නිමේෂ, අසිත හා ලක්ෂාන් දස්කම් අතරට

815

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරගය කිහිපයක්ම අද (23) ආරම්භ විය. අද දිනය තුල අසිත ප්‍රනාන්දු හා ලක්ෂාන් ජයසිංහ කඩුලු 6 බැගින් දවාගත් අතර, නිමේෂ ගුණසිංහ සිය ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

වර්ෂාව නිසා තරගය ජය පරාජයෙන් තොරයි

නැගෙනහිර පළාත හා ඌව පළාත අතර මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේ දී ඊයේ (20) ආරම්භ වූ ක්‍රිකට් තරගය අද (21) ජය පරාජයෙන් තොරව අවසන් විය.

මධ්‍යම පළාත හා උතුරු මැද පළාත

A කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ උතුරු මැද පළාත් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. පළමු දිනය සඳහා තරගය අවසන් වන විට උතුරු මැද පළාත් කණ්ඩායම මධ්‍යම පළාත් පළමු ඉනිමට වඩා ලකුණු 174ක් පසුපසින් පසුවෙයි.

පළමුව ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ මධ්‍යම පළාත් කණ්ඩායම වෙනුවෙන් නිමේෂ ගුණසිංහ ලකුණු 113ක් වාර්තා කළේය. ඊට අමතරව වනිඳු හසරංග හා ඩිලාන් ජයලත් අර්ධ ශතක ලබා ගනිමින් තම කණ්ඩායමට ලකුණු 332ක් දක්වා යාමට සවිය ලබා දෙන ලදි. පන්දු යැවීමේ දී සදීප සෙව්මින්ද හා ශාලුක සිල්වා කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටි උතුරු මැද පළාත පළමු දිනය සඳහා තරගය අවසන් කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස්කරගෙන සිටියේය. එහි දී දිනෙත් තිමෝද්‍ය ලකුණු 56යි. තරගය කොළඹ බී. ආර්. සී පිටියේ දී පැවැත්වේ.

මධ්‍යම පළාත පළමු ඉනිම – 332/7 dec (59): නිමේෂ ගුණසිංහ 113, වනිඳු හසරංග 54, ඩිලාන් ජයලත් 52, තානුක දාබරේ 38, සංදීප සෙව්මින්ද 2/52, ශාලුක සිල්වා 2/77

උතුරු මැද පළාත් පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 158/6 (40): දිනෙත් තිමෝද්‍ය 56


ඌව පළාත හා බස්නාහිර පළාත් දකුණ

කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඌව පළාත් කණ්ඩායම පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබාගත් අතර, තරගය B කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවැත්විය.

ඌව පළාත් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 94ක් වැනි අවම ලකුණකි. දක්ෂ ලෙස පන්දු යැවූ සඳකැන් පතිරණ ලකුණු 29ක් තුල කඩුලු 4ක් දවා ගන්නා ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 273ක් රැස්කරගෙන සිටියි. නොදැවී ක්‍රීඩා කරන ප්‍රමෝද් මදුවන්ත ලකුණු 48*ක් ලබාගෙන සිටින අතර, මලිඳු මදුරංග අර්ධ ශතකයක් වාර්තා කළේය. දිනය අවසන් වන විට බස්නාහිර පළාත් කණ්ඩායම ඌව පළාත් පළමු ඉනිමට වඩා ලකුණු 179ක් පෙරමුණේ පසුවෙයි.

ඌව පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී 94 (44.4): නවිඳු නිර්මාල් 20, හශාන් විමර්ශන 20*, සඳකැන් පතිරණ 4/29, පසන් හෙට්ටිආරච්චි 2/13, මිශේන් සිල්වා 2/17.

බස්නාහිර පළාත් දකුණ පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 273/8 (53): මලිඳු මදුරංග 50, ප්‍රමොද් මදුවන්ත 48*, මොහොමඩ් ජලීල් 46, මිශේන් සිල්වා 42, අකිල ලක්ෂාන් 27, මංජුල ප්‍රසන්ජිත් 3/29, ඉවංක සංජුල 2/97.


දකුණු පළාත හා බස්නාහිර පළාත් උතුර

බස්නාහිර පළාත් කණ්ඩායම මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පිතිකරණය සඳහා ප්‍රතිවාදී දකුණු පළාත් කණ්ඩායමට ඇරයුම් කරන ලදි. මෙම තරගය B කාණ්ඩයේ තරගයකි.

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දකුණු පළාත් කණ්ඩායම බස්නාහිර පළාත් දකුණ පන්දු යවන්නන් හමුවේ සිය පළමු ඉනිමට රැස්කර ගත්තේ ලකුණු 169ක් පමණි. එහි දී මලිත් මහේල හා රමේෂ් මෙන්ඩිස් පිළිවෙළින් ලකුණු 46ක් හා ලකුණු 41ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී නිශාන් පීරිස් ලකුණු 38ක් තුල කඩුලු 4ක් දවා ගන්නා ලදි.

ලක්ෂින රොද්‍රිගෝගේ නොදැවුනු පිතිකරණයත් සමඟින් බලගැන්වුනු බස්නාහිර පළාත් දකුණ පළමු ඉනිම තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 105ක් ලෙස සටහන් වූයේ, දකුණු පළාත් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 64ක් පසුපසින් සිටිමිනි.

දකුණු පළාත පළමු ඉනිම – සියල්ලන්ම දැවී 169 (59): මලිත් මහේල 46, රමේෂ් මෙන්ඩිස් 41, නිශාන් පීරිස් 4/38.

බස්නාහිර පළාත් දකුණු පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 105/7 (36): ලක්ෂින රොද්‍රිගෝ 26*.


වයඹ පළාත හා උතුරු පළාත

වයඹ පළාත් කණ්ඩායම පළමු දිනය අවසන් වන විට උතුරු පළාත් පළමු ඉනිමට වඩා ලකුණු 57ක් ඉදිරියෙන් පසුවේ.

බ්ලුම්ෆීල්ඩ් පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ උතුරු පළාත් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ලියෝ ෆැන්සිස්කෝ වයඹ පළාත් පළමු ඉනිමට ලකුණු 42ක් එක් කරන ලදි. සචින් ජයවර්ධන ලකුණු 38යි. පන්දු යැවීමේ දී ලක්ෂාන් ජයසිංහ ලකුණු 38ක් තුල කඩුලු 6යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ උතුරු පළාත් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කර ගත්තේ ලකුණු 146ක් පමණි. එහි දී පරාක්‍රම තෙන්නකෝන් ලකුණු 39යි. වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කඩුලු 6යි.

දිනය අවසානයේ වයඹ පළාත් කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 13ක් ලබාගෙන සිටියි. මෙය ද B කාණ්ඩයේ තරගයකි.

වයඹ පළාත පළමු ඉනිම – සියල්ලන්ම දැවී 190 (60): ලියෝ ෆැන්සිස්කෝ 42, සචින් ජයවර්ධන 38, ලක්ෂාන් ජයසිංහ 6/38.

උතුරු පළාත පළමු ඉනිම – 146/10 (31.3): පරාක්‍රම තෙන්නකෝන් 39, අසිත ප්‍රනාන්දු 6/42.

වයඹ පළාත් දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – කිසිවකු නොදැවී 13 (4):

මෙම තරග සියල්ලකම දෙවන දිනය  හෙට (24) එ් ඒ ක්‍රීඩාංගණවල දී ම පැවැත්වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට