Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවක් හඬවා නිහඬ වූ චෙස්ටර්

‘ලින්කින් පාර්ක්’ සංගීත කණ්ඩායම කිව්වම ලෝකේ නොදන්නා කෙනෙක් නෑ. නමුත් පසුගිය දා එම කණ්ඩායමේ නියාමක ගායකයා වූ චෙස්ටර් බෙනින්ටන් හදිසියේම මිය යනවා. ඔහු සිය දිවි නසා ගෙන, නමුත් මේක ඝාතනයක් කියලා සැකයකුත් තිබෙනවාලු. ඔහුගේ මරණය සමඟ ලොව පුරා සිටි ඔහුගේ රසික පිරිස් දැඩි ශෝකයට පත්ව සිටිනවා. ලංකාවෙත් ගොඩාක් අය ගායකයා නොදන්නවා වුණාට ඔහුගේ ගීත නම් හොඳට දන්නවා කියලයි අපිට හිතෙන්නේ. ඇමරිකාවේ ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායමේ උස් හඬින් ගී ගැයූ ඒ සුපිරි ගායකයා ගෙන අපි අද කතා කරන්න හිතුවා.

චෙස්ටර් ගැන කෙටියෙන්

චෙස්ටර් චාල්ස් බෙනින්ටන් යනු චෙස්ටර්ගේ සම්පුර්ණ නම වන අතර ඔහු 1976 මාර්තු 20 මෙලොව එළිය දකිනවා. ඒ ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ දී. චෙස්ටර් දෙවරක් විවාහ වන අතර මිය යන විට ඔහු දරුවන් හය දෙනෙකුගේ පියෙක්. 2017 මාර්තු පළමුවෙනිදා වන විට චෙස්ටර්ගේ මුළු වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 27 ක් ලෙස සටහන් වෙලා තිබුණා.

ලින්කින් පාක් කණ්ඩායම රොක් සංගීත ලොවේ පෙරළිකාර බලවේගයක් වුයෝය (pinimg.com)

අහිමි වූ කුඩා කාලය

චෙස්ටර් ගේ ළමා කාලය නම් එතරම් සුන්දර කාලයක් වෙන්නේ නෑ. ඔහුගේ කුඩා කාලය අප්‍රමාණ වූ බාධක හා කම්කටොලු වලින් පිරි එකක්. චෙස්ටර්ගේ පියා එකල පොලිස් පරීක්ෂකවරයෙක් වූ අතර මව හෙද නිලධාරිනියක්ව සිටියා. චෙස්ටර්ට වයස අවුරුදු 11 වන විට දෙමාපියන් වෙන් වන අතර ඉන් පසුව චෙස්ටර්ව නීතියෙන් පියාගේ බාරයට පත් වෙනවා. නමුත් තම මව නැති අඩුවෙන් ඔහු දැඩිව පීඩාවට පත් වෙනවා. ඔහු අධ්‍යාපනය ලබන්නේ අයන්වුඩ් උසස් පාසලෙන්.

චෙස්ටර් තම කුඩා කාලයේම මර්ජුවානා මත්ද්‍රව්‍යට දැඩිව ඇබ්බැහි වෙනවා. ඊට අමතරව ඇල්කොහොල් හා කොකේන් භාවිතයටත් දැඩිව ඇබ්බැහි වන මොහු මත්ද්‍රව්‍යවලට මුදල් සොයා ගැනීම වෙනුවෙන්ම විවිධාකාර වූ රැකියාවල පවා නිරත වෙනවා.

වර්ෂ 2014 නොවැම්බර් මස එංගලන්තයේ මැන්චෙස්ටර් නගරෙයේ සංගීත සංදර්ශනයක් අතරතුර (Photo by Gary Wolstenholme/Redferns via Getty Images)

චෙස්ටර් මත්ද්‍රව්‍යවලින් ඉවත් වීමට ඔහු තම 17 වන වියේදී  යළිත් වරක් මවගේ භාරකාරත්වයට පත් වීම බෙහෙවින් බලපෑවා. ඔහුගේ මව මේ පිළිබඳව දැන ගත් පසු ඔහුට නිවසින් පිට වීම පවා තහනම් කොට තිබෙනවා. ජිවත් වීමට මුදල් සොයා ගැනීම වෙනුවෙන් ඔහු පසුව බර්ගර් කිං අවන්හලක පවා සේවය කර තිබෙනවා. චෙස්ටර් තමන් කුඩා කාලයේ ලිංගික අතරවරයකට ලක් වූ බවත්, තමන් ඒ නිසා ද දැඩි මානසික පීඩාවකින් සිට සියදිවි නසා ගැනීමට පවා තැත් කළ බවත් සඳහන් වෙනවා.

චෙස්ටර් කුඩා කාලයේ (www.geocities.ws)

සංගීත දිවිය

තනිකමෙන් පීඩා විඳි චෙස්ටර් කාලයත් සමඟ සංගීතයට නැඹුරු වූ බව සඳහන් වෙනවා. මෙහි ප්‍රතිපලයක් වන්නේ 1993 දී චෙස්ටර් තමන්ගේ පළමු සංගීත කණ්ඩායම ‘Sean Dowdell and His Friends’ නමින් ආරම්භ කිරීමයි. මෙය රොක් සංගීත කණ්ඩායමක්. ඒ වසරේදීම ඔවුන් ගීත තුනකින් යුත් කැසට් පටයක් නිර්මාණය කරනවා. 1993 දී ‘Grey Daze’ සංගීත කණ්ඩායම සමඟ සම්බන්ධ වන ඔහු තම තනි ගීත කිහිපයක් නිර්මාණය කරනවා. ඒ අතර ‘Wake Me’, ‘Demo in’ සහ ‘No Sun Today’යන ගීත පැවතුණත් එම ගීතවලට හිමිකම තමන්ට නොලැබීම මත ඔහු 1998 දී එම සංගීත කණ්ඩායම හැර යනවා.

ඔහුගේ සංගීත දිවියේ විශාලම පරිවර්තනය සිදු වන්නේ ඉන් අනතුරුව වන අතර ඒ 2000 වසරේදී ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායම සමඟ සම්බන්ධ වීමත් සමඟයි. ඔහුගේ හඬින් හැඩ වුණු ‘Hybrid Theory’ සංයුක්ත තැටිය ලොව පුරා ජනප්‍රිය වන්නේ හීයක තරම් වේගයෙන්. ඇමරිකානු ගීත 200 දර්ශකයේ දෙවන තැන පවා රැඳෙන, 2000 වසරේ ලොව 7 වන ස්ථානයේ හොඳම අලෙවියක් ඊට හිමි වෙනවා. එම ඇල්බමයේ “In the end” ගීතය ඇමරිකානු හොඳම ගීත 100 දර්ශකයේ දෙවන ස්ථානයට පැමිණෙනවා පමණක් නොව සති 38ක් තිස්සේ එම දර්ශකයේ එම ගීතය රැඳී තිබෙනවා.එමෙන්ම මෙම ඇල්බමය ග්‍රැමී සම්මාන 3ක් වෙනුවෙන් නිර්දේශ වී තිබෙනවා.

වත්මන් පරපුරේම තනිකම, වේදනාව, හා සාංකාව වැනි හැඟීම් වලට හඬක් දුන් In the end ගීතයේ ඇල්බම් කවරය (images.genius.com)

2005 වසරේ දී චෙස්ටර් තමන්ගේම රොක් සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්නේ තමන් ලියූ නමුත් ලින්කින් පාර්ක් කණ්ඩායම එතරම් ගැළපෙන්නේ නැති ගීත වෙනුවෙනුයි. එය නම් කෙරෙන්නේ ‘Dead by Sunrise’ නමිනුයි

ඔහුගේ තුන්වන ඇල්බමය ලෙස ‘Minutes to Midnight’ ඇල්බමය 2007 වසරේදී නිකුත් වෙනවා. එහි ප්‍රථම සතිය ඇතුළත පිටපත් ලක්ෂ 6ක් අලෙවි වන අතර එම ඇල්බමයත් ඇමරිකානු ගීත දර්ශක වල ඉහළ ජනප්‍රියත්වයක් ලබා තිබෙනවා. 2013 ඔක්‌තෝබර් මස 13 වෙනිදා චෙස්ටර් තමන්ගේ සංගීත කණ්ඩායමේ මුල්ම ඇල්බමය ලෙස ‘Out of Ashes’ එළි දක්වනවා. කිසිදු අපහසුවකින් තොරව මෙයත් ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

ඉන්පසුව චෙස්ටර්ව අපට හමුවන්නේ ‘A Thousand Suns’ නම් වූ ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායමේ හතර වන ඇල්බමයත් සමඟයි. මෙය රසායනික යුද්ධ ගැන කියවෙන, යහපත් ප්‍රතිචාර ලද ඇල්බමයක් වුණා. 2012 වසරේදී චෙස්ටර් තම හතර වන ඇල්බමය ලින්කින් පාර්ක් කණ්ඩායම සමඟ එළි දැක්වූ අතර එය ‘Living Things’ නම් වුණා. ඔහු මිය ගිය දිනය තවත් අනුස්මරණ දිනයක් වුණේ ඔහුගේ අවසාන ගීතයත් ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායම එදිනම එළි දැක්වීම නිසාවෙනුයි. ඒ ගීතය ‘Talking To Myself’ නම් වන අතර මෙය ඔහුගේ රසිකයන් අතර මහත් කතා බහට පත්වූ සිදුවීමක් බවට පත් වුණා.

චෙස්ටර් තම කණ්ඩායමේ සගයකු වන මයික් ෂිනොඩා සමග (www.monitor.co.ug)

රගපෑමටත් හපන් චෙස්ටර්

චෙස්ටර් රංගන ශිල්පියෙක් වන්නේ 2006 වසරේ මාර්ක් නෙවෙල්ඩින් හා බ්‍රයන් ටේලර් අධ්‍යක්ෂණය කළ “ක්‍රෑන්ක්” (Crank) ක්‍රියාදාම චිත්‍රපටයේ ඔසුහල් සේවකයකුගේ චරිතය නිරූපණය කරමින්. ඊට අමතරව ඔහු 2010 වසරේදී දී බාල වයස්කරුවෙකුගේ චරිතයට පෙනී සිටියා. ‘SAW 3D’ චිත්‍රපටයේ ඔහු කළ එම චරිතය එතරම් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් නොවුවත් බොක්ස් ඔෆිස් හි සාර්ථක චිත්‍රපටයක් ලෙස වාර්තා වී තිබුණා.

‘SAW 3D’ චිත්‍රපටයේ රඟන චෙස්ටර් (1.bp.blogspot.com)

යුගයක නිමාව

2017 ජූලි මස 20 වනදා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි තම නිවස තුළ 41 හැවිරිදි මෙම සුපිරි තරුව ගෙල වැලළාගෙන මිය ගොස් තිබෙනවා. දැන් ඔහුව ඝාතනය කළාද කියාත් පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඔහු තම හොඳම මිතුරෙකු වූ ක්‍රිස් කොනල් පසුගිය මැයි මස සියදිවි හානි කර ගැනීම ගැන දැඩි කනස්සලකින් පසු වී ඇති අතර චෙස්ටර් මියයන්නේ ඔහුගේ 53 වන උපන් දිනයේ වීමත් විශේෂයත්වයක්.

චෙස්ටර්ගේ සිරුර ඔහුගේ නිවසේ තිබී ශරීරය එදින උදෑසන 9ට පමණ සොයා ගෙන තිබෙනවා. මොහුගේ මරණයට විෂාදයද හේතුවක් විය හැකි බව අදහස් පළ වෙනවා. නමුත් මේ පිළිබඳව තවමත් සනාථ කර නොමැති අතර චෙස්ටර් ඔහුගේ අවසාන සම්මුඛ සාකාච්ඡාවේදී පවසා ඇත්තේ තමන් ජිවිතයේ අඳුරුම කාලයක් ගෙවමින් සිටින බවත්, තමාට ඇත්තේ මරණය හෝ තමාට අවශ්‍ය දේ යන දෙකෙන් එකක් තෝරා ගැනීම වෙනුවෙන් සටන් කිරීම පමණක් බවත්ය.

චෙස්ටර් වෙනුවෙන් ඔහුගේ රසිකයන් ශෝකය ප්‍රකාශය කරන අයුරු (www.ecns.cn)

ලොවක සිත් වසඟයට පත්කළ මෙවැනි කලාකරුවන් පවා මෙලෙස තම ජීවිතය අතහැර මරණය සොයා යාම විවිධ පුද්ගලයන් විවිධාකාරයෙන් අර්ථකථනය කරනවා. කොහොම නමුත් ජීවිතයේ එන ප්‍රශ්නවලට පිළිතුර එම ප්‍රශ්නවලින් පැනයාම බව නම් අප විශ්වාස කරන්නේ නෑ. ජීවිතය යනු කුමක් දැයි එකිනෙකාට අනුව වෙනස් වන බව නම් අප මතක තබා ගත යුතුම කරුණක්.

කවරයේ රූපය: www.hotflick.net

Related Articles