OPINION : අවාසනාවන්ත ලෙස මියගිය කුණු කඳුවාසීන් හා වෙනත් කතා


මීතොටමුල්ලේ කුණු කන්ද ගැන දේසපාලුවෝ, විචාරකයෝ, මාද්දියවේදියෝ මෙන්ම බ්ලොග්කාරයෝ කියන/ලියන ඒවා දැක්කම අඬන්නද හිනා වෙන්නදැයි හිතා ගන්නට බැරිය. ඒතරමටම සංවේදීය. 

කුණු කන්ද අවට ජීවත්වූ මිනිස්සු දැන් හරිම හොඳ මානවයෝය. දරු මල්ලෝත් එක්ක කුණු කන්දක් අස්සට වෙලා මෙච්චර කල් හිටියේ ඇයි කියලා අහන කෙනෙක් නැත. 

ඕක අස්සට වෙලා හිටියේ වෙන යන්න තැන් නැති නිසා / හැකියාවක් නැති නිසා යයි කවුරු කෙසේ කීවත් පිලිගන්නට නොහැකිය. කවුරු කොහොම කිව්වත් මේ ලංකාවේ එතරම්ම අසරණ මිනිස්සු, වහල්ලු නැත. ඕනෑනම් යන්නට තැනක් හොයාගන්නට බැරි නැත. බැරි කමට වඩා තිබුණේ ඕනෑ නැති කමය. ඊටත් වඩා අකමැත්තය.

මීට අවුරුදු හතරකට විතර කලින් ඩෙංගු උවදුර ඉතා තදින් පැතිර ගිය පෙදෙස්වල මිනිස්සු ගෙවල් දොරවල් අතහැර ගම්මාන පිටින් වෙනත් පලාත් වලට පැන ගියේ ඩෙංගු මාරයාගෙන් දිවි ගලවාගන්නය. 

කුණු කඳුවාසීන් කිසිවිටකත් එසේ කලාදැයි ආරංචි නැත. "අපිව මේ නරාවලෙන් වෙනත් තැනක පදිංචි කරපියව්" කියලා උද්ගෝෂණද නැත.

උද්ගෝෂණ අහවල් ගණනක් තිබූ බව කියයි. කුණු කන්දේ උද්ගෝසන ව්‍යාපාරයේ කැඳවුම්කරු යයි කියන කෙනෙක් අහවල් වාර ගණනක් උද්ගෝසන කලා යැයි කියනු ඇසී තිබේ.

ඒ කුණු දාන්න එපා කියලාය. කුණු කන්ද ගලවනවාට වඩා ලේසියෙන් කුණු කන්ද බදාගෙන හිටපු උන් ගලවලා වෙනත් තැනකට දාන්න පුලුවන. එවැනි උත්සහයන් කීපයක් තිබූ බව මතකය.

ඒත් ගියේ නැත. 

අපිට යන්ඩ බෑ.... කන්ද ගෙනියපල්ලා. ලේසි වැඩේ කරන්න දෙන්න බෑ...අමාරු වැඩේ කරපල්ලා. ලංකාවේ ඉල්ලීම් ඔහොමය. 

සයිටම් එක නියාමනය කරලා, කොලිටිය හදලා ගන්නවාට කැමති නැත. කල යුත්තේ වහලා දමන එකය. කොහොමටත් ආණ්ඩුවෙන් පඩිකන වෘත්තීය සමිති ක්‍රියාකාරීන් වැනි සත්වකොට්ටාස වලට ප්‍රශ්ණ විසඳීමේ අමාරුකම ගැන දැනුමක් නැත. එයාලා දන්නේ ප්‍රශ්ණ මවන්නටත්, කරන්න බැරි විසඳුම් දීපියව් කියලා රටේ මිනිස්සුන්ට පව් දෙන්නටත්ය.

ලංකාවේ හැටි එහෙමය.

කුණු ප්‍රශ්ණයත් ඔය වගේය. අමාරු විසඳුම් ඉල්ලන්නේ ඒවා නොකල හැකි බව දැන දැනය. එතකොට කුණු කඳු පාමුල ජාවාරම් බාධාවකින් තොරව කරගෙන යන්නට පුලුවන. පොලීසිය වුනත් ඔය නරාවලට බහින්නට අකමැති බව කුණු කඳු වාසීන් හොඳින් දනිති. කවදාක්වත් කරන්නට බැරි දේවල් කරන්නට කියමින් කන්ද බදාගෙන මියෑදෙන්නට සිදුවෙතැයි ඔවුන් කවදාක්වත් සිතන්නට නැත. හැමදෑම කුණු කන්ද කමින්, කුණු දාන්න එපා කියා බැණ බැණ ඉන්නට ඔවුන් සිතන්නට ඇත.

කුණු කන්ද පාමුල ගෙවල් මෙන්ම පාසැළක්ද තිබුණ බව මට මතකය. හොඳවෙලාවට කන්ද පාත්වුනේ නිවාඩු කාලයේය. නැතිනම් පාසැල පිටින්ම වැළලී යන්නට ඉඩ තිබුණි.

කලින් ආණ්ඩුවේ ගෝඨාගේ මූලිකත්වයෙන් මුඩුක්කු/පැල්පත්වාසීන් තට්ටු නිවාසවලට යවන කාලේ එම වැඩපිලිවෙලට මොනතරම් විවේචන එල්ලවුනාදැයි මට මතකය.

මුඩුක්කුවල කුඩුවිකුණමින්, ගණිකා ව්‍යාපාරය හා වෙනත් ජාවාරම් කරමින් සිටියවුන් පත්තර වල වැටුනේ අගතියට පත් මහා අහිංසකයින් මෙනි.

ඇත්ත කතාවනම් මොවුන් මුඩුක්කුවලින් ඉවත් නොවන්නේ මේ නීති විරෝධී ජාවාරම් කරගන්නට බැටි වෙන නිසාත් හොරෙන් ගන්නා වතුර ටිකට, කොක්කක් ගසා ගන්නා විදුලි බලයට ගෙවන්න සිදුවෙන නිසාත්ය. ඇත්ත කතාව ඒකය. කියන්නේ නම් අපි හිටියේ ලොකු ගෙවල්වල, මේ පොඩි හුන්ඩුවල ඉන්නේ කොහොමද කියලායි. ලොකු ගෙවල් තියෙන්නේ මේ ලෝකේ මොන මුඩුක්කුවේදැයි අහන්න කෙනෙක් නැත.

කුණු කන්දේ පව දේශපාලයකන්ට විතරක් නොවේ

කුණු කන්දේ පව බලයේ ඉන්න හා බලයේ හිටපු පාලකයින්ට පවරන්නට උත්සහ ගනිති. ඒත් මේ විනාසෙට වගකිව යුතු අය ගොඩක් සිටිති. කුණු ප්‍රශ්ණය විසදන්නට මේ රටේ පසුගිය හා පවතින ආණ්ඩු සියල්ලම ගන්නට හැදූ විසඳුම් වලට මරාගෙන මැරෙන ලෙස විරුද්ධවූ අපතයින් සියල්ලම මේ විනාසයට වගකිව යුතුය. ඒ අපතයින්ව පිම්බූ පත්තරකාරයන්ද වගකීම බාරගත යුතුය.

කොහොම වුනත් අන්තිමට කියන්න තියෙන්නේ මේ රට මේ විධියට ගෙනියන්න බැරි බවය. ප්‍රජාතන්ත්‍රවාදය මෙරට අර්ධමානව ප්‍රජාවට ගැලපෙන්නේ නැත. ඔවුනට ප්‍රජාතන්ත්‍රවාදය/නිදහස ආදිය වඳුරාට ලැබුණු දැලි පිහිය මෙනි. තමනුත් කපාගෙන අනුන්වත් කපා විනාසයක් කර ගනී.

බාගෙට ඉගෙනගත් පොලිටිකල් ටෙරරිස්ට් සමිතිකාරයින්ට හෝ ෆුලි එඩියුකේටඩ් වයිට් කොලර් ටෙරරිස්ට් සමිතිකාරයින්ට මේ රටේ ජීවත්වන්නට වෙර දරන මිනිසුන් ප්‍රාණ ඇපයට ගන්නට, දරුවන්ගේ අනාගතය අඳුරු කරන්නට ඉඩදිය නොහැකිය. මේ රට පොදු ජනතාවට අයිති බහුතරයේ සුගතිය වෙනුවෙන් ක්‍රියාත්මක වන රටක් විය යුතු අතර වෘත්තීය සමිතිකාරයින්ට, උන්ගේ පටු අරමුණු වලට ඕනෑ විධියට නටවන්න පුලුවන් රටක් විය යුතු නැත. 

දයාන් ජයතිලක මහත්තයා "ගෝඨා ප්‍රොජෙක්ට්" එකක් ගැන කිය කියා හිටියේය. දැන් ඒක ගැන සළකාබලන්නට කාලය යයි සිතේ. වෘත්තීය සමිති සටන් / උද්ගෝසන / කෙලවරක් නැති වැඩවර්ජන නවත්තන්න පුලුවන්, ප්‍රශ්ණ විසඳන්න පුලුවන් මිනිහෙක් ගැන හිතන්න කාලය පැමිණ ඇත.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments