2008 වසරේ දී ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කර අවසන්ය. පළමු තරගාවලියෙන්ම අතිශය සාර්ථකත්වයට පත් මෙම තරගාවලිය නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන අනිකුත් රටවල් බොහොමයක්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ගුරු කොට ගනිමින් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි තමාගේ රටවල් තුල ද පවත්වන ලදි. එනමුත් අද දක්වාම එම එකදු තරගවලියක්වත් IPL තරම් සාර්ථක වී නැත. ශ්‍රී ලංකාවේ ද ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් SLPL තරගාවලිය පැවැත්වුණේ මෙහි ආභාෂය අනුවයි.

කටින් ගහන ක්‍රිකට්

වදනින් කරන සටන්, එසේත් නැතිනම් වාග් සටන් (Sledging), ක්‍රීඩාවට කෙතරම් අවශ්‍ය ද යන්න පිළිබඳ නොයෙක් මත පවතියි.

වසර 10 ක ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසය තුල බිහි වූ හොඳම ක්‍රිකට් කණ්ඩායම පසුගිය දා ලොව ජනප්‍රියම ක්‍රීඩා වෙබ් අඩවියක් වන ESPNcricinfo වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත්කරන ලදි. මෙම කණ්ඩායමේ නායකයා සහ කඩුලු රකින්නා වශයෙන් නම් කර ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිය. මෙම ක්‍රීඩකයින් 11 දෙනාට විදෙස් ක්‍රීඩකයින් සිව්දෙනෙකු පමණක් ඇතුලත් වේ. ඉන් තිදෙනෙකුම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් වීම ද විශේෂත්වයකි. අනිත් එකම විදෙස් ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග ය.

ආරම්භක පිතිකරු යුගලය ලෙස නම් කර ඇත්තේ බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් සමඟින් හිටපු ඉන්දීය ක්‍රීඩක විරේන්ද්‍ර ශෙවාග්ය. සුපිරි පිතිකරුවන් හය දෙනෙකුගෙන් සහ ප්‍රබල පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස නම් කර තිබුණේ ඩේවියන් බ්‍රාවෝ පමණි.

ESPNcricinfo වෙබ් අඩවිය සති 6 කට පෙර සිට සිය පාඨකයන්ට හොඳම IPL කණ්ඩායම තේරීම සඳහා ක්‍රීඩකයන් 31ක් දෙනෙකුගේ නම් ඉදිරිපත් කර තිබුණි. එහි දී ඔවුන්ගේ මනාපය පරිදි තෝරා පත්කර තිබූ ක්‍රීඩකයින්, සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුතු කමිටුවක් මගින් නම්කර ඇත. මෙම කමිටුවට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙක් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය අයත් විය. ඔවුහු IPL කණ්ඩායම් හිමිකරුවන් සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව වඩාත් සමබර කණ්ඩායම ලෙසින් මෙම කණ්ඩායම ඉදිරිපත් කර ඇත. මෙය ඉතා අපහසු කාර්යයක් වූ බවත්, ඒ.බී. විලියස්ව මෙම කණ්ඩායමට එකතු කිරීමට ඔවුන්ට දැඩි උවමනාවක් තිබූ බවත්, එනමුත් කණ්ඩායම සමබර කර ගැනීමේ දී ගැටලු ඇතිවිය හැකි බැවින් ඔහුව 12 වන ක්‍රීඩකයා ලෙස නම් කරන්නට සිදු වූ බවත් එම වෙබ් අඩවිය ඉතා කනගාටුවෙන් වුව ද සඳහන් කරයි.

කණ්ඩායම නම් කිරීමේ අවසන් අදියරේ දී ක්‍රීඩකයින් 14 දෙනෙකු නම් කර ඇති අතර, ඉන් අවසන් 11 දෙනා නම් කිරීම ඉතා අපහසු වූ බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි. විශේෂයෙන්ම ආරම්භක පිතිකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් සහ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් අතර දැඩි තරගයක් තිබී ඇත. අවසානයේ දී ක්‍රිස් ගේල්ට  ජය අත්විය. එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයා වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඩේවියන් බ්‍රාවෝ සහ ඕස්ට්‍රේලියාවේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා වන ෂේන් වොට්සන් අතරින් කවරෙකු තෝරා ගත යුතු දැයි ඔවුන්ට සිතා ගැනීමට අපහසු වී ඇත. අපහසුවෙන් වුවද ඩේවියන් බ්‍රාවෝට එම ස්ථානය වෙන් කර දීමට ඔවුන්ට සිදු වී ඇත.

පන්දු යවන්නන් තේරීමේ දී විස්සයි විස්ස ආකෘතියේ ලොව සාර්ථකම වේගපන්දු යවන්නා වන, “යෝකර් රජු” ලෙසින් ක්‍රීඩා විචාරකයන්ගේ නොමද පැසසුමට ලක්වන ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග මේ සඳහා නම් කිරීමේ දී කිසිදු ගැටලුවක් ඇති වී නැත. ඒ IPL තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ද ඔහු වන බැවිනි. එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නා වන සුනිල් නරෙයින්ට ද මෙම 11 දෙන අතරට පහසුවෙන්ම එකතු වීමට අවකාශ ලැබී තිබුණේ ඔහුගේ විස්සයි විස්ස දක්ෂතාවලට අභියෝග කිරීමට සමත් කිසිදු දඟ පන්දු යවන්නෙකු නොසිටි නිසාවෙනි. තවද මෙම සුපිරි කණ්ඩායමේ නායකයා වශයෙන් IPL ඉතිහාසයේ සාර්ථකම නායකයා වන එම්. එස්. දෝනිව තෝරා ගෙන ඇත්තේ කිසිදු තරගයකින් තොරවයි.

ක්‍රිස් ගෙල්

Chris Gayle

බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරීම පිතිකරුවා මොහුයි. කිසිදු පන්දු යවන්නෙකු තුට්ටුවකට මායිම් නොකරන මෙම දැවැන්තයා කිසිදු වෙහෙසකින් තොරව පන්දුව සීමා ඉරෙන් එපිටට යවන්නේ සිනහ මුසු මුහුණෙනි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තරග නැරඹීමට ප්‍රේක්ෂකයන් වැඩි ප්‍රමාණයක් එන්නේ මෙම දැවැන්තයාගේ ගිනිකෙළි සංදර්ශනය නැරඹීමටයි. ක්‍රිස් ගෙල්ගේ IPL දක්ෂතා මෙසේය.

කණ්ඩායම් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
තරග 101
ලකුණු 3626
වැඩිම ලකුණු 175*
ශතක/ අර්ධ ශතක 5/ 21
උඩපන්දු 23

විරේන්ද්‍ර ශෙවාග්

Virender Sehwag

පසුගිය සමයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවේගකාරීම ආරම්භක පිතිකරුවෙකි. කලක් සචින් තෙන්ඩුල්කාර් සමඟින් ඉනිම ආරම්භ කළ මොහු වැරෙන් පන්දුවට පහර දීමට හැකි පිතිකරුවෙකි. එක්දින තරගවල දී ලකුණු 200ක් ලබා ගත් කසකරුවෙකි. ආරම්භයේ සිට 2015 වසර දක්වා IPL තරග වෙනුවෙන් සිය දායකත්වය ලබා දී ඇත. විරේන්ද්‍ර ශෙවාග්ගේ IPL දක්ෂතා මෙලෙස කැටිකොට දැක්විය හැක.

කණ්ඩායම් දිල්ලි ඩෙයාඩෙවිල්ස්, කිංග්ස් 11 පන්ජාබ්
තරග 104
ලකුණු 2728
වැඩිම ලකුණු 122
ශතක/ අර්ධ ශතක 2/ 16
උඩපන්දු 34

වීරාත් කෝලි

Virat Kohliඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක වීරාත් කෝලි ගැන නම් ඔබට අමුතුවෙන් කිව යුතු නැත. වත්මන් ක්‍රිකට් පිටියේ සිටින අති දක්ෂ ක්‍රීඩකයෙකි. දිනෙන් දින තම දක්ෂතා ඔප මට්ටම් කර ගන්නd කෝලිට අභියෝග කිරීමට සමත් පන්දු යවන්නෙකු තවම නම් හමු වී නොමැත. ඕනෑම කණ්ඩායමක ඕනෑම වර්ගයේ පන්දු යවන්නෙකුට අනුකම්පා විරහිතව පහර දෙන්නට මොහු රුසියෙකි. කුමන ආකෘතියේ තරගයක වුවද තීරණය කණපිට හැරවිය හැකි විශිෂ්ටයෙකි. IPL බිමේ පෙරළි කාරයෙකි.

