අසලංකගේ ශතකය ඇෆ්ගනිස්තානය අසරණ කරයි

3148
U23 Asia Cup Sri Lanka XI v Afghanistan XI

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වුනු යොවුන් ක්‍රිකට් තරුවක් වන චරිත් අසලංක වාර්තා කළ විශිෂ්ට ශතකය හේතුවෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 35කින් පරාජය කිරීමට අද (28) ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට හැකි විය. ඒ අනුව මීළඟ වටයට පිවිසීම සඳහා බලාපොරොත්තු තබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ.

අප්‍රාජිත්ගේ ශතකය ශ්‍රී ලංකාවට පරාජය උරුම කරයි

ආසියානුකරයේ අසල්වාසි රටවල් 8ක් එකම කුසලානයක් වෙනුවෙන් උරෙනුර ගැටී තරඟ වදින, නැගී එන එක්දින ක්‍රිකට් තරඟාවලිය අද (27) බංගලාදේශයේ චිතගොං නුවරදී ආරම්භ විය.

අද චිතගොං තණතීරුව මත දී ඉහළ නැගුණු කාසිය ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ පෙරේරාට වාසිය හිමිකර දෙමින් පෙරලී යද්දී ඔහුගේ තීරණය බවට පත්වූයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමයි. එයට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ කණ්ඩායමේ තමන්ට හිමි වගකීම මැනවින් තේරුම් ගනිමින් සාර්ථක පිතිකරණයක නිරත වූහ. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 320ක් කරා ඇදී ගියේය.

පාසල් ක්‍රිකට් තරගවල දී සහ ජාත්‍යන්තර යොවුන් තරගවල දී සුවිශේෂී දක්ෂතා දක්වා මේ වන විට ජාතික කණ්ඩායමේ දොරටුව අසලට පැමිණ සිටින චරිත් අසලංක අද දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වෙමින් පන්දු 96ක දී ලකුණු 105ක් රැස් කළේය. ඔහුගේ මෙම ඉනිම දැකුම්කළු හතරේ පහර 8කින් සහ දැවැන්ත හයේ පහර 2කින් වර්ණවත් විය.

ඔහුට අනගි සහයක් ලබා දුන් ඇන්ජෙලෝ පෙරේරා නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 84ක් රැස් කළේය. ඔවුන් දෙදෙනා අද සිව්වැනි කඩුල්ල වෙනුවෙන් එක්කල ලකුණු 183ක සුපිරි සබඳතාවය ශ්‍රී ලංකා පිළ දැවැන්ත ලකුණක් කරා රැගෙන යාමට සවිමත් අඩිතාලමක් බවට පත්විය. ශෙහාන් ජයසූරිය අද පිටියට පැමිණි මොහොතේ සිටම විශාල පහරවල් කරා යොමුවෙමින් පන්දු 34ක් තුල දී රැස්කල ලකුණු 42 ද අනෙකුත් පිතිකරුවන්ට පීඩනයෙන් මිදීමට උපකාරී විය.

අද සන්ධ්‍යා කාලය එළැඹෙන තුරාවටම වෙහෙසකර කාල සීමාවක් ගෙවා දැමූ ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් අතරින් දකුණත් වේග පන්දු යවන ක්‍රීඩකයින් වන නවීන් උල්-හක් සහ ෆසාල් නියාසායි කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වූහ. නමුත් ඔවුන් දෙදෙනාට ද අද ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල සංග්‍රහයක් හිමිවිය. ඉනිමේ බිඳ වැටුනු ඉතිරි කඩුලු 2 අශ්‍රාෆ් සහ නයිබ් අතරේ බෙදී ගියේය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබා දුන් ලකුණු 321ක අසීරු ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්තාන පිතිකරුවන් සැලකිය යුතු තරම් හොඳ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ද ඔවුන්ගේ පන්දු යවන්නන්ගෙන් ගිලිහී ගොස් තිබූ විශාල ලකුණු ප්‍රමාණය පසුකර යන්නට එය ප්‍රමාණවත් නොවීය. ජාත්‍යන්තර තරග රාශියකට සහභාගි වී අත්දැකීම් සහිත වමත් පිතිකරු නජිබුල්ලා සද්රාන් ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කරා ගෙන යාමට ප්‍රබල වෙහෙසක් දැරූවද එය සාර්ථක නොවීය. කෙසේවෙතත් හතරේ පහර 5ක් සහ දැවැන්ත හයේ පහර 8ක් සමගින් ඔහු රැස්කල ප්‍රවේගකාරී ලකුණු 87 ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සටන්කාමීත්වය පෙන්නුම් කල නිදසුනක් බවට පත්විය.

නජිබුල්ලාගේ විශිෂ්ට ඉනිමත් ශහිදුල්ලා සහ ඉසනුල්ලා වාර්තා කල අර්ධ ශතක දෙකත් නිසාවෙන් ඇෆ්ගනිස්තානයට ලකුණු 285ක් රැස්කර ගැනීමට හැකියාව ලැබුනත් ලකුණු 35ක ජයග්‍රහණය ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට හිමිවිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අෆොන්සු කඩුලු 3ක් බිඳ හෙලද්දී අසිත ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

මෙම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් තබා ගැනීමට අවස්ථාව හිමි වූවත් ඊයේ ඉන්දියාව හමුවේ ලැබූ පරාජය නිසා ශ්‍රී ලංකාවට මේ වනවිට A කාණ්ඩයේ හිමිව තිබෙන්නේ තෙවැනි ස්ථානයයි. සහභාගි වූ තරග දෙකම ජයගෙන ඉන්දියාව පළමු ස්ථානයේ රැඳී සිටින අතර දළ ලකුණු වේගය අතින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවේ.

එබැවින් ඇෆ්ගනිස්තානය පරයා අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාවට අනිද්දා (30) මැලේසියාව සමග පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කල යුතුව තිබේ. B කාණ්ඩයේ කිසිදු අන්දමක පෙරළියක් සිදු නොවූ අතර ඔවුන්ගෙන් පාකිස්තානය සහ බංගලාදේශය අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – කඩුලු 6ක් දැවී ලකුණු 320 (පන්දුවාර 50): චරිත් අසලංක 105, ඇන්ජෙලෝ පෙරේරා 84, ශෙහාන් ජයසූරිය 42, රොන් චන්ද්‍රගුප්ත 32, නවීන් උල්-හක් 2/66, ෆසාල් නියාසායි 2/70.

ඇෆ්ගනිස්තාන නැගී එන කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 285 (පන්දුවාර 47.1): නජිබුල්ලා සද්රාන් 87, ශහිදුල්ලා 53, ඉසනුල්ලා 53, ‍යූනස් අහමඩ්සායි 38, අමිල අෆොන්සු 3/40, අසිත ප්‍රනාන්දු 2/52, චාමික කරුණාරත්න 2/65.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට