අනුරාධගේ ශතකය නිසා සාන්ත ජෝසප් විද්‍යාලයට සුපිරි ජයක්!

217
Singer Schools cricket U15 May 22nd roundup

සිංගර් කුසලාන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය අරඹමින් පළමු කාණ්ඩය යටතේ පැවති තරග 8ක් දිවයින පුරා පැවති ක්‍රීඩාංගණ කිහිපයක දී නිමාවට පත්විය. එහි දී පූර්ණ තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වූයේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට පමණි. ලුම්බිණි විද්‍යාලය, රාජකීය විද්‍යාලය සහ ජනාධිපති විද්‍යාලය ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ හිමි කර ගනිද්දී තවත් තරග කිහිපයක්ම ජය පරාජයෙන් තොරව නිමාවිය.

නිපුන්ගේ තුන් ඉරියව් දක්ෂතා ජෝසප් වාස් විදුහලට ජය ගෙනෙයි

ශ්‍රී ලාංකේය ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන යාමට අවශ්‍ය ක්‍රිකට් අංකුර සොයා දෙන සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට්…

ලුම්බිණි විද්‍යාලය සහ බැසිලිකා විද්‍යාලය අතර තරගය

කොළඹ ලුම්බිණි විද්‍යාලයට මෙම තරගයෙන් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් අත්විය. මුලින් පන්දුවට පහර දුන් බැසිලිකා විද්‍යාලය පන්දුවාර 48යි පන්දු 4ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 105කි. ඒ වෙනුවෙන් චානුක සිල්වා සහ ප්‍රසාද් චාරුන් පිළිවෙළින් ලකුණු 26 සහ 25 බැගින් රැස් කළහ. ඉසුක අමනෙත් කඩුලු 4ක් ද, උදාර සංකල්ප කඩුලු 3ක් ද බිඳ හෙලූහ.

දිනය නිමා වන විට ලුම්බිණි විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 108ක් ලබා සිටි නිසා ඔවුන්ට ලකුණු 3කින් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය හිමි විය. නෙතුපුන් රාජපක්ෂන් නොදැවී ලකුණු 32ක් රැස් කර ගත් අතර චානුක සිල්වා ලකුණු 30කට කඩුලු 4ක් බිඳ හෙලීය.

බැසිලිකා විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 105 (පන්දුවාර 48.4): චානුක සිල්වා 26, ප්‍රසාද් චාරුන් 25, ඉසුක අමනෙත් 4/24, උදාර සංකල්ප 3/44.

ලුම්බිණි විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 108 (පන්දුවාර 23.5): නෙතුපුන් රාජපක්ෂන් 32*, හිරු චේතන 27, චානුක සිල්වා 4/30, ඕෂධ සනෙත් 2/24.


රාජකීය විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය

කොටහේනේ දී පැවැත්වුණු මෙම තරගයෙන් රාජකීය විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් අත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජකීය විද්‍යාලය ලකුණු 239ක් රැස් කර ගත් අතර ඒ වෙනුවෙන් කවිඳු පතිරත්න සහ ඉසිවර දිසානායක අර්ධ ශතක වාර්තා කළහ. පන්දු යැවීමේ දී ඉන්දික වණසිංහ කඩුලු 3යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බෙනඩික්ට් පිතිකරුවන් ලකුණු 86කට සීමා විය.

ඒ අනුව දිනය නිමා වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි රාජකීය පිතිකරුවෝ එක් කඩුල්ලක් දැවී ලකුණු 109ක් ලබා සිටියහ. කවිඳු පතිරත්න නැවත වතාවක් අර්ධ ශතකයක් වාර්තා කර ගත් අතර ශෙහාන් හේරත් ලකුණු 35ක් රැස්කර ගත්තේය.

රාජකීය විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 239 (පන්දුවාර 45.2): කවිඳු පතිරත්න 65, ඉසිවර දිසානායක 52, දසිස් මංචනායක 23, සොනාල් අමරසේකර 36*, ඉන්දික වණසිංහ 3/40, තේනුක නන්දලාල් 2/26, හසිඳු කවිරත්න 2/59.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 86 (පන්දුවාර 31.3): යෝ සොයිසා 42, ගිශාන් බාලසූරිය 4/25, කානික දයාරත්න 3/22, කවිඳු පතිරත්න 2/13.

රාජකීය විද්‍යාලය (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 109 (පන්දුවාර 19): කවිඳු පතිරත්න 53*, ශෙහාන් හේරත් 35.


සාන්ත තෝමස් විද්‍යාලය සහ කිංස්වුඩ් විද්‍යාලය අතර තරගය

ගම්පොළ දී ක්‍රියාත්මක වුනු මෙම තරගය නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරවයි. තරගයේ මුලින් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් ක්‍රීඩකයින් පන්දුවාර 60 දී කඩුලු 9ක් දැවී ලකුණු 147ක් රැස් කළහ. සිතුම් සුබසිංහගෙන් සහ මාලිංග බණ්ඩාරගෙන් පිළිවෙලින් ලකුණු 48 සහ 23 බැගින් තෝමස් ඉනිමට එකතු විය. පන්දු යැවීමේ දී දවුලාවල කඩුලු 5ක් ද, එස්. පහලගේ කඩුලු 2ක් ද බිඳ හෙලූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංස්වුඩ් විද්‍යාලය පන්දුවාර 32ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 59ක් ලබා සිටි නිසා තරගයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රාහකයෙකු පවා බිහි නොවීය. සී. කේ. ධර්මරත්න ලකුණු 30යි. පන්දු යැවීමේ දී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් සිතුම් සුබසිංහ කඩුලු 3ක් ද, මාලිංග බණ්ඩාර කඩුලු 2ක් ද බිඳ හෙලූහ.

සාන්ත තෝමස් විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 147 (පන්දුවාර 60): සිතුම් සුබසිංහ 48, මාලිංග බණ්ඩාර 23, ලෙහාන් නවරත්න 22, ආර්.එච්. දවුලාවල 5/45, ඩී.එස්. පහලගේ 2/18.

කිංස්වුඩ් විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 59 (පන්දුවාර 32): සී.කේ. ධර්මරත්න 30, ඩී.එස්. බණ්ඩාර 15, සිතුම් සුබසිංහ 3/16, මාලිංග බණ්ඩාර 2/11.


ආනන්ද විද්‍යාලය සහ සාන්ත ජෝන් විද්‍යාලය අතර තරගය

අතොරක් නැතිව ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව නිමාවුණු මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන්නේ ආනන්ද විද්‍යාලයයි. එහි දී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 169ක් රැස් කර ගත්හ. අනූද ජයවීර ලකුණු 74යි. පන්දු යැවීමේ දී සුමුදු උදාර කඩුලු 3කට හිමිකම් කීවේය. වර්ෂාව ඇද හැලෙන විට තරගයේ ක්‍රියාත්මක කර තිබුණේ පන්දුවාර 32යි පන්දු 5ක් පමණි.

ආනන්ද විද්‍යාලය – කඩුලු 6ක් දැවී ලකුණු 169 (පන්දුවාර 32.5): අනූද ජයවීර 74, හංසජ ජයසිංහ 25, සුමුදු උදාර 3/24.


සාන්ත ජෝසප් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය

වර්ෂාවේ බලපෑමට නතු වූ මෙම තරගය නිමාවට පත්වූයේ ජය පරාජයකින් තොරවයි. තරගයේ ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ හරියටම පන්දුවාර 30ක් පමණි. එම කාල පරාසය තුල දී කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 73ක් රැස්කර ගත්හ. වර්ෂාව නිසා විනිසුරුවරුන් තරගය නතර කරන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දිනිඳු ආකාෂ් ලකුණු 25ක් ලබා සිටි අතර බිඳ වැටුණු කඩුලු තුනේම අයිතිය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩක භවන්ත ජයසිංහට හිමි විය.

සාන්ත ජෝසප් විද්‍යාලය – කඩුලු 3ක් දැවී ලකුණු 73/3 (පන්දුවාර 30): දිනිඳු ආකාෂ් 25*, භවන්ත ජයසිංහ 3/17.


සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ තිස්ස මධ්‍ය විද්‍යාලය අතර තරගය

කළුතර දී ක්‍රියාත්මක වුනු මෙම තරගය සීමාවකින් තොරව ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් අත්හැර දමන්නට සිදු විය. තරගයේ මුලින් පන්දුවට පහර දුන් වෙන්නප්පුව ජෝසප් වාස් පිතිකරුවන් පන්දුවාර 32කදී කඩුලු 4කට ලකුණු 110ක් රැස් කර සිටිය දී වර්ෂාව ආරම්භ විය.

ඒ වන විට පසිඳු කවීෂ ලකුණු 48ක් ලබා සිටිය දී දැවී ගොස් තිබුණු අතර ශෙරත් අමිඳු නොදැවී ලකුණු 24ක් රැස් කරගෙන ඉනිම ගොඩ නගමින් සිටියේය. බිඳ වැටුණු කඩුලු 4න් 3ක් කළුතර තිස්ස විද්‍යාලයීය ක්‍රීඩක හේශාන් උමින්ද හිමිකර ගත්තේය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 110 (පන්දුවාර 32): පසිඳු කවීෂ 48, ශෙරත් අමිඳු 24*, හේශාන් උමින්ද 3/22.


ජනාධිපති විද්‍යාලය සහ සාන්ත ඇන්තනි විද්‍යාලය අතර තරගය

දෙහිවල එස්. ඩී. එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් හිමි කර ගැනීමට මහරගම ජනාධිපති විද්‍යාලය සමත් විය. මුලින් පන්දුවට පහර දුන් ඔවුන් පන්දුවාර 48කදී කඩුලු 7ක් දැවී ලකුණු 254ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. ජනාධිපති ඉනිම වෙනුවෙන් චන්දීප කුමාරසිංහ ලකුණු 75ක් ද, දේශාන් ප්‍රනාන්දු අර්ධ ශතකයක් ද රැස් කළහ. දක්ෂ පන්දු යැවීමක යෙදුනු තුෂාර මධුෂාන් ලකුණු 74කට කඩුලු 5ක් බිඳ හෙලීය.

මෙම ලකුණු පුවරුව හඹා යාමට උත්සාහ දැරූ සාන්ත ඇන්තනි පිතිකරුවන්ට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 107ක් පමණි. චනිඳු ඉමල්ක ලකුණු 27ට කඩුලු 4ක් දවා ගනිද්දී ඉශාර පෙරේරා කඩුලු 3ක් බිඳ හෙලීය.

ජනාධිපති විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 254 (පන්දුවාර 47): චන්දීප කුමාරසිංහ 75, දේශාන් ප්‍රනාන්දු 56, සජන ගුණියන්ගොඩගේ 26, තුෂාර මධුෂාන් 5/74, කවිඳු ගමගේ 3/91.

සාන්ත ඇන්තනි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 107 (පන්දුවාර 27): බෙහාන් රවිශ්ක 27, උදාර ගිම්හාන 22, චනිඳු ඉමල්ක 4/27, ඉශාර පෙරේරා 3/17.


සාන්ත ජෝසප් විද්‍යාලය සහ ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය අතර තරගය

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 51ක දැවැන්ත ජයක් හිමිවුණු මෙම තරගය ඩාර්ලි හිදී ක්‍රියාත්මක විය. තරගයේ මුලින් පන්දුවට පහර දුන් රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයීය පිතිකරුවන් ජෝසප් පන්දු යවන්නන් හමුවේ බලවත් අපහසුතාවකට මුහුණ දුන් අතර ඒ හේතුවෙන්ම ලකුණු 45ක් වැනි සුළු ලකුණු ප්‍රමාණයකට සීමා වන්නට ඔවුන්ට සිදුවිය.

සුපිරි පන්දු යැවීමක නිරත වුනු නුවිනු තිවංක ලකුණු 9කට ප්‍රතිවාදී ක්‍රීඩකයින් තිදෙනෙකුම දවා ගත්තේය. යෙසිත් රූපසිංහ කඩුලු 3යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පන්දුවාර 21කට පමණක් මුහුණ දෙමින් කඩුලු 3කට ලකුණු 165ක් රැස් කරමින් ඉනිම අත්හිටුවන්නට තීරණය කළහ. විස්සයි විස්ස තරගයක් ආකාරයෙන් ප්‍රවේගකාරීව පිතිකරණයේ යෙදුණු ජෝසප් ඉනිමට දිනාල් අනුරාධ නොදැවී ලකුණු 114ක් එක් කළේය.

ඒ අනුව ලකුණු 120ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ පඤ්ඤානන්ද පිතිකරුවන් එහි දී ද ලකුණු 69කට දැවී ගියේය. යෙසිත් රූපසිංහ කඩුලු 4ක් ද, නුවිනු තිවංක කඩුලු 3ක් ද බිඳ හෙලූහ.

ශ්‍රී පඤ්ඤානන්ද මධ්‍ය විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 45 (පන්දුවාර 33.4): නුවිනු තිවංක 6/9, යෙසිත් රූපසිංහ 3/17.

සාන්ත ජෝසප් විද්‍යාලය – කඩුලු 3ක් දැවී ලකුණු 165 (පන්දුවාර 21): දිනාල් අනුරාධ 114*, යනික් මුලර් 31, සනෝජ් සසංක 2/14.

ශ්‍රී පඤ්ඤානන්ද මධ්‍ය විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 69 (පන්දුවාර 35.3): ජයෝධ්‍ය රසාංජන 24*, යෙසිත් රූපසිංහ 4/26, නුවිනු තිවංක 3/23, ජේඩන් මාකලන්ද 2/10.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට