තියුණු සටනක් අවසානයේ වෙස්ලි විදුහල ජය ගනියි

534
Wesley College vs Zahira College

2017 පාසල් රග්බි ලීගයේ පස්වැනි සතිය අාරම්භ කරමින් මරදාන සහිරා විද්‍යාලයත්, කොළඹ වෙස්ලි විද්‍යාලයත් අද (24) තරග බිමට පිවිසි අතර එම තරගයෙන් 32-29ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට වෙස්ලි විද්‍යාලයට හැකි විය. තරගය පැවැත්වූයේ ලොන්ඩන් පෙදෙස CR&FC ක්‍රීඩාංගණයේ දී ය.

දෙපිලම සටන්කාමී කණ්ඩායම් දෙකක් බව, මෙතෙක් තරගාවලිය පුරාවටම දෙපිල විසින් පෙන්වූ සටන්කාමී ක්‍රීඩා විලාසය සාක්ෂි දරා තිබූ බැවින් මෙම තරගයට කාගේත් අවධානය යොමු වී තිබුණි. 

තරගය ආරම්භයේදීම දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් වෙස්ලි විද්‍යාලය ඉදිරියට යාමේ මාර්ගය විවෘත කර ගැනීමට අවිශ්ක ලී සමත් විය. පසුව සයිඩ් සිංහවංස ලබා ගත් දඬුවම් පහරක් සමඟින් සහිරා විද්‍යාලය ලකුණු මට්ටම් සම කළේය. තරගයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළේ සහිරා විදුහලේ යුස්රාන් ලන්ත්‍රා විසිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට සිංහවංස අසමත් විය. (වෙස්ලි 03-08 සහිරා)

දෙපිලේම පන්දු පාලනයේ දුර්වලතා දිස්වූ නමුත් පිටිය මැදින් විදුලියක් සේ දිවගිය ලන්ත්‍රා, සහිරා විදුහලට මීළඟ උත්සාහක දිනුමත් එක්කළේය. එහි ප්‍රවර්තනය සාර්ථකයි. (වෙස්ලි 03-15 සහිරා)

පාසල් රග්බි ලීගයේ ලකුණු එකතු වීම සිදුවන්නේ කෙසේද?

මේ වසරේ පාසල් රග්බි ලීගයට කණ්ඩායම් 13ක් එක්වීමත් සමඟ, එම කණ්ඩායම් සම සමව කාණ්ඩ දෙකකට බෙදිය නොහැකි බැවින් කණ්ඩායම් වලට කෙසේ…

ඉන් මඳ වේලාවකින් අනතුරුව සහිරා කණ්ඩායමේ මොහොමඩ් අමත් වරදකාරී ක්‍රියාවකට හසුවූ අතර ඒ සඳහා කහ කාඩ්පතකින් දඬුවම් විඳින්නට ඔහුට සිදුවිය. එය වාසියක් බවට පත්කර ගැනීමට වෙස්ලි විදුහලේ ඩයස් සමත් වියඅවිශ්ක ලී එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (වෙස්ලි 10-15 සහිරා)

පසුව සහිරා ක්‍රීඩකයන් යම් අයුරක නිද්‍රාශීලී ස්වභාවයක් පෙන්නුම් කළ අතර වෙස්ලි ක්‍රීඩකයන් පෙරට ඇදෙන්නට විය. නමුත් එම ආරම්භය උත්සාහක දිනුමක් කරා ගෙන යන්නට ඔවුන්ට නොහැකි වූ අතර පළමු අර්ධය ද නිමා විය.

පළමු අර්ධය – සහිරා විද්‍යාලය 15 (2T 1C 1P) – 10 (1T 1C 1P) වෙස්ලි විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේ දී කණ්ඩායම් දෙකම කලබලකාරී ස්වභාවයකින් ක්‍රීඩා කළ අතර පන්දු පාලනය දුර්වල මට්ටමක තිබුණි. දෙවන අර්ධයේ දී ලද දඬුවම් පහරකින් ලකුණු පුවරුව සක්‍රිය කිරීමට අවිශ්ක ලී උත්සාහ කළත් එය ව්‍යර්ථ විය. තරගයේ 49 වන මිනිත්තුවේ දී වෙස්ලි විද්‍යාලය ලද අගනා අවස්ථාවක් උත්සාහක දිනුම් රේඛාව ආසන්නයේදීම ඔවුන්ගේ වින්ග් ක්‍රීඩක හර්ෂණ අතින් ගිලිහිණි. තවත් එවැනිම අවස්ථාවක දී පන්දුව සහිරා ක්‍රීඩකයන් සතු වූයේ වෙස්ලි ප්‍රේක්ෂකයන්ට උත්සාහක දිනුමක් සැමරීමට තිබූ අවස්ථාවක් වළක්වමිනි.

නමුත් සියලු දෙනා අන්ද මන්ද කරමින් අවිශ්ක ලී, සහිරා විදුහල සතුව පැවති පන්දුව සොරා ගනිමින් දිවගොස් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනයත් සාර්ථක වූයේ ඔහුගේම පාදයෙනි. (වෙස්ලි 17-15 සහිරා)

ඉන් අනතුරුව වෙස්ලි විදුහලේ ඩැනිස්ටර් ගුණතිලක විසින් ප්‍රතිවාදී කණ්ඩායමේ විදුලි වේග ධාවකයා වන ලන්ත්‍රා අතට පන්දුව ලබා දී විශාල වරදක් සිදු කළ අතර ලන්ත්‍රා තම උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කළේ කිසිදු අපහසුවකින් තොරවයි. (වෙස්ලි 17-22 සහිරා)

අනාරක්ෂිත ලෙස ප්‍රතිවාදියෙකු වැළැක්වූ වෙස්ලි විද්‍යාලයේ හර්ෂණට කහ කාඩ්පතක් හිමිවිය. එනමුත් අවන්ත අතට කල්පනාකාරීව පන්දුව ලබා දුන් වෙස්ලි විදුහල් ක්‍රීඩකයින් ඔහු හරහා උත්සාහක දිනුමක් රැස්කළේය. ඔහුගේ සොයුරු අවිශ්ක, ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (වෙස්ලි 24-22 සහිරා)

නැවතත් හොඳින් පන්දු පාලනය සිදුකළ වෙස්ලි විදුහල් ක්‍රීඩකයන් සී. අපොන්සු අතට පන්දුව ලබා දුන් අතර ධවල රේඛාව වෙතට නොනැවතී දිවගිය ඔහු උත්සාහක දිනුමක් රැස්කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (වෙස්ලි 29-22 සහිරා)

කිසිවෙකු නොසිතූ මොහොතක වෙස්ලි ආරක්ෂක පෙළ විනිවිද ගිය සහිරා මැදපෙළ ක්‍රීඩක මොහොමඩ් රාසික්, ගෝල කණු මැදින්ම දිවගොස් උත්සාහක දිනුමක් ලබා ගත්තේය. සිංහවංසගේ ප්‍රවර්තනය සාර්ථකයි. නමුත් ඒ සමඟින් ලකුණු මට්ටම් සමවූයේ තරගය නිමාවීමට මිනිත්තු 10ක් පමණ ඉතිරිව තිබියදීය. (වෙස්ලි 29-29 සහිරා)

අවිශ්ක ලී විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමත් සමඟ තරගයේ පාලනය නැවතත් තමා සතුකරගන්නට වෙස්ලි විදුහලට හැකිවිය. (වෙස්ලි 32-29 සහිරා) ලකුණු සමකරගැනීමට වටිනා අවස්ථාවක් සහිරා විදුහලට ලැබුණත් සිංහවංස එල්ල කළ දඬුවම් පහර අසාර්ථක විය.

යළිත් වරදකට හසුවූ වෙස්ලි ක්‍රීඩකයන් විසින් තවත් දඬුවම් පහරක් සහිරා විදුහල වෙත ලබා දුන් අතර එවරත් සිංහවංස අසාර්ථක වූ බැවින් අවසානයේ උණුසුම් තරගයක ජයග්‍රහණය වෙස්ලි විද්‍යාලය සතුවිය.

සම්පූර්ණ කාලය – සහිරා විද්‍යාලය 29 (4T 3C 1P) – 32 (4T 3C 2P) වෙස්ලි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – අවිශ්ක ලී (වෙස්ලි)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

වෙස්ලි විදුහල – ඩයස් 1T, අවිශ්ක ලී 1T 3C 2P, අවන්ත ලී 1T, සී.අපොන්සු 1T.    

සහිරා විදුහල – යුස්රාන් ලන්ත්‍රා 3T, මොහොමඩ් රාසික් 1T, සයිඩ් සිංහවංස 3C 1P.  

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට