එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා සහභාගි වන පහළොස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් ජාතික ක්‍රිකට් සංචිතය, ක්‍රිකට් ආයතනය විසින් මේ වනවිට නම්කර තිබේ.

ගෙවුනු වසරේ යොවුන් ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිවූ රිච්මන්ඩ් විද්‍යාලීය ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට මෙවරත් ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම හිමිව තිබේ. සංචාරයට අයත් තරඟ අතර, තුන්දින පුහුණු තරගයක්, එක් තුන්දින යොවුන් ටෙස්ට් තරගයක් සහ යොවුන් එක්දින තරග 5ක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ සුක්කානම ඇන්ජලෝ පෙරේරාට

එළඹෙන සතියේ බංග්ලාදේශයේ දී ආරම්භ වන ආසියානු නැගී එන ක්‍රිකට් කුසලාන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මැදපෙළ පිතිකරු ඇන්ජලෝ පෙරේරා හට හිමිව ඇත. බංගලාදේශය සමඟ ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත එක් දින තරගාවලියේ ප්‍රථම තරග ද්විත්වය සඳහා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහභාගී නොවන…

ත්‍රිත්ව විද්‍යාලයේ පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩක හසිත බෝයගොඩ මෙම සංචිතයේ උප නායකත්වය සඳහා පත්කර ඇති අතර පසුගිය වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් ආසියානු කුසලානය සඳහා එක් නොවුනු ඉසිපතන විද්‍යාලයේ දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක අයන සිරිවර්ධන නැවතත් 19න් පහළ කණ්ඩායම හා එක්ව තිබේ. ඔහු මුල් වරට යොවුන් එක්දින තරගයක් ක්‍රීඩා කළේද 2016 වර්ෂයේදී දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

වැදගත්ම කරුණක් වශයෙන් සඳහන් කළ හැක්කේ මෙම ක්‍රීඩකයන් පහළොස් දෙනාටම 2018 වර්ෂයේදී නවසීලන්තයේදී පැවැත්වෙන ICC යොවුන් ලෝක කුසලානය සඳහාද සහභාගි වීමට වයස් මට්ටම් බාධාවක් නොවීමයි. අලුතෙන් ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයට එක්වූ සාන්ත ජෝසප් විද්‍යාලයේ විශිෂ්ටම වත්කමක් වන නිපුන් සුමනසිංහ 2016/17 පාසල් ක්‍රිකට් තරඟාවලියේ ලකුණු 1000 සීමාව පසුකළ ප්‍රථම පිතිකරු බවට පත්විය. මීට අමතරව ගාල්ල මහින්ද විද්‍යාලයේ නිපුන් මාලිංග ද මෙවර ප්‍රථම වරට යොවුන් ජාතික කණ්ඩායමේ ස්ථානයක් අත්කරගෙන සිටී.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් තරග 13කදී තම සාමාන්‍යය 63.77ක් ලෙස පවත්වා ගනිමින් ලකුණු 1148ක් රැස්කළ ලසිත් කෲස්පුල්ලේ ද මෙවර සංචිතය සඳහා නම්කර තිබේ. මෙම වසර මුලදී දකුණු අප්‍රිකාවේදී, ප්‍රතිවාදී දකුණු අප්‍රිකානුවන් පරදන්නට සිය වේග පන්දුවෙන් මනා කාර්‍යභාරයක් ඉටුකල නිපුන් රංසික වේගය සහ ඉපිලීම සහිත ඕස්ට්‍රේලියානු තණතීරු වලදී ශ්‍රී ලංකාව සතුව ඇති හොඳම සහ වටිනාම වේග පන්දු අවියක් බවට පත්ව ඇත. තවමත් 17 වැනි වියේ පසුවන නිපුන් දකුණු අප්‍රිකානු එක්දින තරඟාවලියේදී පමණක් බිඳ හෙලූ කඩුලු ප්‍රමාණය 25කි.

ශ්‍රී ලංකා යොවුන් එක්දින කණ්ඩායමේ පුහුණුකාරීත්වය රෝයි ඩයස්ට හිමිව ඇති අතර ඔවුන් ලබන සඳුදා (මාර්තු 27) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංචාරයට සහභාගි වන නිලධාරීන් සහ තරඟ කාල සටහන මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැත.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම –
කමිඳු මෙන්ඩිස් (නායක – රිච්මන්ඩ් විද්‍යාලය – ගාල්ල)
හසිත බෝයගොඩ (උප නායක – ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර)
අශේන් බණ්ඩාර (සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල)
ජෙහාන් ඩැනියෙල් (සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ)
ප්‍රවීන් ජයවික්‍රම (සාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව)
විශ්ව චතුරංග (වේල්ස් කුමර විද්‍යාලය, මොරටුව)
නිපුන් රංසික (එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ)
නිපුන් මාලිංග (මහින්ද විද්‍යාලය, ගාල්ල)
නිපුන් සුමනසිංහ (සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ 10)
ලසිත් කෲස්පුල්ලේ (මාරිස්ටෙලා විද්‍යාලය, මීගමුව)
ක්‍රිෂාන් සංජුල (ද මැසිනෝද් විද්‍යාලය, කඳාන)
අයන සිරිවර්ධන (ඉසිපතන විද්‍යාලය, කොළඹ)
හරීන් බුද්ධිල (සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල)
තිසරු ඩිල්ශාන් (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර)
තිලාන් ප්‍රශාන් (සාන්ත සර්වේසස් විද්‍යාලය, මාතර)

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට