අද දිනය පුරා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනය උණුසුම් කරමින් පැවැත්වුණු, කන්ද උඩරට ප්‍රසිද්ධ පාසල් දෙකක් වන කින්ග්ස්වුඩ් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර වාර්ෂික එක්දින ක්‍රිකට් සටන නිමාවට පත්වූයේ මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලයට ලකුණු 44ක ජයක් හිමිකර දෙමිනි. කින්ග්ස්වුඩ් විදුහලේ ජයග්‍රහණය වෙනුවෙන් යසෝද් කාවින්ද සහ විමුක්ති විජේසිරිවර්ධන දියත් කළ විශිෂ්ට පිතිහරඹය මනා දායකත්වයක් ලබා දෙන ලදී.

කොළඹ කොල්ලන් පරාජය කරමින් ජයග්‍රහණය ගාල්ලට

සිංගර් අන්තර් පාසල් සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) කොළඹ වෙස්ලි විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවති අතර…

අද උදෑසන කාසියේ වාසිය දිනාගත් ධර්මරාජ විද්‍යාලය තරඟයේ මුල් පන්දුවාර කිහිපයේ දී ඇතිවිය හැකි දෝලනයක් අපේක්ෂාවෙන් කින්ග්ස්වුඩ් විද්‍යාලයට පන්දුවට පහර දීම සඳහා ඇරයුම් කළ නමුත් ඔවුන් සිතූ තරම් පහසුවෙන් කින්ග්ස්වුඩ් විදුහලේ ඉනිම අඩු ලකුණු ගණනකට සීමා කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබුනේ නැත. තමන්ට හිමිව තිබූ පන්දුවාර 50ම මැනවින් ක්‍රීඩා කළ ඔවුන් ඉනිම නිමා කලේ කඩුලු 8කට ලකුණු 244ක් රැස්කර ගනිමිනි.

කින්ග්ස්වුඩ් ඉනිම ප්‍රශංසනීය මට්ටමකට ඔසවා තැබූ යසෝද් කාවින්ද අගනා වටිනා ලකුණු 76ක් රැස් කරද්දී අනෙක් අන්තයේ සිට පිතිහරඹයේ යෙදුනු විමුක්ති විජේසිරිවර්ධන ලකුණු 69ක් රැස් කරමින් විශිෂ්ට ලකුණු සබඳතාවයක් බිහි කිරීමට දායක විය. කෙසේවෙතත් මහනුවර ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් තම යුතුකම් කොටස ඉටුකළ නිවන්ත හේරත් ලකුණු 33කට කඩුලු 4ක් දවා ගනිමින් සාර්ථක පන්දු යැවීමක නිරත විය.

[rev_slider dfcc728]

 

අදාළ ඉලක්කය සපුරා ගැනීම සඳහා පන්දුවාරයකට ලකුණු 4.9ක වේගයක් අවශ්‍ය වූ බැවින් පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ධර්මරාජ පිතිකරුවන්ගෙන් දක්නට ලැබුනේ තරමක් මන්දගාමී ක්‍රීඩා විලාශයකි. ඔවුන්ගේ බොහෝ පිතිකරුවන් පන්දු වැය කරමින් ආරම්භයක් ලබාගත් නමුත් එය අර්ධ ශතකයක් බවට හෝ පරිවර්තනය කර ගැනීමට නොහැකි වීම නිසා ධර්මරාජ විද්‍යාලය කෙරෙන් ජයග්‍රහණය ඈත්වී ගියේය. ඉනිම පුරාවට කඩුලු බිඳ වැටීම නිසා අසරණ වූ ධර්මරාජ ඉනිම අවසානයේ සටහන් වූයේ පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ට ලකුණු 200ක් වශයෙනි.

ධර්මරාජ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස කවින්ද තිලකරත්න ලකුණු 44ක් රැස් කල අතර සචින්ත සේනානායක නොදැවී ලකුණු 39ක් රැස් කළ නමුත් එය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාම සඳහා ප්‍රමාණවත් නොවීය. මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනු සෞම්‍ය පියසේන ලකුණු 37කට කඩුලු 3ක් බිඳ හෙලීය. ඒ අනුව මෙවර වාර්ෂික එක්දින ක්‍රිකට් සටනින් ලකුණු 44ක ජයක් අත්කර ගැනීමට මහනුවට කින්ග්ස්වුඩ් විද්‍යාලය සමත්විය.

කින්ග්ස්වුඩ් විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 244 (පන්දුවාර 50): යසෝද් කාවින්ද 76, විමුක්ති විජේසිරිවර්ධන 69, නිවන්ත හේරත් 4/33.

ධර්මරාජ විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 200 (පන්දුවාර 50): කවින්ද තිලකරත්න 44, සචින්ත සේනානායක 39*, දේශාන් ගුණසිංහ 34, ගිහාන් විතාරණ 35, සෞම්‍ය පියසේන 3/37.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට