2016/17 තරග වාරයට අදාළ සිංගර් අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසානය ලඟා වී තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අඹරට තවත් තරු රැසක් පිළිබඳ ඉඟි පල කරමිනුයි. එම තරු අතරින් වඩාත්ම දීප්තිමත්ව බැබළීමේ විභවයක් පවතින අනාගත බලාපොරොත්තු කිහිපයක් පිළිබඳ ThePapare.com තබන සටහනක් මේ.

හොඳම ශ්‍රී ලාංකික පිතිකරුවන් කවුරුන් ද?

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය ඇරඹෙන්නේ 1982 වර්ෂයෙනි. කෙටි කාලයක දී ම ලෝක ක්‍රිකට්ලෝලීන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කර ගනිමින් ලොව සටන්කාමී ටෙස්ට් කණ්ඩායමක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ලසිත් කෲස්පුල්ලේ – මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

Lasith Croospulleලසිත් කෲස්පුල්ලේ මෙම තරග වාරය තුළ ලකුණු 1000 සම්පූර්ණ කළ ක්‍රීඩකයන් සීමිත පිරිසකගේ සමාජයට ඇතුළත් දක්ෂ දකුණත් පිතිකරුවෙකි. මෙම තරග වාරයේ දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් තරග 14කට ක්‍රීඩා කර ඇති ලසිත්ගේ හොඳම ඉනිම ලෙස කදිරාන ක්‍රීඩාංගණයේ දී මාරවිල සාන්ත සේවියර් විද්‍යාලයට එරෙහිව රැස් කළ අගනා ද්විත්ව ශතකය (නොදැවී ලකුණු 205ක්) සඳහන් කළ හැක. 2016/17 තරග වාරය අවසන් වන විට ලසිත්ගේ ඉනිමක ලකුණු සාමාන්‍ය 61.75ක් ලෙස සටහන් වුනේ ඔහු ඉනිම 21 දී ලබා ගත් ලකුණු 1148ට නිසි වටිනාකමක් ලබා දෙමිනි. ඔහුගේ මෙම දක්ෂතා හේතුවෙන් යොවුන් ආසියානු කුසලාන සහ පසුගිය දා පැවති ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා ද ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සාමාජිකත්වය හිමි කර ගැනීමට ද ලසිත් කෲස්පුල්ලේ සමත් විය.

නිපුන් සුමනසිංහ – මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය

Nipun Sumanasinghe – First to reach 1000 runs this seasonමනහර තාක්ෂණයකින් යුතු වමත් පිතිකරුවකු වන නිපුන් සුමනසිංහ මෙම තරග වාරයේ දී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ඉහළ දස්කම් අතර සිටි අතර ලකුණු 1000 සම්පූර්ණ කළ පිතිකරුවන්ගේ සමාජයට ඇතුළත් වූ පළමු පිතිකරුවා බවට පත් වන්නට ද සමත් විය. කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව ශතකයක් වාර්තා කරමින් එම කඩ ඉම සම්පූර්ණ කළ නිපුන් මෙම තරග වාරයේ ක්‍රීඩා කළ ඉනිම 19ක් තුළ ලකුණු 1099ක් ලබා ගත්තේ ශතක 3ක් සහ අර්ධ ශතක 5ක් ද සමඟයි. පිත්තෙන් පමණක් නොව පන්දුවෙන් ද දස්කම් දක්වමින් කඩුලු 30කට අධික සංඛ්‍යාවක් තමන්ගේ නමින් සටහන් කර ගෙන ඇති නිපුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න්  පහළ කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ද සුදුසුකම් ලැබීය.

නිපුන් ධනංජය පෙරේරා – වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

Nipun Dhananjayaසාන්ත ජෝසප් වාස් විද්‍යාල කණ්ඩායමේ තුන් ඉරියව් දක්ෂයෙකු වන නිපුන් ධනංජය මෙවර තරග වාරය තුළ වෙන්නප්පුව කණ්ඩායම වෙනුවෙන් වඩාත්ම කැපී පෙනුණු ක්‍රීඩකයායි. වමතින් පිත්ත හසුරුවමින් ශතක තුනක් සහ අර්ධ ශතක 3ක් ඇතුළුව ලකුණු 880ක් රැස් කළ ධනංජය ඔහුගේ පිට දඟ පන්දු යැවීමෙන් ප්‍රතිවාදීන් 70කට අධික පිරිසක් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට සමත්ව සිටියි. ඔබ සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ක්‍රීඩාලෝලියෙකු නම් ඔබට වඩාත්ම සතුටු විය හැකි කරුණ වන්නේ ධනංජය හට තවත් වසර 2ක් තම විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි වීමයි.

හරීන් බුද්ධිල – ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය

Hareen Buddilaසාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් බැබළෙන තරුවක් බවට පත්වූ හරීන් බුද්ධිලගේ ප්‍රභාමත් දක්ෂතා හේතුවෙන් ජාතික යොවුන් කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගැනීමට ඔහුට වැඩි කාලයක් ගත නොවීය. ජාතික වගකීම් හේතුවෙන් තම විදුහල නියෝජනය කිරීමට හැකිවුණේ තරග 12 දී පමණක් වුව ද එහි දී තම වමත් දඟ පන්දුවෙන් කඩුලු 93ක් බිඳ හෙලූ බුද්ධිලගේ දස්කම් අතරට ඉනිමක දී කඩුලු 5ක් දවා ගත් අවස්ථා 11ක් ද තරගයක දී කඩුලු 10 සීමාව පසු කළ අවස්ථා 4ක් ද ඇතුළත් වීම විශේෂත්වයකි. එළඹෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අනිවාර්ය සාමාජිකයෙකු වීමේ පෙර නිමිති පෙන්වා තිබීම හේතුවෙන්  බුද්ධිලගේ සේවය එළඹෙන තරග වාරයේ දී සාන්ත ඇලෝසියස් විද්‍යාලයට වඩා ජාතික යොවුන් කණ්ඩායමට හිමි වීමේ තත්ත්වයක් උද්ගත වනු ඇති.

මහා ක්‍රිකට් තරග බිමේ හරඹ පෑ දක්ෂ ක්‍රීඩකයෝ

පාසල් මහා ක්‍රිකට් තරග වාරයේ අවසානය ලඟා වීමත් සමඟ පසුගිය මාසයකට අධික කාලය තුල මහා ක්‍රිකට් තරග කරළියේ පෙරලි කළ දක්ෂයන් පිළිබඳ ආපසු හැරී බැලීමක් මේ.

ෂැනොගීත් ශන්මුගනාදන් –  මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

Shanogeethමහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ 2016/17 තරග වාරය සඳහා නායකයා ලෙස කටයුතු කළ ශන්මුගනාදන් එම තරග වාරය පුරාම ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කරන්නට සමත් වුනේ තරග 20ක පමණ ලකුණු 1200ක් ඉක්මවා රැස් කරමිනුයි. මුල් පෙළ සවිමත් කරන වමත් පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පවා නියෝජනය කළ ඔහු ත්‍රිත්ව විදුහලේ සිව්වන වසර ක්‍රීඩකයකු ලෙස සිය වමත් දඟ පන්දුවෙන් කඩුලු 68ක් දවා ගැනීමට ද සමත් විය.

මිෆ්ලාල් අමීන් – බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය

Miflal Ameenතම පාසල වෙනුවෙන් පළමු වරට පළමු පෙළ කණ්ඩායම නියෝජනය කිරීම සඳහා මෙම තරග වාරයේ දී වරම් ලැබූ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මිෆ්ලාල් අමීන්, මෙම තරග වරය තුල දී කඩුලු 100 සීමාවට ලඟා වූ පළමු ක්‍රීඩකයා බවට ද පත් විය. තරග 20ක් පමණ වැය කරමින් කඩුලු ශතකය සම්පූර්ණ කිරීම සඳහා ඔහු සමත් වුනේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමඟ පැවති තීරණාත්මක තරගයේ දී යි. තම කඩුලු එකතුවට ඉනිමක දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්ථා 6ක් ද ඇතුළත් කරන්නට අමීන් හට හැකියාව ලැබී තිබේ.

නවීන් ගුණවර්ධන – කොළඹ තර්ස්ටන් විද්‍යාලය

Naveen Gunawardenaවමත් දඟ පන්දු යවන්නෙකු ලෙස ඉහළ දස්කම් දක්වන නවීන් ගුණවර්ධන මෙවර තරග වාරය තුල දී කඩුලු 95ක් පමණ දවා ගෙන ඇත්තේ තරග 15කට පමණක් සහභාගී වෙමිනුයි. ආබාධයක් හේතුවෙන් ඉතිරි තරග සහ කඩුලු 100 සීමාව පසු කිරීමේ අවස්ථාව අහිමි වුව ද මෙම තරග වාරයේ හොඳම පන්දු යැවීම සටහන්ව තිබෙන්නේ නවීන්ගේ නමිනුයි. ඒ ඔහු කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ එක ඉනිමක දී ලකුණු 36කට ප්‍රතිවාදී පිතිකරුවන් 10 දෙනාවම දවා ගැනීමයි.

පවිත් රත්නායක – ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

Pavith Rathnayakeවමත් දඟ පන්දුවෙන් දස්කම් දක්වන මේ යොවුන් තෝමසුවා තම විද්‍යාලය ඉහළ ස්ථානයකට රැගෙන යාම සඳහා ඉහළ දායකත්වයක් ලබා දී තිබේ. මෙවර තරග වාරයේ කඩුලු 100 පසු කළ විශිෂ්ටයන් අතර සිය නම ද ඇතුළත් කර ඇති පවිත් ඉනිමක දී කඩුලු 5ක් දවා ගත් අවස්ථා 10ක් වාර්තා වන අතර ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස දැක්වෙන්නේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව ලකුණු 44කට කඩුලු 7ක් දවා ගැනීමයි. එමෙන්ම තවත් තරග වාර 2ක් සඳහා තම පාසල නියෝජනය කිරීමේ හැකියාව ද මේ යොවුන් ක්‍රීඩකයා සතුයි.

මලිඳු මධුරංග – කොළඹ මහානාම විද්‍යාලය

Malindu Madurangaමහානාම විදුහල් කණ්ඩායමේ නායකත්වය දැරූ මලිඳු මධුරංග තම තුන් වන පාසල් තරග වාරය සඳහා ක්‍රීඩා කරමින් ඉහළ දස්කම් ප්‍රකට කළ ක්‍රීඩකයෙකි. තරග 14ක් තුල දී ලකුණු 1000 සීමාව පසු කළ ඔහු 2016/17 පාසල් තරග වාරය තුල දී ශතක 5ක් සහ අර්ධ ශතක 3ක් රැස් කරගෙන තිබෙන්නේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 184ක් වාර්තා කරමිනි. පාසල් දක්ෂතා පදනම් කර ගනිමින් කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමට සහ CCC ක්‍රීඩා සමාජයට ඇතුළත් වීමේ වරම් ලැබූ මලිඳු ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ තරගාවලි සඳහා ද ක්‍රීඩා කරන ලදි. එහි දී අන්තර් දිස්ත්‍රික් තරගාවලිය තුල දී ද තම පිත්තේ සවිය ප්‍රදර්ශනය කළ ඔහු අවසන් පූර්ව තරගයේ දී පන්දු 43කින් ලකුණු 55ක් ද, අවසන් මහා තරගයේ දී පන්දු 51කින් ලකුණු 41ක් ද රැස් කරමින් කොළඹ දිස්ත්‍රික්කය එම තරගාවලියේ ශූරතාව වෙත ගෙන යන්නට දායක විය.

සහන්  සුරවීර – කොළඹ ආනන්ද විද්‍යාලය

Sahan Suraweeraවේගයෙන් පන්දුවට පහර දෙන වමත් පිතිකරු සහන්  සුරවීර ආනන්ද විද්‍යාලය වෙනුවෙන් මෙම තරග වාරය තුල දී විශිෂ්ට දස්කම් අතර සිටි යෞවනයෙකි. ආනන්ද පිතිකරණ බල ඇණියේ මූලිකත්වය ගනිමින් සහන්  ලකුණු 1000 සීමාව පසු කළේ තම හොඳම ඉනිම ලකුණු 118ක් ලෙස සටහන් කරමිනුයි, එම කාලය තුල දී තරග 19කට ක්‍රීඩා කළ ඔහු ශතක 5ක් සහ අර්ධ ශතක 4ක් තම ලකුණු එකතුවට ඇතුළත් කර තිබේ. සහන් මේ වන විට එක්සත් රාජධානිය වෙත ගොස් සිටින්නේ එංගලන්ත දේශීය ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමටයි. එබැවින් ඔහුට මෙවර සිංගර් වයස අවුරුදු 19න් පහළ දෙදින තරගාවලිය අහිමි වීමේ තත්ත්වයක් ද උද්ගත වනු ඇති.

චරණ නානායක්කාර – කොළඹ තර්ස්ටන් විද්‍යාලය

Charana Nanayakkaraතර්ස්ටන් විද්‍යාලයෙන් බිහිවූ ඉහළ දස්කම් සහිත තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන චරණ නානායක්කාර තම 6 වන පාසල් තරග වාරය අවසන් කළේ තරග 15ක් තුල, පිත්තෙන් ලකුණු 895ක් සහ පන්දුවෙන් කඩුලු 45ක් තමන් සතු කර ගනිමිනුයි. ඔහු මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව ඉනිමක දී ලකුණු 15කට කඩුලු 8ක් දවා ගැනීම මෙම තරග වාරයේ ඉහළම දස්කමක් වන අතර පාසල් වයස අවුරුදු 19 න පහළ පළමු පෙළ එක්දින තරගාවලියේ අවසන් මහා තරගය දක්වා තර්ස්ටන් කණ්ඩායම ගෙන එන්නට ඔහු විශාල දායකත්වයක් ලබා දුනි. 2015/16 තරග වාරයේ තර්ස්ටන් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ චරණ හට ආබාධයක් හේතුවෙන් මෙවර පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය අහිමි වූ අතර ඔහුගේ පුරප්පාඩුව හොඳින්ම දැනුනේ තර්ස්ටන් කණ්ඩායමට එම තරගයේ දී අතිශය තියුණු සටනකින් පසු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හමුවේ පරාජය වීමට සිදුවීම හේතුවෙනුයි.

දක්ෂතම ශ්‍රී ලාංකික පන්දු රකින්නන් 10 දෙනා කවුරුන් ද?

දකුණු ආසියාවේ වඩාත් නම්‍යශීලී සහ සුචල්‍ය (agile – පහසුවෙන් එහා මෙහා චලනය විය හැකි) ශරීර වලින් යුත් ක්‍රිකට් ක්‍රීඩකයන් සිටින රට ශ්‍රී ලංකාවයි.

සන්තුෂ් ගුණතිලක – බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය

Santhush Gunathilakaආරම්භක පිතිකරුවකු සහ ආරම්භක පන්දු යවන්නෙකු යන වගකීම් දෙකම ඉටු කළ හැකි දුර්ලභ ගණයේ ක්‍රීඩකයෙකු ලෙස සාන්ත පීතර විද්‍යාලයට තම දායකත්වය සැපයු සන්තුෂ් එම වගකීම් දෙකම මනාව ඉටු කරන්නට ද සමත් විය. මෙවර තරග වාරයේ තරග 20කට ආසන්න සංඛ්‍යාවක් තුළ ඔහු රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 1098ක්. ඊට ශතක දෙකක් සහ අර්ධ ශතක කිහිපයක් ද ඇතුළත් වන අතර 83 වන ශාන්තුවරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගයේ දී රැස් කළ දර්ශනීය අර්ධ ශතකය ද ඒ අතර වෙයි. සිය දකුණත් වේග පන්දුවෙන් කඩුලු 35 ඉක්මවා දවා ගෙන ඇති සන්තුෂ්, එළඹෙන තරග වාරයේ දී ශ්‍රී ලංකා ජාතික යොවුන් කණ්ඩායමේ දොරට තට්ටු කරන ක්‍රීඩකයන් අතර ප්‍රධාන තරගකරුවකු වනු ඇති.

කවිෂ්ක අංජුල – කොළඹ ආනන්ද විද්‍යාලය

Kavishka Anjulaආනන්ද විදුහල් කණ්ඩායමේ නායක කවිෂ්ක අංජුල කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කරමින් තම දකුණත් වේග පන්දුවට ගොදුරු කරගෙන ඇති පිතිකරුවන් සංඛ්‍යාව 40කට ආසන්නයි. වමතින් පිත්ත හසුරුවන ඔහු මැද පෙළ පිතිකරුවෙකු ලෙස ශතක 2ක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 1000 සීමාව ඉක්මවා යන්නට ද සමත් වී තිබේ. අන්තර් පාසල් 19න් පහළ පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දක්වා සිය කණ්ඩායම මෙහෙයවා ඇති අංජුල එහි ශූරතාව ද ආනන්දයට හානි කර දීමේ බලාපොරොත්තුවෙන් පසු වනු ඇති.

පැතුම් නිස්සංක – කොළඹ ඉසිපතන විද්‍යාලය

Pathum Nissankaජාතික යොවුන් කණ්ඩායමේ වගකීම් හේතුවෙන් ඉසිපතන විද්‍යාලයීය දකුණත් පිතිකරු පැතුම් නිස්සංක හට මෙවර පාසල් තරග වාරය තුල දී තම විදුහල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හැකි වුනේ තරග 9ක් පමණයි.  කෙසේ වෙතත් එම තරග 9 තුල දී 70.00ක ලකුණු සාමාන්‍යයක් රඳවා ගත් පැතුම් රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 923කි. මෙවර තරග වාරයේ අතලොස්සක් වූ ද්විත්ව ශතක ලාභීන් අතුරින් අයෙක් වෙමින් ඉනිමක දී ලකුණු 205ක් රැස් කළ ඔහු ශතක 4කට සහ අර්ධ ශතක කිහිපයකට ද හිමිකම් කියයි.

නිශාන් මධුශංක – මොරටු විද්‍යාලය

මොරටු විද්‍යාලය නියෝජනය කරන දකුණත් පිතිකරු නිශාන් මධුශංක අවිවාදිතවම එම කණ්ඩායමේ වඩාත්ම කැපී පෙනුණු ක්‍රීඩකයායි. තම පාසල් කණ්ඩායමේ උප නායකයා ලෙස ද කටයුතු කරන ඔහු තරග 12ක දී ලකුණු 933ක් ලබා ගෙන තිබෙන්නේ ශතක 2ක් සහ අර්ධ ශතක 6ක් සමඟිනුයි. සහිරා විද්‍යාලයට එරෙහිව ඉනිමක දී ලකුණු 178ක් ද රැස් කළ නිශාන්ගේ ඉනිමක ලකුණු සාමාන්‍ය 50 සීමාව ආසන්නයේම පවතියි.

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න