ජූලි 23 : බිඳුණු වළලුකර සමගින් කෙරී ස්ට්‍රග් ඇමරිකාවට ඔලිම්පික් කණ්ඩායම් ජිම්නාස්ටික් රන් පදක්කම දිනා දේ


1996 වසරේ අද වැනි දවසක ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා කෙරී ස්ට්‍රග් කැඩුණු වළලුකර සමග අවසාන පිම්ම පැන තම රටට ඔලිම්පික් කණ්ඩායම් රන් පදක්කම දිනා දුන්නාය.
1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙල වන තෙක්ම ඇමරිකාව කිසිදු අවස්ථාවක කාන්තා කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනාගෙන නොතිබිණ. 1952 හෙල්සින්කි උළෙලේ සිට පැවති ඔලිම්පික් උළෙල 11 ක් අතරින් උළෙල 9 කම රන් පදක්කම දිනා ගන්නේ සෝවියට් රුසියානු ( USSR ) කණ්ඩායම ය. ඒ හැරෙන්නට 1992 බාසිලෝනා උළෙලේ රන් පදක්කමද සෝවියට් රුසියානු ක්‍රීඩිකාවන් දිනාගත්ත ද ඒ වන විට සෝවියට් ජනරජය බිඳ වැටෙමින් තිබූ නිසා ඔවුන් තරග කළේ එක්සත් කණ්ඩායම හෙවත් Unified Team යන ධජය යටතේය. 1984 ලොස් ඇන්ජලීස් උළෙල සෝවියට් දේශය විසින් වර්ජනය කළ නිසා ඔවුන්ට එහි ද රන් පදක්කම අහිමි විය.
ඇට්ලන්ටා උළෙලට පිඹුරුපත් සකසන ඇමරිකානු කණ්ඩායම ජිම්නාස්ටික් කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම අරමුණු කරගෙන Magnificent Seven හෙවත් විශිෂ්ටයින් හත් දෙනා යන සිහින කණ්ඩායම මෙහෙයවනු ලැබීය. ඔවුන්ට රට තුළ මනා පූර්ව ප්‍රචාරයක් ලැබිණ. අවසානයේ අනුමාන කළ ලෙසම කණ්ඩායම් තරගයේ අවසන් පදක්කම් සටනට ඇමරිකාව , රුසියාව සහ රුමේනියාව තරග වැදෙමින් තිබිණ. එයිනුදු රුමේනියාව මදක් පසු බෑ හෙයින් ඔවුනට ලෝකඩ පදක්කම තහවුරු වූ අතර රන් පදක්කම උදෙසා සටන ඇමරිකාව සහ රුසියාව අතරය.
රුසියානු පිලේ අවසාන ක්‍රීඩිකාව ලෙස රොසාලියා ගැලියෙවා (Rozalia Galiyeva) භූමි ව්‍යායාම ( Floor Exercises) වල යෙදෙන විට ඇමරිකානු පිලේ කෙරී ස්ට්‍රග් (Kerri Strug) තම කණ්ඩායමේ අවසන් ක්‍රීඩිකාව ලෙස පිණුම් අශ්වයා ඉසව්ව ට සහභාගි විය. ඇමරිකානු ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් පිණුම් අශ්වයා (Vault) ඉසව්ව සාර්ථක ලෙස නිම කළ අතර කෙරී ස්ට්‍රග් ට පෙර තරග වැදුණු ඩොමිනික් මොචිආනු (Dominique Moceanu) පමණක් අසාර්ථක වී අඩු ලකුණු ප්‍රමාණයක් දිනා ගත්තාය. දැන් කෙරී ස්ට්‍රග් ගේ අවස්ථාවය . රන් පදක්කම දෙරට අතර දෝලනය වන්නේ කෙරී සහ රොසාලියා ගේ දස්කම් අනුවය.
කෙරී ස්ට්‍රග් තම උත්සාහයන් දෙකෙන් පළමු උත්සාහයේදී ම පොළොවට පතිත වන්නේ ලිස්සා බිම වැටෙමිනි. සැණෙකින් නැගී සිට සමබරතාව රඳවා ගන්නා නුමුදු ඇයගේ වළලුකර ආබාධයට ලක් වේ. ඇයට හිමිවන්නේ අඩු ලකුණු සංඛ්‍යාවකි. නමුත් අනෙක් පසින් තරග වදින රුසියානු ක්‍රීඩිකාව රොසාලියා ගැලියෙවා තම භූමි ව්‍යායාම ඉසව්වේ මුල් අවස්ථාව අසාර්ථක වූ අතර එමගින් පරතරය වැඩි වී ඇමරිකානු කණ්ඩායමේ රන් පදක්කම තහවුරු විය. කණ්ඩායම් තරගයේදී එක් ඉසව්වක් වෙනුවෙන් එක් රටක ක්‍රීඩිකාවන් හත් දෙනාම ඉදිරිපත් වන අතර අඩුම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව අත් හැර අනෙක් හය දෙනාගේ ලකුණු අවසාන ලකුණු සඳහා සලකා බැලේ. මේ අනුව කෙරී ස්ට්‍රග් ඊ ළඟ අවස්ථාවට තරග නොවැදුණ ද කෙරීට පෙර තරග වැදුණු ඩොමිනික් මොචිආනු ගේ ලකුණු වලින්ම පමණක් ඇමරිකාවට රන් පදක්කම තහවුරු ය. නමුත් රුසියානු ක්‍රීඩිකාව රොසාලියා ගැලියෙවා ගේ අවසාන උත්සාහය ට පෙර කෙරී ස්ට්‍රග් තම අවසාන උත්සාහය සම්පූර්ණ කළ යුතු බැවින් ඇමරිකාව පදක්කම දිනීම සඳහා කෙරී එම උත්සාහය සම්පූර්ණ කිරීමේ තාක්ෂණික අවශ්‍යතාවක් පැවතිණ. ඇය ලබා ගන්නා ලකුණු වැදගත් නැත. කෙරී තරගය සම්පූර්ණ කිරීම හරහා ඇමරිකාවට රන් පදක්කම හිමි වේ.
" අපි මේක කරන්නම ඕනේද ? " දෙවන උත්සාහයට පෙර විරාමයේ දී බිඳුණු වළලුකර වේදනාවෙන් යුතු 19 හැවිරිදි ඇමරිකානු ක්‍රීඩිකාව සිය පුහුණුකරුගෙන් විමසා සිටියාය. " කෙරී ඔබ තව එක වතාවක් තරග කළ යුතුයි. රන් පදක්කම ලබා ගන්නට නම් ඔබ තවත් එක වතාවක් තරග කළ යුතුමයි" කෙරී ගේ පුහුණුකරු අවධාරණය කළේය. ආබාධයක් පෙන්නුම් කළහොත් ගැටළුවක් විය හැකි නිසා කෙරී වෙනසක් නොපෙන්වා තරග බිමට පැමිණ ශරීර උණුසුම් ව්‍යායාම් වල යෙදී තම අවසාන , විජයග්‍රාහී පිම්ම සඳහා සූදානම් වූවාය. දිව විත් පුවරුව මත අත් තබා කරණම් ගසන ඇය දෙපා පොළොවට පතිත වන සැණින් වම් කකුල නවා ගන්නේ වළලුකර බිඳී යන නිසාය. තනි කකුලෙන් සිරුර සමබර කරන ඇය එසැණින් බිම වැටේ. තමාට ඇවිදින්නට නොහැකි බවට ආධාර ඉල්ලා සිටී. "කෙරී ස්ට්‍රග් ආබාධයට ලක් වුණා. ඇය දරුණු ලෙස ආබාධයට ලක් වුණා " නිවේදකයා විමතියෙන් කෑ ගසන හඬ ය. වහා දිව එන පුහුණුකරු සහ පුහුණුකාරිනිය ද ක්‍රීඩා බලධාරීන් ය. සැණින් රෝහල්ගත කරන කෙරී ගේ බිඳුණු පාදයට ප්ලාස්ටර් යොදා නැවතත් රෝද පුටුවකින් ජිම්නාස්ටික් පිටියට එවන්නේ ඇමරිකාවේ සැබෑ වූ සිහින පදක්කම කර ලන්නට අවස්ථාව දීමට ය.
රෝද පුටුවෙන් පිටියට පැමිණෙන කෙරී ස්ට්‍රග් වඩා ඔසවාගෙන පදක්කම් වේදිකාව මත තබන දැවැන්ත මිනිසෙකි. ඔහු අන් ක්වරෙක් හෝ නොව ඒ වන විට ඇමරිකානු පුහුණුකරු වූ බේලා කාරොල්යි (Béla Károlyi ) ය. හරියටම වසර 20 යි දවස් 5 ට පෙර 1976 මොන්ට්‍රියල් උළෙලේ දී ලකුණු පුවරුව පරදා ලෝක ක්‍රීඩා ඉතිහාසය වෙනස් කළ රුමෙනියානු ක්‍රීඩිකාව නඩියා කොමනේච් (Nadia Comaneci) ගේ පුහුණුකරු ඔහුය. උපන්බිමේ නොපනත්කම් මැද ඇමරිකාවට පලා ආ ඔහු නඩියාගේ වික්‍රමයෙන් වසර 20 ක් ගත වන තැන ඇමරිකානු පුහුණුකරු ලෙස කෙරී ස්ට්‍රග් විජයග්‍රහණය කරා මෙහෙයවන්නේ විස්මිත අන්දමිනි. ඔහු ඇමරිකාවේ සිහිනය සැබෑ කළ ඉන්ද්‍රජාලික රුමේනියානුවා ය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. ආරම්භය කියවගෙන යන විටම සිහිපත් වුණා ඔබේ පෙර ලිපියේ නඩියාගේ පුහුණුකරුවන් යුවල රුමේනියාවෙන් ඇමරිකාවට ගිය පසු ඇමරිකාව ලැබූ ජයග්‍රහණ පිළිබඳව ඔබ පවසා තිබූ බව. එසේම අවසානයේ ඡායාරූපත්, ඉන් අනතුරුව ඇති සටහනත් දුටු විට එම අනුමානය තහවුරු වුණා. ඔබට බොහොමත්ම ස්තූතියි මෙවැනි වටිනා, අපූර්ව තොරතුරුවලින් අපව පොහොසත් කරනවාට.

    ReplyDelete