මාර්තු 20 : ෂෝකෝ අසහාරා තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කරයි

 

1995 වසරේ අද වැනි දවසක ෂෝකෝ අසහාරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ. ජීවිත හානි සංඛ්‍යාව දොළහකි. පනහකට අධික පිරිසක් බරපතල ලෙස රෝගාතුර වූ අතර පන්දහසක් පමණ තාවකාලික දෘෂ්‍යාබාධ වලින් පීඩාවට පත් විය. 

ඕමු ෂින්නිකියෝ (Aum Shinrikyo) නම් වූ ආගමික කල්ලියේ සාමාජිකයින් පස් දෙනෙක් විසින් මෙම විෂ වායු ප්‍රහාරය එල්ල කරනු ලැබිණ. දුම්රිය මාර්ග තුනක් ඉලක්ක කර සාරීන් (Sarin) වායුව පුරවන ලද මලු යොමු කොට ඒවාට තියුණු තුඩ සහිත කුඩ වලින් අනිනු ලැබීය. මලු සිදුරු වී සාරීන් වායුව දුම්රිය පොළ පුරා පැතිරුණේ මගී ජනතාවගේ ස්නායු පද්ධතියට හානි පමුණුවමිනි. මෙම ප්‍රහාරය දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙස එවකට ඉතිහාසගත වන්නේය.



ඕමු ෂින්නිකියෝ ආගමික නිකායේ නායකත්වය දරන්නේ ෂෝකෝ අසහාරාය. 1984 දී පිහිටුවන ලද මෙම නිකාය ජපානයේ නව ආගමික ව්‍යාපාරයක් ලෙසින් කළ එළි බට අතර එහි ඉගැන්වීම් සඳහා තන්ත්‍රීය වජ්‍රාසනය , බයිබලය සහ අනෙකුත් ආගම් වල පදනම් ද මුසුව තිබිණ. තමන් "ක්‍රිස්තූන්" ලෙස හඳුන්වා දුන් ෂොකෝ අසහාරා ජපානය තුළ සිටින එකම "අරහත් ශාස්තෲන් වහන්සේ" තමන් යැයිද, තමන්"දෙවියන් වහන්සේගේ බැටළුපැටවාණෝ" ලෙසද ස්වයං හැඳින්වීමක නිරත විය.
ෂෝකෝ අසහාරා : විෂ වායුවෙන් විමුක්තිය වෙත 
තෝකියෝ ප්‍රහාරයෙන් මුලු ලොවම කැළඹිණ. 1995 මැයි 16 වැනිදා ඕමු ෂින්නිකියෝ මූලස්ථානයේ ඉතා කුඩා කුටියක හුදෙකලාව සිටි ෂෝකෝ අසහාරා ජපාන පොලිසියේ අත් අඩංගුවට පත් වේ. කුරිරු මිනිස් සංහාරයක භයානක මහමොළකරු හා ගැටෙන්නට වේයැයි සුදානමින් ජපාන වාසර සේනාංකය සහ භූමි ආරක්ෂක ප්‍රහාර සේනාංකය ද ඒ සමීපයේම පෙළගැසී සිටියහ. නුමුදු ෂෝකෝ අසහාරා කිසිවක් නොදන්නාක් මෙන් නිහඬව, සාමකාමීව පොලිසියට අවනත විය. ඔහු වාසය කළ පුද්ගලික කුටියේ කුඩා ප්‍රමාණයේ බෝතල් රැසක් දක්නට තිබිණ. ඒවා තුළ බොකුටු කාන්තා කෙස් රොද බැගින් දක්නට ලැබුණු අතර බෝතල් වල අසහාරාගේ කාන්තා අනුගාමිකයින් පිරිසකගේ නම් සඳහන් කර තිබිණ. ඕමු ෂින්නිකියෝ නිකායේ අනුගාමිකයින් අතර විවාහයන් හෝ කායික සබඳතා පැවැත්වීම් අසහාරා විසින් තහනම් කර තිබුණද නායකයා වශයෙන් ඔහුට ඒ සඳහා අවසර සහ ඉඩ ප්‍රස්තාව සලසා තිබිණ. එය ඔහුගේ ආධ්‍යාත්මික ගමන් මගට පිටිවහලකැයි අර්ථකථනය කර තිබිණ. 

දීර්ඝ කාලයක් තිස්සේ විසඳුමකින් තොරව පැවති ,ජපාන මාධ්‍යය විසින් " සියවසේ නඩු විභාගය " ලෙස හඳුවනු ලැබූ නඩුවෙහි තීන්දුව 2004 පෙබරවාරි 27 වැනිදා ප්‍රකාශයට පත් විය. ෂෝකෝ අසහාරා මේ මනුෂ්‍ය ඝාතනවලට වරදකරු වූ අතර ඔහුව එල්ලා මැරීමට නියම විය.නමුත් ඕමු ෂින්නිකියෝ අනුගාමිකයින්ගේ බලවත් ඉල්ලීම් මත 2012 ජූනි මාසයේදී ඔහුගේ මරණ දඬුවම කල් දමන්නට සිදු විය. 

ලෝ ප්‍රකට ජපන් ලේඛක හරුකි මුරකමි "Underground: The Tokyo Gas Attack and the Japanese Psych" රචනා කරන්නේද මෙ ඇසුරෙනි.

ෂෝකෝ අසහාරා එනමින් බිහිවන්නේ එක් වරෙකි. නමුත් තවත් අසහාරාලා සිය දහස් ගණනක් ඔබ මා වෙසෙන සමාජය තුළ නොයෙක් වෙස් ගෙන සිටිනු ඇත. ඒ කිසිවෙක් හෝ නැවත තෝකියෝ දුම්'රිය පොළට විෂ වායු මුසු කරන්නේ නැති අතර ඒ සැමදෙනා සිටින්නේ ඔබගේත් මගේත් සුසුමක දුරිනි. ඇසි පියෙක පමාවෙනි. අන්ධ භක්තිය තුළින් දෙවියන් සොයනවාට වඩා ෂෝකෝ අසහාරා කෙනෙකු දැකීම ඔබගේත් මගේත් ,සමස්ත සමාජයේත් ආරක්ෂාවටම හේතුදායක වේ. 

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment