Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පිරිමි ඔබ ඔබේ තාත්තාට ආදරෙයි කියා අන්තිමට කීවේ කවදාද?

ජූනි 18 වැනිදාට යෙදිලා තිබුණු ලෝක පියවරුන්ගේ දිනය ගොඩක් රටවල මහා ඉහළින් සැමරුවා. අපේ රටේ සංස්කෘතියත් එක්ක ඒ වගේ දේවල් ගැන ලොකු උනන්දුවක් නැති වුණත් මේ ගැන සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ ආයතනය පළ කරපු වීඩියෝවකට ලැබී තිබුණු ප්‍රතිචාර දැක්කාම අපිටත් ඒ ගැන ටිකක් කතා කරන්න හිතුණා.

පියවරුන්ගේ දවස කියලා අමුතුවෙන් දවසක් ඕන නැහැ, අපි හැමදාම තාත්තට ආදරෙයි කියලා කියන අය අපේ රටේ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒත් මේ වීඩියෝවේ තියෙන එක කාරණාවක් අපේ අයට හොඳට හිතට වැදිලා. පිරිමි කෙනෙක් විදිහට ඔබ ඔබේ තාත්තාට ආදරෙයි කියලා අන්තිමට කිව්වේ කවදද? එක පාරට මතකයට එන්නේ නැත්නම් ලැජ්ජා වෙන්න එපා, ලංකාවේ ගොඩ දෙනෙක් එහෙමයි.

ගැහැණු ළමයි නම් නිතරම තාත්තාට ආදරෙයි කියනවා

(mormon.com)

“මම මගේ අම්මාට/තාත්තාට ආදරෙයි” කියන වචන ටික සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කියන එක අපිට වඩා ලේසියෙන් ගැහැණු ළමයින්ට කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පිරිමි අපිට ඒ වගේ දෙයක් කියන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි. පිරිමි අපි බොහෝ දෙනෙක්ට අපේ තාත්තලා ගැන තියෙන්නේ ගෞරවය මිශ්‍ර වුණු ආදරයක්, ඒක වචනයෙන් කියන්න අපි ටිකක් මැලි වෙන්නෙත් ඒ නිසා වෙන්න පුළුවන්.

අපි අනිත් අයත් එක්ක අපේ තාත්තාට ආදරෙයි කියලා ලේසියෙන්ම කියන්න පුළුවන් වුණත් තාත්තාටම ඒ දේ කියන්න බොහෝ දෙනා අදිමදි කරනවා. මේ ඒක වෙනස් කර ගන්න කාලයයි.

දවසක් දාගෙන සමරනවාට බනින අපේ අය

මව්පියන් මහළු නිවාසවලට දාලා, අවුරුද්දකට සැරයක් බලන්න යන්න ඕනකමට දිනයක් දාගෙන සමරනවා කියලා අපේ රටේ අය බටහිර ජාතීන්ට චෝදනා කරනවා. නමුත් “I Love You” කියන වචන ටික කිසිම අමාරුවක් නැතිව තමන්ගේ තාත්තට කියන්න ඒ රටවල අයට පුළුවන්. දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් වචනයට වඩා ක්‍රියාව වැදගත් කියන කතාව. අපේ රටේ අය වචනයෙන් නොකිව්වාට බටහිර අයට වඩා තාත්තාට ආදරෙයි තමයි, ඒක ගැන සැකයක් නැහැ. ඒත් බටහිර අය නම් ඒක නිතරම තමන්ගේ මව්පියන්ට කියනවා.

(alopecie.org)

ඒ වචන ටික අහන්න ලැබෙන එක අපි හිතනවාට වඩා තාත්තලාට ගොඩක් වටිනවා. මේ කියන දේ ඇත්ත ඒ වීඩියෝ එක බැලුවොත් ඔබටම වැටහේවි. පිරිමි අපි බොහෝ දෙනා කවදා හෝ තාත්තා කෙනෙක් වෙන අය. තමන්ගේ බබා පුංචි කාලෙදී වචන ගළපලා තමන්ට ආදරෙයි කියන හැටි නිකමට හිතින් මවා ගන්න. ඒ දේ ඔබේ කටින් අහගන්න එක ඔබේ තාත්තාත් ගොඩක් ආසයි, එහෙම නෑ කියලා හිතෙනවා නම් මේ වීඩියෝව අවසාන වෙන තුරු බලලා තීරණය කරන්න.

මේ වීඩියෝ එක මේ තරම් ජනප්‍රිය වුණේ ඒ පරම සත්‍ය නිසාමයි

සමහර ගායකයෝ තමන්ගේ මියුසික් වීඩියෝව ලක්ෂ ගාණක් බැලුවාම පාටි දාන්න පවා පෙළඹෙනවා. ඒත් මේ පුංචි වීඩියෝව පැය 26ක් තුළ මිලියනයකටත් වඩා පිරිසක් නරඹලා තියෙනවා. මීට කලින් ශ්‍රී ලංකාවේ වීඩියෝවක් මිලියනයක් නරඹන්න ගත කළ අඩුම කාලය දවස් 4ක්. දවසකට ටිකක් වැඩි කාලයකදී ඒ ප්‍රමාණය ඉක්මවා යාම ලංකාවේ අලුත් ඩිජිටල් වාර්තාවක්.

ශ්‍රී ලංකාවේ දැන් පවතින තත්වය අනුව උසස් අධ්‍යාපනය ලබන, රැකියාවක් කරන අයගෙන් 90%ටත් වඩා ඉන්නේ ගෙදරින් පිටත. කාර්යබහුලත්වය නිසා වැඩි දෙනෙක්ට තමන්ගේ තාත්තාව දකින්න ලැබෙන්නේ මාසයකට සැරයක් හරි, ඊටත් අඩු වාර ගණනක් හරි වෙන්න පුළුවන්. ඒත් නිතරම කෝල් කරනවානේ. ඉතින් මේ වීඩියෝව බලලා මිලියනකටත් වඩා ශ්‍රී ලාංකිකයන්ගේ හදවතට දැනුණු දේ ඔබත් දුරකථනය හරහා හරි කරන්න. තමන්ගේ තාත්තට “මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි” කියලා කට ඇරලා කියන්න.

(amazonaws.com)

ඔබ හිතනවාට වඩා ඒ වචන කිහිපය ඔබේ තාත්තාගේ හිත පතුලටම දැනේවි.

ආදරේ ක්‍රියාවෙන් විතරක් පෙන්නුවාට හරි යන්නේ නැහැ. ඉතින් ඔබේ හිතේ ඔබේ තාත්තා ගැන තිබෙන ආදරේ වචනයෙනුත් පෙන්වන්න. අමාරුවෙන් හරි ඒක කළොත් ඔබ හිතනවාට වඩා සතුටක් තාත්තාට වගේම ඔබටත් දැනෙනවා නිසැකයි.

Related Articles