ටශික, අශාන් හා නුවනිඳු දිනය වර්ණවත් කරවයි

922
SLC U19 Provincial

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සාර්ථක ලෙස සංවිධානය කරනු ලබන සුපිරි පළාත් එක්දින තරඟාවලියේ අවසන් දින කිහිපය ගෙවීයන විට, එම තරඟාවලියට සමගාමීව පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ කාණ්ඩයේ සුපිරි පළාත් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (26) පැවැත්විණි. එම තරඟ වලින් බස්නාහිර දකුණ, බස්නාහිර උතුර, උතුර හා බස්නාහිර මධ්‍යම යන කණ්ඩායම් ජයග්‍රහණ ලබාගන්නා ලදි.

අනුලා – රත්නාවලී ක්‍රිකට් ගැටුමට සියල්ල සුදානම්

නුගේගොඩ අනුලා විද්‍යාලයත්, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයත් අතර ප්‍රථම වරට පැවැත්වීමට නියමිත “රැජිණියන්ගේ සංග්‍රාමය” මහා ක්‍රිකට් තරගයේ නිල මාධ්‍ය සාකච්ඡාව ඊයේ (25) පැවැත්විය. මහා ක්‍රිකට් තරගය මැයි මස 04 වන දා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

බස්නාහිර දකුණ හා මධ්‍යම තරගය

NCC පිටියේ දී බස්නාහිර දකුණ කණ්ඩායමට ලකුණු 120ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිවූ මෙම තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල බස්නාහිර දකුණ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළහ.

බස්නාහිර දකුණ වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වුනු නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 68ක් ලබාගෙන ජය මාවත වෙත සාර්ථක අඩිතාලමක් සකස් කරවන ලදි. ඔහු සමගින් එක්ව ඉනිම ගොඩනැංවූ නිපුන් දේශාන් ලකුණු 66ක් එක් කරගත් අතර, ඔහුගේ ඉනිමට විශිෂ්ට පහරවල් කිහිපයක්ම අන්තර්ගත විය. පන්දු යැවීමේදී මධ්‍යම පළාත වෙනුවෙන් ලකුණු 12කට කඩුලු 2ක් දවා ගැනීමට ජනිදු හිම්සරට හැකි විය.

ලකුණු 204ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට අවතීර්ණ වූ මධ්‍යම කණ්ඩායමට එම ඉලක්කය සපුරා ගැනීමට ටශික පෙරේරාගේ පන්දු යැවීම හරස් විය. එහිදී ටශික සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 40ක් තුළ කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. එමෙන්ම තුන් ඉරියව් දස්කම් පෙන්වූ නුවනිඳු ලකුණු 3ක් තුළ කඩුලු 2ක් දවාලන ලදි.

බස්නාහිර දකුණ – සියල්ලන්ම දැවී 203 (පන්දු වාර 48.4): නුවනිඳු ප්‍රනාන්දු 68, නිපුන් දේශාන් 66, ජනිදු හිම්සර 2/12, නිම්සර අත්තනගල්ල 2/34, තිමිර සුපුන් 2/40, නිපුන් කුමාරසිරි 2/50

මධ්‍යම – සියලුම දෙනා දැවී 83 (පන්දු වාර 26.4): ටශික පෙරේරා 5/40, නුවනිඳු ප්‍රනාන්දු 2/03


උතුරු මැද හා බස්නාහිර උතුර තරගය

මුවර්ස් පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල උතුරු මැද පළාත් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

උතුරු මැද පළාත වෙනුවෙන් කවිදු මදරසිංහ එක් රැස් කළ ලකුණු 32 අභිබවා ලකුණක් රැස්කර ගැනීමට නොහැකි වන ලෙස මහේෂ් තීක්ෂණ ඇතුළු බස්නාහිර උතුර ක්‍රීඩකයින් දක්ෂ ලෙස පන්දු යවන ලදි. එහිදී මහේෂ් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කඩුලු 4ක් දවාලමින් දායක වූයේය.

ලකුණු 146ක මධ්‍යස්ථ අභියෝගයක් පන්දුවාර 24ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගැනීමට බස්නාහිර උතුරු කණ්ඩායම සමත් විය. එහිදී අශාන් ප්‍රනාන්දු දක්ෂ පිතිකරණයක නිරත වෙමින් නොදැවී ලකුණු 84*ක් රැස්කර ගැනීමට සමත් විය. ඔහු සමගින් ඉනිම ගොඩනැංවූ මොහොමඩ් ශමාස් ලකුණු 27ක් ලබාගන්නා ලදි.

අවසානයේ  මෙම තරඟය බස්නාහිර උතුර කණ්ඩායම විසින් කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

උතුරු මැද – සියල්ලන්ම දැවී 145 (පන්දු වාර 42.3): කවිදු මදරසිංහ 32, විහාන් ගුණසේකර 25, මහේෂ් තීක්ෂණ 4/24, අසේල සිගේරා 3/21, චාමික ගුණසේකර 2/22

බස්නාහිර උතුර – කඩුලු 3ක් දැවී 147 (පන්දු වාර 24): අශාන් ප්‍රනාන්දු 84*, මොහොමඩ් ශමාස් 27


ඌව පළාත හා උතුරු පළාත අතර තරගය

වැලිසර නාවික හමුදා පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඌව කණ්ඩායම ට එදිරිව දක්ෂ පිතිකරණයක නිරත වූ උමේක්ෂ ඩිල්ශාන් උතුරු පළාතට කඩුලු 8ක සුපිරි ජයග්‍රහණයක් ගෙන ඒමට තම දායකත්වය දක්වන ලදි.

ඌව කණ්ඩායමට පළමුව පිතිකරණය සදහා අවස්ථාව උදා වූ නමුත් එම අවස්ථාව වඩාත් හිතකර ලෙස තම වාසියට හරවා ගැනීමට ඔවුන්ට නොහැකි විය. එහිදී ශසික ඩිල්ශාන් ලකුණු 39ක් ලබා ගත් අතර ඔහු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. පන්දු යැවීමේදී ජී රතිශන් කඩුලු 4ක් දවාලන විට, වී.ජතුශන් කඩුලු 3ක් දවාලමින් ඌව පිතිකරුවන් අසාර්ථකත්වය වෙත ඇද දමන ලදි.

උමේක්ෂ ඩිල්ශාන් ආරම්භක මොහොතේ සිටම උපක්‍රමශීලීව පිතිකරණයේ නිරත වෙමින් නොදැවී ලකුණු 77*ක් රැස්කරගත්තේ තම කණ්ඩායම ජයග්‍රහණය සඳහා ගෙන ගිය තරුව බවට පත් වෙමිනි.

ඌව – සියල්ලන්ම දැවී 134 (පන්දු වාර 47.4): ශසික ඩිල්ශාන් 39, ජී.රතිශන් 4/32, වී.ජතුශන් 3/17

උතුර – කඩුලු 2ක් දැවී 135 (පන්දු වාර 26.2): උමේක්ෂ ඩිල්ශාන් 77*, අයි.ඩී.අශ්මික 30


නැගෙනහිර හා බස්නාහිර මධ්‍යම තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී නැගෙනහිර කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහරදෙන ලදි. මෙම තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට බස්නාහිර මධ්‍යම කණ්ඩායම සමත් විය.

නැගෙනහිර කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පිටියට ප්‍රවිෂ්ට වූ අතර, එහිදී උශාන් ඉමන්ත ලකුණු 22ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සාර්ථක වීමට අවකාශයක් නොලැබුණේ විමුක්ති කුලතුංග ගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙනි. එහිදී ඔහු  කඩුලු 4ක් දවාලන ලදි.

ලකුණු 121ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි බස්නාහිර මධ්‍යම කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවානන් බවට පත්වූ සන්තුෂ් ගුණතිලක හා ඉරංග හශාන්ය. ඔවුන් සාර්ථක පිතිකරණයක නිරත වෙමින් පිළිවෙලින් නොදැවී ලකුණු 53*ක් හා ලකුණු 48ක් ලබාගෙන ලකුණු පුවරුවට සවිමත් අඩිතාලමක් යොදවන ලදි. පන්දු යැවීමේදී උශාන් ඉමන්ත කඩුලු 2ක් දවාලන ලදි.

නැගෙනහිර – සියල්ලන්ම දැවී 120 (පන්දු වාර 40.4): උශාන් ඉමන්ත 22, විමුක්ති කුලතුංග 4/26, සවන ප්‍රභාශ් 2/14, කලන පෙරේරා 2/21

බස්නාහිර මධ්‍යම – කඩුලු 3ක් දැවී 123 (පන්දු වාර 27.2): සන්තුෂ් ගුණතිලක 53*, ඉරංග හශාන් 48*, උශාන් ඉමන්ත 2/13

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට