පටි (කැසට් පට ආදිය) සහ අැපලෝ අභ්‍යවකාශ යානා දියත් කළ සැටර්න් V රොකට්‍ටුව අැතුළු මුළුමහත් රොකට් තාක්ෂණයද වනවා. එසේම අභ්‍යාවකාශ තාක්ෂණය සහ අභ්‍යාවකාශ වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා ඔවුන් මහත් දායකත්වයක් සැපයූ අතර, NASA නිර්මාණය වූයේද ඔවුන් නිසා බව සිතිය හැකියි. පළමුවෙන් මිනිසෙකු අභ්‍යාවකාශයට යැවූ සෝවියට් දේශය පරදවා මිනිසා සඳ මත තැබීමට එක්සත් ජනපදයට හැකි වුණේ ඔවුන්ගේ දායකත්වය නිසා බව කිවහොත් එය අතිශයෝක්තියක් නොවෙයි.

විලියම් පිකටින්, ජේම්ස් වැන් ඇලන්, සහ වර්නර් වොන් බ්‍රෝන් ප්‍රථම ඇමරිකානු චන්ද්‍රිකාව වූ “explorer 1″හි ආකෘතියක් සමඟ – 31. 01. 1958 (nypost.com)

සෝවියට් දේශයට එරෙහිව තම බලය තහවුරු කරගැනීමට එක්සත් ජනපදය භාවිත කළේ සියළු ආචාරධර්මයන්ට පටහැනි ක්‍රියා බව මෙම ලිපිය කියවීමේදී ඔබට සිතෙන්නට ඇති. මිලියන 6ක් යුදෙව්වන් මරණයට පත්කළ, මුළු ලෝවම යුද්ධයකට ඇද දැමීමට ද දායක වූ නාට්සීන් පිරිසක් ඔවුන් කළ අපරාධවලින් නිදොස් කරනු ලැබුවේ හුදෙක් තම රටෙහි අභිවෘද්ධිය උදෙසා බව කිවහැකියි. ඔවුන්ගේ සහය සහ දැනුම නොවන්නට, එක්සත් ජනපදය පරදවා සෝවියට් සමූහාණ්ඩුව වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගැනීමට ඉඩ තිබුණා යැයි කිව හැකියි.

මූලාශ්‍ර:

  1. History.com
  2. cia.gov

කවරයේ රූපය: (Marvel Cinematic Universe Wiki)

Related Articles