ක්‍රීඩාවට මාහැඟී මෙහෙවරක් කළ යුග පුරුෂයා – සුනිල් ගුණවර්ධන

517

1949 ඔක්තෝබර් මස 6 වැනිදා මෙලොව එලිය දුටු සුනිල් ගුණවර්ධන සීදූව මධ්‍ය විද්‍යාලයේ ආදි සිසුවෙකි. 1967 පැවති පාසල් ක්‍රීඩා උළෙලේ දී දැක්වූ විශේෂ හැකියාවන් නිසාවෙන් 1968 වසරේ ජාතික ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට ඔහු වරම් හිමිකර ගත්තේය.

ක්‍රීඩාව වෙනුවෙන් දැක්වූ කැපවීම, උත්සාහය නිසාම 1972 දී ජර්මනියේ පැවති මියුනික් ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 හා 200 ධාවන ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ඔහු සමත්විය. එහි දී ඔහු මීටර් 200 තත්පර 21.31 වේගයෙන් අවසන් කරමින් ආසියාවේ වේගවත්ම ධාවන ශූරයා වීමට සමත් විය.

1974 දී ඉරානයේ ටෙහෙරාන් නගරයේ පැවති ආසියාතික තරගයේ දී ඔහු නියෝජනය කළ කණ්ඩායම මීටර් 4004 සහය දිවීමේ ඉසව්ව, නව ආසියානු වාර්තාවක් තබමින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව තවදුරටත් ලොව තුළ ස්ථාපිත කරමිනි.

කුඩා කල “ජෝසාගේ යක්ෂ පැටියා” නමින් හැඳින්වූ මොහු සිය කුඩා අවධිය සිහි කළේ මෙලෙසයි.

සාමාන්‍යයෙන් පුහුණුකරුවෙක් විදියට ක්‍රීඩකයෙක් තෝරා ගන්න කොට ඔහු ඇවිදින්නේ සාන්තව නම් බලන්නේ ආදරෙන් නම් මම හිතන්නේ ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් නෙමෙයි.

පුංචි කාලේ මම බොහොම දඟ දරුවෙක්. එ් නිසා තමයි මට ඔය නම කියන්නේ. මගේ තාත්තයි අම්මයි මම කරපු දේවල් නිසා ඒ කාලේ මාව කොළඹට ගෙනත් තියෙනවා මගේ ඔළුව පරීක්ෂා කරලා බලන්න. මම හිතන්නේ එකෙන් කියවෙන්නේ මගේ දඟකාරකම සහ නොහික්මුණුකම ගැන තමයි.”

අද වන විට මොහු ශ්‍රී ලංකාවේ ආසියානු මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහි කළ ප්‍රවීණ පුහුණුකරුවෙකි. තවද බටහිර ජර්මනියේ දී පුහුණුකරුවෙකු ලෙස ක්‍රීඩාව පිළිබඳව හැදෑරූ පුහුණුකරුවෙකි.

ඒවායින් ලද අත්දැකීම් හා නිරන්තර පුහුණුව හරහා ධාවන ඉසව්වලින් වාර්තා බිහි කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට සාර්ථක පුහුණුකරුවෙකු වීමට ඔහුට හැකි විය.

ක්‍රීඩා ප්‍රතිරූ – ආසියාවේ කළු වෙළඹ දමයන්ති දර්ශා

කොළඹවිතානගේ දමයන්ති දර්ශා 1975 පෙබරවාරි 13 වැනිදා පවුලේ වැඩිමහල් දරුවා ලෙස මෙලොව එළිය දුටුවාය…

එතැනින් නොනැවතුනු සුනිල් ගුණවර්ධනයන්, ආධුනික මලල ක්‍රීඩා සංගමයේ උපසභාපති ලෙසත්, 2000 වර්ෂයේ මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙසත්, ඔලිම්පික් කමිටුවේ නියෝජ්‍ය සභාපති හා දකුණු ආසියානු සංගමයේ උප සභාපති ලෙසත් කටයුතු කරමින් ක්‍රීඩා පරිපාලන කටයුතු හා සම්බන්ධ වී ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාව ලොව ඉදිරියේ ඔසවා තැබීමට කටයුතු කරන ලදි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ වර්තමාන මලල ක්‍රීඩාව ගැන සතුටු නොවන බවයි.

“අද වන විට දකුණු ආසියාවෙන් එහාට අපේ මලල ක්‍රීඩාවට යන්න බැරි වෙලා තියෙනවා. අපි 1994 පටන් ගත්ත වැඩසටහනින් 2002, 2004 වර්ෂ වල දී අපි කරදරයක් නැතුව ආසියාව ජයග්‍රහණය කළා, වාර්තාවන් පිහිටුවා. හැබැයි අද දකුණු ආසියාවෙන් එහාට යන්න බැරි වෙලා තියෙනවා.

2000 ඔලිම්පික් ගියේ A ශ්‍රේණියේ ක්‍රීඩකයෝ 14 දෙනෙකුත් එක්ක. අද කාලේ B ශ්‍රේණියේවත් නැති ක්‍රීඩකයෝ තමයි බොහෝ වෙලාවට සහභාගී වෙලා තියෙන්නේ.

දැන් අපිට A ශ්‍රේණියෙවත් B ශ්‍රේණියෙවත් ක්‍රීඩකයෝ නැහැ. අද ඔලිම්පික් ගිහිල්ලා ආසියාව දිනන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නේ ගමේ. ඉතිං ඉස්සර අපි කළේ ගමේ ඉන්න මේ දක්ෂ දරුවෝ කොළඹට ගෙනල්ලා ඒ අයට ඕන කරන මූලික පහසුකම් දීපු එක. අද වෙලා තියෙන්නේ ඒ දරුවෝ මෙහාට එවන්නේ නැහැ.”

එවන් වූ පසුබිමක් තිබෙන මොහොතක සුනිල් ගුණවර්ධනයන් පාසල් දරුවන් හා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ තම පුහුණුකරුවා ජාත්‍යන්තර වශයෙන් ජය ගත් ‍පුද්ගලයෙක් ද, වෙනත් රටක මේ පිළිබදව හැදෑරූ කෙනෙක් ද, එසේත් නැතිනම් ජාත්‍යන්තරයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කළ පුහුණුකරුවෙක් ද යන්න සොයා බලන ලෙසත්, ‍ඒ වගේම තම දරුවාට ජාත්‍යන්තර දක්ෂතාවයක් ඇත්නම් දරුවා කොළඹ වැනි පහසුකම් ඇති ස්ථානයකට එවා දක්ෂ පුහුණුකරුවන් හ‍ට තම දරුවා භාර දෙන ලෙසයි.

තවද “සුගත්, සුසන්තිකා, දර්ශා මෙයාලට වාහන අරන් දුන්නේ දිනන්න කලින්. ගෙවල් අරන් දුන්නේ දිනන්න කලින්. එහෙම වැඩපිළිවෙළක් ඉස්සර තිබුණා. අදත් එ්ක කරන්න පුළුවන්. මම එ් ගැන ක්‍රීඩා ඇමතිතුමන්ට යෝජනා කරනවා. කරුණාකරලා මේ කාර්යය කරන්න. ගමේ පුංචි පැටව් අහක යන්න දෙන්න එපා. ආසියාව දිනන එක ලේසි නැහැ. අද අපේ රටේ එක පිට්ටනියක්වත් නැහැ. ළමයින්ට පුහුණු වෙන්න කෘතිම ධාවන පථයක් නැහැ. ඒවා කැඩිලා බිඳිලා ගිහිල්ලා.”

>> තවත් සාකච්ඡා කළ මාතෘකා බොහෝයි. නරඹන්න සම්පූර්ණ වීඩියෝව