දිල්හාන්ගේ ශතකය නිසා ගාල්ලට දැවැන්ත ජයක්

631
Dilhaan Cooray

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අනතර් දිස්ත්‍රික් එක්දින තරඟාවලියේ තවත් තරඟ 5ක් අද (26) දිනයේදී ක්‍රියාත්මක වූ අතර, එහිදී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන දිල්හාන් කුරේ රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් ගාලු දිස්ත්‍රික් කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථිර වූ අතර අනෙක් තරඟ වලින් ත්‍රිකුණාමලය, කළුතර, මොණරාගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක ජය ලැබූහ.

ඩිල්ශාන්ගේ ශතකය බදුල්ලට ජය ගෙන එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් දිස්ත්‍රික් එක්දින තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (22) ක්‍රීඩාංගණ 7කදී පැවැත්විය. එම තරග වලින් යාපනය, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, බදුල්ල, මන්නාරම සහ මහනුවර යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

ගාල්ල සහ හම්බන්තොට අතර තරගය

දකුණත් පිතිකරු දිල්හාන් කුරේගේ සුපිරි පිතිකරණ දක්ෂතා ගාල්ල දිස්ත්‍රික්කයට දැවැන්ත ජයක් හිමිවීමට හේතු පාදක වූ මෙම තරගය කළුතර සරේ විලේජ් හිදී ක්‍රියාත්මක විය. කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල දිස්ත්‍රික්කය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 354ක් වාර්තා කර ගැනීමට සමත් වූහ. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිල්හාන් කුරේ ලකුණු 139ක් රැස් කළේ හතරේ පහර 17ක් සහ දැවැන්ත හයේ පහරක් තම ඉනිමට අන්තර්ගත කරමිනි. එරංග රත්නායක නොදැවී වේගවත් ලකුණු 84ක් රැස් කරමින් ගාල්ල දිස්ත්‍රික්කයට ලකුණු 350 කඩඉම ඉක්මවන්නට සහාය විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩකයෝ මුලින් වේගවත් පිතිකරණයක යෙදීමට උත්සාහ කල නමුත් අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 136කට සීමා විය. ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ශාලික කරුණානායක කඩුලු 3ක් බිඳ හෙලද්දී රුවන් හේරත් කඩුලු 2කට හිමිකම් කීවේය. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ජය තහවුරු වූයේ ලකුණු 218කිනි.

ගාල්ල – කඩුලු 5ක් දැවී ලකුණු 354 (පන්දුවාර 50): දිල්හාන් කුරේ 139, ශාලික කරුණානායක 43, එරංග රත්නායක 84*, ශෙහාන් හෙට්ටිආරච්චි 2/43, ශෙනාල් ද සිල්වා 2/54.

හම්බන්තොට – සියල්ලන්ම දැවී ලකුණු 136 (පන්දුවාර 32.1): දුලිප් ගයාන් 34, සෙනාල් ද සිල්වා 25, ශාලික කරුණානායක 3/28, රුවන් හේරත් 2/21.


මඩකලපුව සහ ත්‍රිකුණාමලය අතර තරගය

අඩු ලකුණු තරඟයක් වශයෙන් ක්‍රියාත්මක වුනු මෙම තරගයෙන් කඩුලු 3ක ජයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අත්විය. කාසියේ වාසියද දිනාගත් ත්‍රිකුණාමලය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයට අවස්ථාව ලබා දුන්හ. නමුත්ඒ අතරින් සාර්ථක ලකුණු මට්ටමට ඒමට හැකිවූයේ භානුක රාජපක්ෂට පමණි. අනෙක් පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හේතුවෙන් මඩකලපුව ඉනිම ලකුණු 196කට සීමා විය. අනර්ඝ පන්දු යැවීමක නිරත වුනු බුද්ධික සඳරුවන් කඩුලු 4ක් බිඳ හෙලද්දී සුමින්ද ලක්ෂාන් කඩුලු 3ක් දවාලීය.

පිළිතුරු ඉනිම ඇරඹූ ත්‍රිකුණාමලය කණ්ඩායම් පිතිකරුවන්ට සැලකිය යුතු තරමේ පීඩනයක් එල්ල කිරීමට දිනුක හෙට්ටිආරච්චි (4/28) සමත් වූවත් පන්දුවාර 47යි පන්දු 3ක් අවසානයේ අදාළ ඉලක්කය පසුකර යාමට ඔවුන්ට හැකිවූ අතර දිමුත් වරාපිටිය විසින් වාර්තා කළ අර්ධ ශතකය ඒ සඳහා උපකාරී විය. තරගය කොළඹ BRC පිටියේදී ක්‍රියාත්මක විය.

මඩකලපුව – සියල්ලන්ම දැවී ලකුණු 196 (පන්දුවාර 47.4): භානුක රාජපක්ෂ 65, ලක්ෂාන් 37, බුද්ධික සඳරුවන් 4/32, සුමින්ද ලක්ෂාන් 3/25.

ත්‍රිකුණාමලය  – කඩුලු 7ක් දැවී ලකුණු 202 (පන්දුවාර 47.3): දිමුත් වරාපිටිය 52, රාජු ගයාශාන් 44, ලහිරු ශ්‍රී ලක්මාල් 42, දිනුක හෙට්ටිආරච්චි 4/28.


කළුතර සහ ගම්පහ අතර තරගය

ප්‍රතිවාදී ගම්පහ දිස්ත්‍රික්කය පරාජය කර කළුතර දිස්ත්‍රික්කය ලකුණු 72කින් ජයගත් මෙම තරගය පනාගොඩ යුධ හමුදා පිටියේදී පැවැත්වුණි. ගම්පහ ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දුන් කළුතර කණ්ඩායමේ බොහෝ පිතිකරුවන් ලකුණු අතරට ඒමට සමත්වූ අතර අවසානයේ ලකුණු 274ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී පසිඳු ලක්ෂාන් කඩුලු 4ක් බිඳ හෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ගම්පහ දිස්ත්‍රික් පිතිකරුවන්ගේ ඉනිම, කළුතර කණ්ඩායමේ නිපුන දේශාන්, ගයාන් මනීෂාන් ඇතුළු පන්දු යවන්නන් දෙදෙනාගේ දක්ෂතා නිසා ලකුණු 202කට සීමා විය. උදිත ප්‍රනාන්දු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වශයෙන් ලකුණු 47ක් රැස් කළේය.

කළුතර – සියල්ලන්ම දැවී ලකුණු 274 (පන්දුවාර 49.2): සංජය චතුරංග 52, මාධව නිමේෂ් 48, තනුර ප්‍රනාන්දු 3/36, පසිඳු ලක්ෂාන් 4/47.

ගම්පහ – සියල්ලන්ම දැවී ලකුණු 202 (පන්දුවාර 45.2): උදිත් ප්‍රනාන්දු 47, ලහිරු වික්‍රමසිංහ 39, රුක්ෂාන් වීරසිංහ 33, නිපුන දේශාන් 4/38, ගයාන් මනීෂාන් 4/25.


රත්නපුර සහ මොණරාගල අතර තරගය

කඩුලු 4කින් මොණරාගල දිස්ත්‍රික්කයේ ජය තහවුරු වුනු මෙම තරගය කටුනායකදී ක්‍රියාත්මක විය. එහිදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් රත්නපුර දිස්ත්‍රික්කය ලකුණු 151ක් තුලදී දැවී ගිය අතර, ජයග්‍රාහී ඉලක්කය වෙත ලඟාවීමට කඩුලු 4ක් පමණක් දැවී පන්දුවාර 33යි පන්දු 2ක් තුලදී මොණරාගල පිතිකරුවන් සමත් විය.

මොණරාගල දිස්ත්‍රික්කය වෙනුවෙන් චාමික එදිරිසිංහ ලකුණු 42ට කඩුලු 4ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර හර්ෂ රාජපක්ෂ අර්ධ ශතකයක් ලබා ගනිමින් මොණරාගල ජය පහසු කළේය.

රත්නපුර – සියල්ලන්ම දැවී ලකුණු 151 (පන්දුවාර 36.5): මධුරංග සොයිසා 38, දමිත් ප්‍රියදර්ශන 35, චාමික එදිරිසිංහ 4/42.

මොණරාගල – කඩුලු 6ක් දැවී ලකුණු 157 (පන්දුවාර 33.2): හර්ෂ රාජපක්ෂ 51, ඉවංක සන්ජුල 2/21, චානක රුවන්සිරි 2/39.


අනුරාධපුර සහ පොළොන්නරුව අතර තරගය

අනුරාධපුර දිස්ත්‍රික්කයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවුනු මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත්තේද ඔවුන් විසිනි. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දී ලකුණු 249ක් රැස් කරන්නට අනුරාධපුර පිතිකරුවන් සමත් විය. අදීශ නානායක්කාර අර්ධ ශතකයක් රැස් කළ අතර, නිපුන් කරුණානායක ලකුණු 43කින් ලකුණු පුවරුව ඉහළ දැමීය.

හඹායාම අතිශයින්ම අසාර්ථක කරගත් පොළොන්නරුව පිතිකරුවන්ට සියලු දෙනාම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 110ක් පමණි. සචින් ජයවර්ධන සහ නිපුන් කරුණානායක කඩුලු 3 බැගින් දවා ගනිමින් පොළොන්නරුව ඉනිම අඩපණ කර දැමූහ. ඒ අනුව බ්ලූම්ෆීල්ඩ් පිටියේදී පැවති මෙම තරගය අනුරාධපුර දිස්ත්‍රික්කය ජය ගත්තේ ලකුණු 139කිනි.

අනුරාධපුර – සියල්ලන්ම දැවී ලකුණු 249 (පන්දුවාර 49.5): නිපුන් කරුණානායක 43, අදීශ නානායක්කාර 52, සඳුන් රත්නායක 33, සචින් ජයවර්ධන 38, යොහාන් ද සිල්වා 3/19, මංගල කුමාර 2/26, හසිත නිර්මාල් 3/43.

පොළොන්නරුව – සියල්ලන්ම දැවී ලකුණු 110 (පන්දුවාර 34.5): සංඛ විමාශ 24, යොහාන් ද සිල්වා 29, සචින් ජයවර්ධන 3/24, නිපුන් කරුණානායක 3/19.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට