තමීම් සහ ශකීබ් ශ්‍රී ලංකාව සමතලා කරයි

284
Tamim Iqbal

මීට පෙර කිසිම දිනක මෙරට පැවති සම්පූර්ණ එක්දින තරගයක දී ශ්‍රී ලංකාව පරාජය කරන්නට  බංග්ලාදේශයට හැකිව තිබුණේ නැත (ඔවුන් මීට පෙර මෙරට දී ශ්‍රී ලංකාව පරාජය කළ එකම තරගයේ ප්‍රතිඵලය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තීරණය විය). කෙසේ වෙතත් තම 100 වන ටෙස්ට් තරගයේ දී වාර්තා කළ ඓතිහාසික ජයග්‍රහණයේ සතුට එක්දින තරගාවලියටත් රැගෙන ආ තමීම් ඉක්බාල් සහ ශකීබ් අල් හසන් ප්‍රමුඛ බංගලාදේශ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමට දඹුල්ලේ පැවති පළමු එක්දින තරගයෙන් ලැජ්ජා සහගත ලකුණු 90ක පරාජයක් හිමි කර දෙන්නට සමත් විය.

මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 324ක් රැස් කළා පමණක් නොව ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ලකුණු 234කට සීමා කරන්නට ද සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන්නේ බංග්ලාදේශ කණ්ඩායමයි. සෝම්‍යා සර්කාර් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමෙන් පසු බංග්ලාදේශ ඉනිමේ අඩිතාලම සකස් කරන්නට තමීම් සහ සබීර් රහමන් සමත් විය. ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ලට ලකුණු 90ක සබඳතාවක් ගොඩ නැගීමේ දී එහි මූලිකත්වය ගෙන කටයුතු කල සබීර් පන්දු 56කින් ලකුණු 54ක් ලබා ගත්තේ ඊට හතරේ පහර 10 ක් ද ඇතුළත් කරමිනුයි.

මෙම සබඳතාව බිඳ වැටීමෙන් පසු මුෂ්ෆිකර් රහීම් ද එක් ලකුණකට පිටියෙන් ඉවත් වුනේ ලක්ෂාන් සඳකැන් අතට පෙරලා උඩ පන්දුවක් ලබා දෙමිනුයි. නමුත් ඉනිමේ ශ්‍රී ලංකා – බංගලාදේශ එක්දින තරග ඉතිහාසයේ හොඳම සබඳතාව ගොඩනැගු ශකීබ් සහ තමීම් ශ්‍රී ලංකා සාර්ථකත්වයේ බලාපොරොත්තු සෑහෙන තරම් බිඳ දමන්නට සමත් විය. ඔවු දෙදෙනා වාර්තා කළ ලකුණු 144 ක සබඳතාව හැරුණු විට පසුගිය දශකය තුල ශ්‍රී ලංකාවට එරෙහිව කිසිඳු ශතක සබඳතාවක් එක්දින තරගයක දී ගොඩ නගන්නට බංග්ලාදේශ පිතිකරුවන් හට හැකියාව ලැබී නොතිබුණි.

මනෙල්කගේ ශතකයත් සමඟින් ජය සාන්ත පීතර විදුහලට

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර 43 වන වරට පැවති සිමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගයෙන්….

ටෙස්ට් තරගාවලියේ දී සොයා ගත් පිත්තේ රිද්මය එලෙසින්ම පවත්වාගත් තමීම් ඉක්බාල් අගනා ලකුණු 127ක් රැස් කළේ හතරේ පහර 15 ක් සහ හයේ පහරක් ද සමගයි. ඔහුට අනගි සහයක් ලබා දුන් ශකීබ් අල් හසන් පන්දු 71 ක් තුළ ලකුණු 72 ක් ලබා ගන්නට සමත් විය.

දුර්වල පන්දු රැකීම බංග්ලාදේශයට ශ්‍රී ලංකාවෙන් පිරිනැමුණු තිළිණයක් බවට පත් වෙද්දී සුරංග ලක්මාල් හට ආබාධයක් හේතුවෙන් ඔහුගේ පන්දුවාර 10 සම්පූර්ණ කිරීමට නොහැකි වීමද සත්කාරකයන් හට හිසරදයක් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මීට පෙර එක්දින ශතකයක් වාර්තා කළ එකම බංග්ලාදේශ පිතිකරුවා වූ තමීම් 2013 වසරේ සූරියවැව ක්‍රීඩාංගණයේ දී එම දස්කම ප්‍රකට කරන විට ඊට නොදෙවෙනි වූ ශතකයක් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යන්නට ටී. එම්. ඩිල්ශාන් සමත් විය. නමුත් මෙම තරගය තුළ දී එවන් වගකීමක් ඉටු කරන්නට සමතෙක් ශ්‍රී ලංකා දීර්ඝ පිතිකරණ ලැයිස්තුව සිටියේ නැත.

පළමු පන්දු වාරය තුලදීම ධනුෂ්ක ගුණතිලක සහ විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ අවස්ථාව අහිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආපසු තරගයට පිවිසෙන්නට බංග්ලාදේශ පන්දු යවන්නන් කිසිඳු ආකාරයක හිඩැසක් ඉතිරි කළේ නැත.  

පන්දුවෙන් පන්දුවට ඉහල යන අවශ්‍ය ලකුණු වේගය හමුවේ තම පිතිකරණ වේගය රඳවා ගැනීමට නොහැකි ව ශ්‍රී ලංකා මුල් පෙළ සහ මැද පෙළ පිතිකරුවන් කඩුලු පූජා කරන අතරතුර අර්ධ ශතකයක් වාර්තා කරමින් කණ්ඩායමට සුළු බලාපොරොත්තුවක් ලබා දුන්නේ දිනේෂ් චන්දිමාල් විසිනුයි. ඔහු හතරේ පහර 6 ක් සමඟ ලකුණු 59ක් ලබා ගන්නට සමත් විය.

අංක 8 ස්ථානයේ පිතිකරණයේ යෙදුනු තිසර පෙරේරා ඔහුට ආවේනික අයුරින් වේගවත් ප්‍රහාරයක් එල්ල කළ අතර පන්දු 35ක් තුල වාර්තා වූ ඔහුගේ ලකුණු 55 තුල හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වී තිබුණි.  කෙසේ වෙතත් තමීම් සහ ෂකීබ් ක්‍රීඩා කළේ වෙනත් තණතීරුවක දැයි සිතෙන තරමට බංග්ලාදේශ පන්දු යවන්නන් සාර්ථක වීමත් ඔවුන්ගේ උත්සාහයට පන්දු රකින්නන් අමතර වටිනාකමක් එකතු කිරීමත් හේතුවෙන් මේ ඉතිහාසගත රාත්‍රියේ ජයපැන් බීමේ අවස්ථාව හිමිවුණේ බෙංගාලි ව්‍යාඝ්‍රයන් හටයි.

බංග්ලාදේශය : 324/5 (50) – තමීම් ඉක්බාල් 127, ශකීබ් අල් හසන් 72, සබීර් රහ්මාන් 54, සුරංග ලක්මාල් 2/45(8), අසේල ගුණරත්න 2/40(10)

ශ්‍රී ලංකාව : සියල්ලන් දැවී 234 (45.1) දිනේෂ් චන්දිමාල් 59, තිසර පෙරේරා 55, සචිත් පතිරණ 31, මුස්ටෆිසුර් රහ්මාන් 3/56(8.1), මශ්රෆී මොටාසා 2/35(7), මෙහෙඩි හසන් 2/43(10)

ලකුණු 90ක ජයක් සමඟින් තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 1 – 0ක් ලෙස පෙරමුණ ගන්නට බංග්ලාදේශය සමත් විය.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට