March 20, 2017

මිනිස් මොළයේ තරංග වලින් මෙහෙයවන රොබෝ

කෘතිම බුද්ධිය මගින් බොහෝ රොබෝවරු අපගේ රැකියා ඩැහැගැනීම සහා කටයුතු කරන බවට සමහර ලේඛකයෝ අදහස් පළ කරති. එහෙත් මෙම “Baxter” රොබෝ අපට පක්ෂපාතීව අපගේ මොළයේ තරංග විධානයන් අනුව ක්‍රියා කරමින් අප සමගම කටයුතු කරයි. මෙලෙස මිනිස් මනසින්  පාලනය කළ හැකි රොබෝවරු නිෂ්පාදනය සඳහා MIT ආයතනයේ පරිගණක විද්‍යා හා කෘතිම බුද්ධි විද්‍යාගාරය (CSAIL) හා එක්ව Boston විශ්ව විද්‍යාලය කටයුතු කර ඇති බව වාර්තා වේ.

මිනිස් මනසින්  පාලනය කළහැකි රොබෝවරු නිෂ්පාදනයේ මුල් නිර්මාණය වූ Baxter නම් රොබෝ ක්‍රියාත්මක කරන සරල ක්‍රියාව නම් මිනිසාගේ අවධානය යටතේ භාණ්ඩ සරල ලෙස වර්ග කිරීමයි. මෙම මනුෂ්‍යාභ රොබෝට මිනිස් මොළයේ තරංගවල ක්‍රියාපිළිවෙල තත්පරයෙන් 1/100 ක් වැනි ඉතාම කෙටි කාලයකින් කියවා තේරුම් ගැනීමට හැකියාව තිබේ. එය ක්‍රියාත්මක කිරීම සඳහා Electroencephalography (EEG) උපදේශකය මිනිස් මොළයට සම්බන්ධ කරනු ලැබේ. රොබෝ වැරදි තේරීමක් සිදු කරන අයුරු මිනිස් මොළය හඳුනා ගත් විට එය නිවැරිදි කිරීම සදහා මොළයේ හටගන්නා තරංග පරිගණක ප්‍රතිලේඛනයකට පරිවර්තනය වී රොබෝ නිවැරදිව ක්‍රියාකරවීමට මෙහෙයවයි.

Baxter රොබෝ භාවිතයේදී ඔබ කළ යුත්තේ රොබෝගේ ක්‍රියාව සමඟ හුදෙක් මානසික එකග වීම හෝ නොවීම පමණක් බව CSAIL හි අධ්‍යක්ෂ Daniel Rus ප්‍රකාශ කරයි. ඒ සඳහා ඔබ විශේෂ ආකාරයකට සිතීමට පුහුණුවීමක් අවශ්‍ය නොවේ. යන්ත්‍රය ඔබට අනුරූපව හැඩ ගැසෙනු ඇත. යැයිද ඔහු සඳහන් කරයි.

මෙය ඉතාම සරල රොබෝවක් ලෙස දැනට සැලකිය හැකි නමුත් එම තාක්ෂණ තවදුරටත් දියුණුවීමත් සමඟ පරිගණකයට පණිවිඩයක් ලබා දීමට යතුරු ලියනය කිරීමක් හෝ නියෝග බොත්තම් එබීමක් සිදු නොකර හුදෙක් අවශ්‍ය පණිවිඩය සිතීම පමණක් ප්‍රමාණවත් වනු ඇත. එලෙස අපගේ මොළය අනුකරණය කළ හැකි ප්‍රවේශයක් මඟින් කර්මාන්ත ශාලාවක රොබෝවරු, රියදුරු නොමැති රථවාහන සහ තවමත් සොයාගෙන නැති බොහෝ තාක්ෂණයන් අපට පහසුවෙන් පාලනය කළ හැකි වේ. 
   
අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ:
හර්ෂ ලංකේශ්වර, විද්‍යා තාක්ෂණ නිලධාරි.

https://youtu.be/Zd9WhJPa2Ok?t=16

0 comments:

Post a Comment