කණ්ඩායම් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
තරග 149
ලකුණු 4418
වැඩිම ලකුණු 113
ශතක/ අර්ධ ශතක 4/ 30
උඩපන්දු 61

සුරේෂ් රයිනා

Suresh Rainaඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තවත් දක්ෂ පිතිකරුවෙක් වන සුරේෂ් රයිනා මැදපෙළ ඉතා සාර්ථකව ක්‍රීඩා කරන්නෙකි. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට දෙවරක්ම IPL ශූරතාවය දිනා ගැනීමට තම උපරිමය කණ්ඩායමට ලබා දුන් තවත් එක පිතිකරුවෙකි. ඕනෑම අවස්ථාවක ලකුණු වේගය වැඩි කිරීමට උපන් හපන්කම් ඇති ලකුණු මැෂිමක් ලෙස හැඳින්වුව ද වරදක් නොමැත.

කණ්ඩායම් චෙන්නායි සුපර් කිංග්ස්, ගුජරාට් ලයන්ස්
තරග 161
ලකුණු 4540
වැඩිම ලකුණු 100*
ශතක/ අර්ධ ශතක 1/ 31
උඩපන්දු 85

රෝහිත් ශර්මා

Rohit Sharmaඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඕනෑම ස්ථානයක දක්ෂ ලෙස ක්‍රීඩා කරන ආරම්භක පිතිකරුවෙකි. එක්දින ඉතිහාසයේ ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු ගණන වූ 234* හිමිකරුවායි. රෝහිතගේ පන්දුවට පහර දීමේ දක්ෂතාවය ගැන කියන්නට වෙන අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත. ආරම්භයේ සිටම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ඉතා හොඳින් තමාගේ දායකත්වය ලබා දුන් රෝහිත් අද එහි කණ්ඩායම් නායකයායි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තෙවරක්ම IPL ශූරයන් බවට පත්වූ අතර ඒ සෑම අවස්ථාවක දී ම රෝහිත් තමාගේ යුතුකම ඉතා හොඳින් ඉටු කළේය. රෝහිත් ශර්මාගේ IPL දක්ෂතා මෙසේය.

කණ්ඩායම් මුම්බායි ඉන්දියන්ස්
තරග 159
ලකුණු 4207
වැඩිම ලකුණු 109*
ශතක/ අර්ධ ශතක 1/ 32
උඩපන්දු 71

එම්. එස්. දෝනි

MS Dhoniඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ දක්ෂතම නායකයා එම්. එස්. දෝනි ය. එහි කිසිදු විවාදයක් නැත. ඉන්දියාවට ලෝක කුසලාන කිහිපයක් සහ ශූරයන්ගේ කුසලානයේ පහස විඳ ගැනීමට මග විවර කර දුන් නායකයා ඔහු ය. එපමණක් නොවේ IPL ශූරතාවය දෙවරක්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට දිනා ගැනීමට හැකි වූයේ ඔහුගේ පළපුරුදු නායකත්වය නිසාවෙනි. මිට අමතරව කඩුල්ල පිටුපස සිට ඔහු කරන රාජකාරිය ද සුළුපටු නොවේ.

කණ්ඩායම් චෙන්නායි සුපර් කිංග්ස්, රයිසිංග් පූනේ සුපර්ජයන්ට්
තරග 159
ලකුණු 3561
වැඩිම ලකුණු 70*
ශතක/ අර්ධ ශතක 0/ 17
උඩපන්දු 76

ඩේවියන් බ්‍රාවෝ

Dwayne Bravoබටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩේවියන් බ්‍රාවෝගේ දක්ෂතා නිසා කලක් ක්‍රිකට් පිටියේ පසුපසට වැටී සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යළි ස්ථාවර විය. ඉතා වරෙන් පන්දුවට පහර දීමට හැකි ක්‍රීඩකයෙකි. තවද පන්දුව අතට ගත්විට ප්‍රතිවාදී කඩුල්ලක් දඩයම් කිරීමට ඔහුට එතරම් වෙලාවක් ගත වන්නේ ද නැත. IPL තරගාවලිය තුල ද සිය කණ්ඩායමට තම උපරිමය ලබා දුන් ක්‍රීඩකයෙකි. මෙම ආකෘතියේ ඇති දක්ෂයෙකි.

කණ්ඩායම් ගුජරාට් ලයන්ස්
තරග 106
ලකුණු 1262
වැඩිම ලකුණු 70*
ශතක/ අර්ධ ශතක 0/ 4
උඩපන්දු 60
කඩුලු 122
හොඳම පන්දු යැවීම 4/22

සුනිල් නරෙයින්

Sunil Narineබටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නා වන සුනිල් නරෙයින් විස්සයි විස්ස ප්‍රවීණයෙකි. ඕනෑම කණ්ඩායමක් ඔහුව මිලට ගැනීමට දෙවරක් සිතන්නේ නැත. මෙවර IPL තරගාවලියේ දී ප්‍රේක්ෂකයින් පුදුම කරවමින් පිතිකරු භූමිකාව ඔහු ඉතා හොඳින් ප්‍රදර්ශනය කළේය. ඉතා වරෙන් පන්දුවට පහර දුන්නේ පළපුරුදු පිතිකරුවෙකු පරිද්දෙනි. මොහුගේ IPL තරගාවලියේ පන්දු යැවීමේ දක්ෂතාවයන් පිළිබඳ පහත සටහන කදිම නිදසුනකි.

කණ්ඩායම් කොල්කටා නයිට් රයිඩර්ස්
තරග 82
උඩපන්දු 16
කඩුලු 95
හොඳම පන්දු යැවීම 5/19

රවිචන්ද්‍රන් අශ්වින්

Ashwinඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම දඟ පන්දු යවන්නන්ගෙන් අයෙකි. ඉතා දිගු ඇඟිලි සහිත අශ්වින් ඉතා හොඳින් පන්දුව දඟ කවයි. පිතිකරුවෙකු දවාලීමට ඔහුට ගතවන්නේ ඇසිල්ලකි. එතරම් තියුණු ලෙස ඔහුගේ පන්දු දඟ කැවෙයි. මේ වන විට එක්දින පිටියේ සිට නොම්මර එකේ දඟ පන්දු යවන්නා ඔහු ය.

කණ්ඩායම් රයිසිංග් පූනේ සුපර්ජයන්ට්
තරග 111
උඩපන්දු 23
කඩුලු 100
හොඳම පන්දු යැවීම 4/34

ලසිත් මාලිංග

Lasith Malingaමොහුගේ පන්දුවකට හයේ පහරක් ගසන්නට පෙර වරක් දෙරක් නොව කිහිපවරක්ම ඕනෑම පිතිකරුවෙකු කල්පනා කර බලයි. මක්නිසාද යත් පන්දුව පිත්තේ නොගැටුනහොත් අනිවාර්යයෙන්ම කඩුල්ලේ ඉන්නක් දෙකක් ගැලවෙන බව ඔවුහු අත්දැකීමෙන්ම දන්නා නිසාවෙනි. ඒ වෙන කිසිවකු නොව ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින යෝකර් රජු ලෙසින් විරුදාවලි ලත් ලසිත් මාලිංග ය. මාලිංගගේ ඉලක්කය නොවරදින බව ඕනෑම පිතිකරුවෙක් දනී. වත්මන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිටින අත්දැකීම් බහුලම විස්සයි විස්ස වේග පන්දු යවන්නා ඔහුයි. තරගයක් කණපිට හරවන්නට ඔහුට ඇති හැකියාව පුදුම සහගතය. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ ද, IPL  හෝ වෙනත් තරගාවලියක කණ්ඩායමකට ක්‍රීඩා කළ ද තරගයේ අන්තිම පන්දු වාරය යැවීමට කණ්ඩායම් නායකයා පන්දුව මාලිංග අතට දෙන්නේ මහත් විශ්වාසයෙනි. IPL ඉතිහාසයේ වැඩිම කඩුලු මල්ල ඇත්තේ ද ඔහුටයි. එමෙන්ම IPL ඉතිහාසයේ වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුයි.

කණ්ඩායම් මුම්බායි ඉන්දියන්ස්
තරග 110
උඩපන්දු 20
කඩුලු 154
හොඳම පන්දු යැවීම 5/13

 

තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න