කොළඹ කොල්ලන් පරාජය කරමින් ජයග්‍රහණය ගාල්ලට

2765
U19 Schools L/O Final

සිංගර් අන්තර් පාසල් සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) කොළඹ වෙස්ලි විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවති අතර එම තරගයෙන් කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ගාල්ල රිච්මන්ඩ් විදුහල සමත් විය. ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව රිච්මන්ඩ් ක්‍රීඩකයෝ ජයග්‍රහණය වාර්තා කළේ කඩුලු 8කිනි.

රුහුණු නිල් මහා සටන ජය පරාජයෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ දෙවන දීර්ඝතම ඉතිහාසය ට හිමිකම් කියනු ලබන පාසල් මහා ක්‍රිකට් තරඟය වන මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය…

අවසන් පූර්ව වටයේ තරග වල දී, තර්ස්ටන් විද්‍යාලය විසින් කොළඹ නාලන්ද විද්‍යාලයත්, රිච්මන්ඩ් විද්‍යාලය විසින් කුරුණෑගල මලියදේව විද්‍යාලයත් පරාජය කරමින් ජයග්‍රාහකයෝ අවසන් මහා තරගයට පිවිසෙන ලදි.

කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් විද්‍යාලය පළමුව පිතිකරණය සඳහා පිටියට පිවිසි අතර, ආරම්භක පිතිකරුවන් දෙපලම ලකුණු 30ක් වන විට දවා ගැනීමට තිලංග උදේශණ සමත් විය. අනතුරුව පිටියට පැමිණි යෙශාන් වික්‍රමාරච්චි පන්දු 34ක දී වේගවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 37ක් රැස්කර ගන්නා ලදි. එම ඉනිමට 4 පහර 6ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය.

ලකුණු 59ක් වන විට කඩුලු 4ක් දවා ගනිමින් තර්ස්ටන් විද්‍යාලයේ මුල්පෙළ පිතිකරුවන් අතික්‍රමණය කළ රිච්මන්ඩ් පන්දු යවන්නන්ට එදිරිව 5 වන කඩුල්ල සඳහා චරණ නානායක්කාර හා එක්වූ නිපුන් ලක්ෂාන්  ලකුණු 52 සබඳතාවයක් ගොඩනංවමින් දෙදරා ගිය තර්ස්ටන් ලකුණු පුවරුව යම් මට්ටමකට ගෙන ඒමට සමත් විය. එහි දී නානායක්කාර 4 පහර 3ක් සමඟින් ලකුණු 26කට දැවී යන ලදි. නිපුන්ගේ ඉනිම ද ලකුණු 20කට අවසන් කිරීමට රිච්මන්ඩ් පන්දු යවන්නන් සමත් විය.

අවසන් කඩුලු 4 ලකුණු 30ක් තුල දවාලමින් තම වගකීම මැනවින් ඉටු කල රවිශ්ක විජේසිරි හා තිලංග උදේශණ ඇතුළු රිච්මන්ඩ් පන්දු යවන්නන් ලකුණු 141ක් වැනි අවම ලකුණු මට්ටමකට තර්ස්ටන් පිතිකරුවන් සීමා කිරීමට සමත් වීම විශිෂ්ට දස්කමකි.

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 43ක දී ලකුණු 140 ඉලක්කයක් හිමි වූ රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන්, පිටියට පැමිණි ආරම්භ පිතිකරුවන් යුගලය වන නායක කමිඳු මෙන්ඩිස් හා ආධිත්‍යය සිරිවර්ධනගෙන් සවිමත් සබඳතාවයක් බලාපොරොත්තු වුවද, කමිඳුගේ දුර්වලතා මැනවින් අවබෝධ කරගෙන පන්දු යැවූ චරණ නානායක්කාර කමිඳු ලකුණු 4ක් ලබාගෙන සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට සමත් විය.

සිරිවර්ධන හා එක්වූ ධනංජය ලක්ෂාන් දෙවන කඩුල්ල සඳහා විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් ලකුණු 88ක සබඳතාවයක් ගොඩනැංවූයේ තර්ස්ටන් විද්‍යාලයට ජයග්‍රහණය පිළිබඳව තිබූ සිහිනය තරමක් දුරට බොඳ කරමිනි. එහි දී දෙවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගිය නිපුන් 4 පහර 12ක් සමඟින්, පන්දු 52ක දී වේගවත් ලකුණු 61ක් තම නමට ඉදිරියෙන් සටහන් කරමින් සවිමත් අඩිතාලමක් රිච්මන්ඩ් ලකුණු පුවරුවට යොදවන ලදි.

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 140ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළ අතර, ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි තවිශ් අභිෂේක් එක් 4 පහරක් හා 6 පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 24*ක් හා ආධිත්‍යය සිරිවර්ධන 4 පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 38*ක් රැස්කරගෙන තිබුණි.

පන්දු යැවීමේ දී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් චරණ නානායක්කාර හා එස්. ඩයස් එක් කඩුල්ල බැගින් දවා ගන්නා ලදි.

තරගයේ වීරයා සම්මානය ධනංජය ලක්ෂාන්ට හිමි විය.

තරගයෙන් අනතුරුව ThePapare.com වෙත අදහස් දක්වමින් රිච්මන්ඩ් විද්‍යාලයේ පුහුණුකරු  ධම්මික සුදර්ශන මහතා මෙසේ අදහස් දැක්විය,

“අපේ විද්‍යාලයේ ක්‍රිකට් ඉතිහාසය තුල වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියක දී හිමි කර ගත් පළමු ශූරතාවය මෙයයි, කණ්ඩායමක් වශයෙන් අපි මෙම අවස්ථාව උදා කර ගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ සූදානම් වුනා. අපේ අන්තිම තරග කිහිපය දිහා බැලුවම අපි එක් කඩුල්ලක් හෝ දෙකක් දැවී තරග ජයග්‍රහණය කළ අවස්ථාවන් තියෙනවා. එයින් අපේ තරුණයන්ගේ හැකියාවන් මනාව ප්‍රදර්ශනය වෙනවා. මම පුහුණුකරුවෙක් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ රිච්මන්ඩ් විද්‍යාලය තුලින් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට හැකි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් බිහි කිරීමයි.”

තර්ස්ටන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 141 (පන්දුවාර 38.1): යෙශාන් වික්‍රමාරච්චි 37, චරණ නානායක්කාර 26, නිපුන් ලක්ෂාන් 20, රවිශ්ක විජේසිරි 3/21, තිලංග උදේශන 3/29

රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 2ක් දැවී ලකුණු 140 (පන්දුවාර 25.3): ධනංජය ලක්ෂාන් 61, ආධිත්‍යය සිරිවර්ධන 38*, තවීෂ අභිෂේක් 24*, චරණ නානායක්කාර 1/29, එස්. ඩයස් 1/34

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට