ශ්‍රී ලංකා බලාපොරොත්තු වර්ෂාවට සේදී යයි

585
slvban 2nd odi match report.

පසුගිය සෙනසුරාදා බංගලාදේශයට එරෙහිව පැවැත්වූ තරගයේ දී මව්බිමේදීම ලැජ්ජා සහගත පරාජයකට මුහුණ දීමට සිදු වූ ශ්‍රී ලංකා පිළ, අද (28) ‍රංගිරි දඹුලු ක්‍රීඩාංගණයට පිවිසියේ කෙසේ හෝ කලින් තරගයේ දී සිදු වූ වැරදි නිවැරදි කර ගැනීමේ අටියෙනි. නමුත් එම සියලු බලාපොරොත්තු වලට එරෙහි වූ කාලගුණය අද ශ්‍රී ලංකාවට වැඩි වාසියක් හිමිව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු තරගයක් බවට පරිවර්තනය කළේය.

අසලංකගේ ශතකය ඇෆ්ගනිස්තානය අසරණ කරයි

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වුනු යොවුන් ක්‍රිකට් තරුවක් වන චරිත් අසලංක වාර්තා කළ විශිෂ්ට ශතකය හේතුවෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම…

ශ්‍රී ලංකා නායක උපුල් තරංගගේ 200 වැනි එක්දින තරගය වූ අද තරගයේ දී කාසියේ වාසිය ජය ගැනීමට තරම් ඔහු වාසනාවන්ත විය. කලින් තරගයේ දී පිතිකරුවන්ට උචිත තණතීරුවක නිශ්චිත හේතුවකින් තොරව පන්දු යැවීම තෝරාගෙන ඉගෙන ගත් පාඩම නිසා මෙවර ඔහු මුලින් පිතිකරණයේ යෙදීම තෝරා ගත්තේය. කලින් තරගයේ දී කණ්ඩායමේ තිබූ ගැටලු ද සෑහෙන දුරකට නිරාකරණය කර ගනිමින් තේරීම් කමිටුව ද හොඳ කණ්ඩායමක් අද තරගය සඳහා නම්කර තිබුණි. ඒ වේග පන්දු යවන්නන් වන නුවන් කුලසේකර සහ නුවන් ප්‍රදීප්ව නැවතත් කණ්ඩායමට ඇතුළත් කරමිනි. ඔවුන්ගේ ප්‍රවේශය සිදුවූයේ කලින් තරගයට සහභාගි වුනු ලක්ෂාන් සඳකැන් සහ ලහිරු කුමාර වෙනුවටයි. මීට අමතරව සචිත් පතිරණ වෙනුවට දිල්රුවන් පෙරේරා කණ්ඩායමට පැමිණ තිබුනේ වමත් පිතිකරුවන් රැසකින් සමන්විත බංගලාදේශ පිතිකරණ බල ඇණිය බිඳ දැමීමේ අරමුණෙනි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ වමත් පිතිකරුවන් වන ධනුෂ්ක ගුණතිලක සහ උපුල් තරංග අද පළමු කඩුල්ල වෙනුවෙන් ඉක්මනින් ලකුණු 18ක් එක් කළත් ධනුෂ්කගේ කලබලකාරී පිතිකරණය නිසා බංග්ලාදේශ නායක මෂ්රාෆි මොර්ටාසාට ඉනිමේ ප්‍රථම කඩුල්ල හිමිවිය. පෙර පන්දුවට මිඩ්-ඕන් කලාපය හරහා දර්ශනීය ඩ්‍රයිව් පහරක් එල්ල කර තිබූ ධනුෂ්ක (09) මොර්ටාසාගේ සුරතින් ගිලිහුණු වේගය අඩාල කළ මීළඟ පන්දුවට වැරෙන් පුල් පහරක් එල්ල කිරීමට යාමේ දී මුෂ්ෆිකර් රහීම් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

ඉන් අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක සාර්ථක සබඳතාවයක් ගොඩ නංවන්නට නායක උපුල් තරංග සමඟින් එක්වුණු යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් විය. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවන් සබඳතාවයක් වාර්තා කරන බොහෝ අවස්ථාවල දී මෙන් අද දිනයේදී ද නායක උපුල් තරංග (65) දුවද්දී දැවී යාමකට හසුවිය. ඒ නොසැලකිලිමත් ලෙස කඩුලු අතර දුව යන අතරතුරේ දී පන්දුව අහුලා ගත් මහමදුල්ලා එය කෙලින්ම කඩුල්ල වෙත යොමුකල බැවිනි.

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් අද කලකට පසුව සැලකිලිමත් ලෙස පිතිකරණයේ යෙදුනු අතර චන්දිමාල් ලකුණු 24ක් ද, ගුණරත්න ලකුණු 39ක් සහ සිරිවර්ධන ලකුණු 30ක්  ද රැස් කර ගැනීමට සමත් වූහ. ඔවුන්ගේ මෙම දායකත්වය නිසාවෙන් ශ්‍රී ලංකාවට ඉනිම අවසානයේ දී ලකුණු 311ක් රංගිරි දඹුලු ලකුණු පුවරුව මත සටහන් කිරීමට අවස්ථාව ලැබුණි. කෙසේ වෙතත් පන්දුවාර 36යි පන්දු 3ක් ගත වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 212කට කඩුලු 2ක් ලෙස දිස්වූ අතර ශ්‍රී ලංකාවට ලකුණු 330ක් පමණ රැස් කිරීමට අවස්ථාවක් නිර්මාණය වී තිබුණි. නමුත් අවසන් පන්දුවාර 10 තුළ දී දිගින් දිගටම කඩුලු බිඳ වැටීම නිසා එම බලාපොරොත්තු සුන්විය.

ශ්‍රී ලංකා ඉනිම එකට එක්කොට තැබූ දකුණත් යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් අද තම ප්‍රථම එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වීම දිනයේ කැපී පෙනෙන සිදුවීම බවට පත්විය. ඒ සමඟින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම වයසකින් එක්දින ශතකයක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වන්නට යන්තම් 22වැනි විය ඉක්මවූ කුසල්ට හැකි විය. හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වූ ඔහුගේ ඉනිමට පන්දු 107ක් පමණක් වැය විය.

ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙකුම අද දුවද්දී දැවී යාම් වලට හසුවීම කණ්ඩායමට බරපතල පාඩුවක් බවට පත්විය. ඒ අතුරින් කලින් තරගයේ දී සාර්ථක වුනු තිසර පෙරේරා ඉතාමත් නොසැලකිලිමත් ලෙස දුවද්දී දැවී යාමකට හසුවීම ශ්‍රී ලංකා පිළේ ලකුණු වේගය වැඩි කර ගැනීමට තිබූ හොඳම අවස්ථාවක් අහිමි කළේය. කෙසේ වෙතත් ඉනිමේ අවසන් භාගයේ දී අසේල ගුණරත්න නැණවත් අන්දමින් පිතිකරණයේ යෙදෙමින් පන්දු 28ක් තුල රැස් කර ගත් ලකුණු 39 නිසා එම අඩුපාඩුව යම් තරමක් දුරට මැකී ගියේය.

අවසන් පන්දුවාරයේ දී ක්‍රියාත්මක වුනු දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි අසේල ගුණරත්න, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කීවේය. එය ජාත්‍යන්තර එක්දින තරග වල 41 වැනි කඩුලු ත්‍රිත්වය ලෙස ද, බංග්ලාදේශ ක්‍රීඩකයෙකු ලබා ගත් පස්වැනි එක්දින කඩුලු ත්‍රිත්වය ලෙස ද වාර්තා පොත් අතරට එක්විය.

ශ්‍රී ලංකා ඉනිමෙන් අනතුරුව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයට දැඩි වර්ෂාවක් ඇද හැලුණු අතර බංග්ලාදේශයට එකදු පන්දුවකට හෝ මුහුණ දෙන්නට හැකි නොවීය. රාත්‍රී කාලය එළඹෙන තෙක්ම නොකඩවා ඇද හැලුණු වර්ෂාව නිසා තරගය අත්හැර දමන්නට තරග තීරකවරයා කටයුතු කළේය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට තරගාවලිය ජය ගැනීමේ අවස්ථාව ගිලිහී ගිය අතර තරගාවලිය පරාජය නොවී සිටීමට නම් අප්‍රේල් පළමු වැනිදා පැවැත්වෙන එක්දින තරගය අනිවාර්යයෙන්ම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇත.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 311 (පන්දුවාර 49.5): කුසල් මෙන්ඩිස් 102, උපුල් තරංග 65, අසේල ගුණරත්න 39, මිලින්ද සිරිවර්ධන 30, දිනේෂ් චන්දිමාල් 24, ටස්කින් අහමඩ් 4/47, මෙහෙදි හසන් 1/50.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට