අප්‍රාජිත්ගේ ශතකය ශ්‍රී ලංකාවට පරාජය උරුම කරයි

1341
baba-aparajith

ආසියානුකරයේ අසල්වාසි රටවල් 8ක් එකම කුසලානයක් වෙනුවෙන් උරෙනුර ගැටී තරඟ වදින, නැගී එන එක්දින ක්‍රිකට් තරඟාවලිය අද (27) බංගලාදේශයේ චිතගොං නුවරදී ආරම්භ විය. එහිදී ඉන්දියානු කණ්ඩායමට එරෙහිව පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවන්ත ලෙස ලකුණු 35කින් පරාජය බාර ගැනීමට සිදුවිය.

පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරන්න “නුවන්ලා” සංචිතයට

දඹුල්ලේ දී හෙට (28) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවන එක්දින තරගයට පෙරාතුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අංශය ශක්තිමත් කිරීම සඳහා නුවන් කුලසේකර සහ නුවන් ප්‍රදීප් කණ්ඩායම වෙත කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත…

අද උදෑසන චිතගොං තණතිල්ලේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ පෙරේරා පන්දු යවන්නන්ගෙන් ලැබිය හැකි ආරම්භක වාසියක් ගැන අපේක්ෂාවෙන් මුලින් පන්දුවට පහර දීම සඳහා ඉන්දියාවට ඇරයුම් කලද එම තීරණය සිතූ තරම් සාර්ථක වූයේ නැත. ඒ ඉන්දියානු පිතිකරුවන් ඉනිම පුරාවට යහපත් ලකුණු සබඳතා ගොඩ නැගීමට සමත් වූ බැවිනි. යොවුන් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අද පළමු ඉන්දියානු කඩුල්ල ලකුණු 9යේදී බිඳ දැමීමට සමත් වූ නමුත් එම ජයග්‍රාහී ආරම්භය ඉදිරියට පවත්වාගෙනට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අපොහොසත් වූහ.

ඉන්දියානු ඉනිමේ දෙවැනි සහ තෙවැනි කඩුලු වෙනුවෙන් අර්ධ ශතක සබඳතා දෙකක් වාර්තා වූ බැවින් ඔවුන්ට තරඟයේ වාසිය ලබා ගැනීමට හැකි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ බරපතලම තර්ජනය වූයේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ඉන්දියානු ක්‍රීඩකයන් ගොඩ නැගුණු විශිෂ්ට සබඳතාවයයි. එහිදී දකුණත් පිතිකරු බාබා අප්‍රාජිත් සහ ඉන්දියානු යොවුන් ක්‍රීඩකයන් අතුරින් කැපී පෙනෙන තරුවක් වන හනුමා විහාරි අතර ගොඩ නැගුනු විශිෂ්ට සබඳතාවය ලකුණු 119ක් දක්වා ඇදී ගියේය.

හනුමා විහාරි හතරේ පහර 6ක් සමගින් ලකුණු 56ක් රැස් කරගත් අතර ආරම්භක පිතිකරු ශිවම් චෞද්‍රි අද අර්ධ ශතකයකින් තම කණ්ඩායම බල ගැන්වීය. මේ සියල්ලන් අතර සුපිරි තරුව බවට පත්වූ ඉන්දියානු නායක බාබා අප්‍රාජිත් සුපිරි පිතිකරණයක නිතර වෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 100ක් රැස්කර ගත් අතර ඔහුගේ එම වේගවත් ඉනිමට වැයවූයේ පන්දු 91ක් පමණි.

පිතිකරුවන් දැක්වූ මෙම දක්ෂතා නිසා ලකුණු 288ක් දක්වා මුළු ලකුණු ප්‍රමාණය ඉහළ දමා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුනු අතර ඒ වනවිට ඉන්දියානු පිතිකරුවන් 9 දෙනෙකු නැවත ක්‍රීඩාගාරයට හැරී යාමට සිදුව තිබුණි. ශ්‍රී ලංකාවට යම් තරමක සහනයක් ගෙන දුන් වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අෆොන්සු සහ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වූහ.

ජයග්‍රහණය ලැබීම සඳහා ලකුණු 289ක අසීරු ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිළේ පළමු කඩුල්ල ලෙස අද රොන් චන්ද්‍යගුප්ත තම ලකුණු ගිණුම අරඹන්නටත් පෙර දැවී යාම කණ්ඩායමේ පීඩනය දෙගුණ තෙගුණ කිරීමට හේතුවිය. නමුත් තත්ත්වය මැනවින් පාලනය කල ශෙහාන් ජයසූරිය සහ චරිත් අසලංක තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89ක සබඳතාවයක් පිහිටුවීම නිසා ශ්‍රී ලංකාවට යළිත් තරගය පිලිබඳ සුබවාදී බලාපොරොත්තු දල්වා ගැනීමට හැකිවිය.

නමුත් ඉන්දියානු පන්දු යවන්නන්ගේ දක්ෂතාවයත්, ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන්ගේ අසාර්ථක පිතිකරණය නිසාත් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ ලකුණු 253ක් වශයෙන් සටහන් විය. කෙසේවෙතත් අසලංකගේ පිත්තෙන් ගලා ආ ලකුණු 68ත්, ප්‍රවේගකාරී පිතිකරණයක නියැලුණු ශෙහාන් ජයසූරිය පන්දු 60ක් තුළදී රැස්කල ලකුණු 64ත් නිසා ශ්‍රී ලංකාව ලද පරාජය යම් තරමක ගෞරවාන්විත පරාජයක් විය.

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක අස්වින් ක්‍රිස්ට් සහ වමත් වේග පන්දු යවන ක්‍රීඩක කණිශ්ක් සෙත් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. රාහුල් චහාර් කඩුලු 2යි. ඒ අනුව ශ්‍රී ලංකා පිළ ලකුණු 35කින් පරාජය කල ඉන්දියානු නැගී එන කණ්ඩායමට තරගාවලිය ජයග්‍රාහී ආරම්භයක් තැබීය. තරගාවලියේ අද පැවැත්වුනු අනෙකුත් තරග වලදී සත්කාරක බංගලාදේශය, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය ජයග්‍රහණ ලබා ගත්හ.

ඉන්දියාව – කඩුලු 9ක් දැවී ලකුණු 288 (පන්දුවාර 50)
බාබා අප්‍රාජිත් 100, ශිවම් චෞද්‍රි 56, හනුමා විහාරි 56, අමිල අෆොන්සු 2/42, චාමික කරුණාරත්න 2/57.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 253 (පන්දුවාර 48.2)
චරිත් අසලංක 68, ශෙහාන් ජයසූරිය 64, වනිඳු හසරංග 38, කණිශ්ක් සෙත් 3/53, අස්වින් ක්‍රිස්ට් 3/55.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට