අප්‍රේල් 04 : සාහසික වෙඩි පහරකින් මාටින් ලූතර් කිං ජීවිතක්ෂයට පත් වේ.

 

1968 වසරේ අද වැනි දවසක සාහසික වෙඩි පහරකින් මාටින් ලූතර් කිං ජීවිතක්ෂයට පත් විය. 

"මට සිහිනයක් තිබේ - මගේ දරුවන් හතර දෙනා ඔවුන්ගේ සමේ පැහැයෙන් නොව , චරිතයේ හරයෙන් මනින්නා වූ දේශයක ජීවත් වන ආකාරය මම එ සිහිනයෙන් දකිමි. මට සිහිනයක්‌ තිබේ - යම් දවසක ජෝර්ජියාවේ රතු කඳු මුදුනෙහි අතීත වහලුන්ගේ දරුවන් සහ අතීත වහල් හිමියන්ගේ දරුවන් එක මේසයක්‌ වටා සහෝදරත්වයෙන් එක්‌ රොක්‌ වී ප්‍රීතියෙන් සිටිනු දැකීම මගේ එ සිහිනයයි." 1963 අගෝස්තු 28 වැනි දා වොෂිංටන් නුවර ලින්කන් අනුස්මරණ ශාලාව ඉදිරිපස දී මාර්ටින් ලූතර් කිං හෙවත් කළු සුදු භේදයෙන් පීඩාවට පත් වී සිටි තිස් හතර හැවිරිදි කළු ඇමරිකානුවා එලෙස තම සාමකාමී ආවේගය වදන් වලට මුසු කළේය. දෙලක්ෂ පනස් දහසකට අධික ඇමරිකානුවන් සංඛ්‍යාවක් සහභාගී වූ , මිනිත්තු දහ හතක් පුරා දිව ගිය ඒ මනනන්දනීය දේශනය යම් තාක් දුරකට ඵල දරමින් ඊ ළඟ වසරේදී සිවිල් අයිතිවාසිකම් පනත සම්මත විය.
මාටින් ලූතර් කිං : සුදෝ සුදු සිහින හඹා ගිය කළු මිනිසා 
පූජකයෙකුගේ දරුවෙකු ලෙස උපත ලද හෙතෙම 1955 වන විට බොස්‌ටන් විශ්වවිද්‍යාලයෙන් දේවධර්ම ආචාර්ය උපාධිය ද හදාරා තම පියාගේ දේවස්ථානයෙහිම උප ප්‍රධාන පූජකවරයා ලෙස කටයුතු කළේය. ඔහුගේ බිරිඳ කොරෙටා ස්කොට් කිං (Coretta Scott King) ය. දරුවන් සිව් දෙනෙකි. ඒ සියල්ලම මධ්‍යයේ ඔහු සමාජ සේවය උදෙසා නොතිත් කැපවීමෙන් කටයුතු කළේය.
මොන්ටිගෝමරි බස් වර්ජනය යනු වර්ණභේදවාදය ට එරෙහිව මාටින් ලූතර් කිංගේ පළමු වෙඩි මුරයයි. 1955 දෙසැම්බර් මස පළමු වැනි දින රෝසා පාර්ක්ස් (Rosa Parks) විසින් සුදු ජාතිකයෙකුට තම අසුන පිරි නැමීම ප්‍රතික්ෂේප කිරීම මෙම විප්ලවයේ මුල්ම වෙඩි මුරය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇයව සිරභාරයට ගැනේ. මාටින් ලූතර් කිං ගේ නායකත්වයෙන් බස් වැරුමක් දියත් විය. කළු ඇමරිකානුවන් දින 368 ක්‌ තිස්‌සේ අන්‍යොන්‍ය සහයෝගයෙන් යුතුව තම ගමන් බිමන් සඳහා බයිසිකලය හෝ කාරය පාවිච්චි කළහ. බස් ප්‍රතික්ෂේප කළහ. මේ සමගම මාටින් ලූතර් කිං ට එරෙහිව ඇමරිකානු බලාධිකාරියත් , වරලත් පාතාලයත් ක්‍රියාත්මක වෙයි. අත් අඩංගුවට ගැනීම් , බෝම්බ ප්‍රහාර , දේපළ හානි මැද මාටින් ලූතර් කිං මෙහෙයවූ සටන ජය ලැබීය. එතෙක් ඇලබාමාව තුළ ක්‍රියාත්මක වෙමින් තිබූ වර්ණය මත බස් රථ ආසන වෙන් කර තැබීම එක්‌සත් ජනපද මහාධිකරණය විසින් තහන්ම් කරනු ලැබිණ.
අනතුරුව එළඹෙන භීම සමය තුළ ලූතර් කිං ජාත්‍යන්තර අවධානයටත් ඇමරිකානු රාජ්‍ය උදහසටත් ලක්වේ. 1962 දී බර්මිංහැම් මෙහෙයුමට පොලිස් ප්‍රහාර එල්ල වූ අතර අධි පීඩන ජල විදින සහ පොලිස් සුනඛයින් ලවා කළු ජාතිකයින්ව ම්ලේච්ඡ ලෙස මැඩලූහ. 1963 වසරේ දී ඔහු ලෝ ප්‍රකට I have a dream දේශනය පවත්වන්නේය. සිවිල් අයිතිවාසිකම් පනත සම්මත කරගන්නේය. ඉන් නොනැවතී 1964 වසරේ දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබන්නේය.
මාටින් ලූතර් කිං : මරණයේ දොරකඩ අබියස 
1968 වසරේ අප්‍රේල් මස 04 වැනිදා මෙම්ෆිස්‌ නගරයෙහි ලෝරයින් හෝටලයට තවත් දවසක් උදා විය. තිස් නම හැවිරිදි මාටින් ලූතර් කිං එවිට තුන්සිය හය වැනි කාමරයේ සඳලු තලයේය. ඝාතක ඡේම්ස්‌ අර්ල් රේ ක්‍රියාත්මක වී තිබිණ. ඔහුගේ ඉලක්කය මේ මිනිසුන්ට ආදරය කළ ආදරණීය මිනිසාගේ ගෙල හරහා සිරුරට පිවිස හක්‌ක පසාරුකරමින් කොඳු ඇට පෙළටද හානිකරමින් උරහිස දක්‌වාම මරණීය ගමනක යෙදී තිබිණ. 

ඇමරිකා එක්සත් ජනපදයට තවත් දිනක් ගෙවී යද්දී මාටින් ලූතර් කිං සදාකාලික නින්දට වැටුණි.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. ඇත්තටම ඔහුව ඝාතනය කලේ "රේ" ම යන්න කෙරෙහි සැකයක් තියෙනවා නේද? ඇමෙරිකානු බුද්ධි අංශත් මේ ඝාතනයට සම්බන්ධ බවට විස්වාසයක් තියෙනවා.

    ReplyDelete