තම ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ සියවැනි පරිච්ඡේදය රන් අකුරින් සටහන් කිරීමට මාන බලමින් සිටින බංගලාදේශ ක්‍රීඩකයින් පී. සරා ඕවල් තණතීරුවේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ අණසක පැතිරවීමට මේ වන විට සමත්ව සිටියි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මැදපෙළට අද (18) මරු පහරක් එල්ල වුනු අවස්ථාවේ වගකීම් සහගත ඉනිමක් ක්‍රීඩා කල දිමුත් කරුණාරත්න නිසා ශ්‍රී ලංකාවට තරගය පස්වැනි දිනය දක්වා දීර්ඝ කර ගැනීමට හැකි විය.

ප්‍රථම ඉනිමේ දී බංගලාදේශ පිතිකරුවන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ඊයේ සන්ධ්‍යා කාලයේ දී ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට සිදු වූයේ ලකුණු 129ක් පසුපසින් සිටිමිනි. නමුත් ඊයේ දිනය සඳහා තරගය නතර කරන අවස්ථාව වන විට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 52ක් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් එක් කිරීමට සමත් වූහ. නමුත් අද තරගය ආරම්භ වී පන්දු වාරයක් ගතවෙද්දීම ලකුණු 26ක් ලබා සිටි උපුල් තරංගගේ කඩුල්ල බිඳ දැමීමට මෙහෙදි හසන්ගේ සුරතින් ගිලිහුණු දඟ පන්දුවක් සමත් විය.

ශකීබ්ගෙන් බැට කෑ ශ්‍රී ලංකාව වීරයෙකු සොයයි

පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබූ පී. සරා ඕවල් තණතිල්ලේ වාසිය උපරිමයෙන් උකහා ගත් ශකීබ් අල් හසන් ප්‍රමුඛ බංගලාදේශ පිතිකරුවන්..

නමුත් එම දැවී යාමෙන් කණ්ඩායමට එතරම් බලපෑමක් වන්නට ඉඩ නොදුන් දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86ක සබඳතාවයක් පිහිට වූහ. බොහෝ තරග වල දී හොඳ ආරම්භයක් ලබා ගන්නා නමුත් එය දැවැන්ත ලකුණක් බවට පරිවර්තනය කර ගැනීමට අසමත් වන කුසල් මෙන්ඩිස් අද දිනයේ දී ද ලකුණු 36ක් රැස්කර සිටිය දී මුස්ටාෆිසූර් රහ්මාන්ගේ වේග පන්දුවකට ගොදුරු විය. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 2කට ලකුණු 143ක් ලෙස සටහන් වූ අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගත හැකි තත්වයක් නිර්මාණය වී තිබුණි.

නමුත් තම සියවැනි ටෙස්ට් තරගයේ දී තමන් ලබාගත් වාසිය ලෙහෙසියෙන් ඉවත දමන්නට අකමැති වූ මුස්ටාෆිසූර් රහ්මාන් සහ ශකීබ් අල් හසන් නමගිය පිතිකරුවන් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා මැදපෙළ නිමේෂයක දී බිඳ දැමීමට සමත් වූහ. ඒ අනුව දීර්ඝ ඉනිම් ක්‍රීඩා කරමින් තම කණ්ඩායමේ ගෞරවය බේරා ගැනීමට සිටි දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, ධනංජය සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල යන පිතිකරුවන් අද තනි ඉලක්කමේ ලකුණු වලට සීමා වූහ.

කෙසේ වෙතත් අනෙක් අන්තයේ පිතිකරුවන්ගෙන් කිසිදු සහයක් නොලැබෙද්දී පවා කණ්ඩායම වෙනුවෙන් තම යුතුකම් කොටස මැනවින් ඉටු කළ දිමුත් කරුණාරත්න අද හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 126ක් රැස් කිරීමට සමත් විය. බංගලාදේශ ක්‍රීඩකයින්ගෙන් එල්ල වූ ප්‍රබල පීඩනය යටතේ ඔහු අද වාර්තා කල තම ටෙස්ට් දිවියේ පස්වැනි ශතකය වටිනාකම අතින් දෙවැනි වන්නේ නවසීලන්තයේ දී වාර්තා කල ශතකයට පමණක් බව විචාරක මතයයි.

කෙසේ වෙතත් අද සන්ධ්‍යා කාලය වනතෙක්ම සැලකිය යුතු ආකාරයේ ලකුණු සම්බන්ධතාවක් ගොඩ නැගීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු පිතිකරණ යුගලයක් සමත්කම් නොදැක්වූ අතර ඒ හේතුවෙන් කණ්ඩායමේ කඩුලු 8ක්ම ලකුණු 238ක් තුල දී බිඳ වැටුණි. නමුත් කණ්ඩායම වැටී තිබෙන අසීරු තත්වය මැනවින් වටහාගෙන පරීක්ෂාකාරී ලෙස පන්දුවට පහර දුන් දිල්රුවන් පෙරේරා සහ දිනය නිමා වන තෙක් තම කඩුල්ල ආරක්ෂා කර ගත් සුරංග ලක්මාල් නිසා දිනය නිමාවෙද්දී මුළු ලකුණු සංඛ්‍යාව 268ක් දක්වා ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

අවස්ථානෝචිතව පිතිකරණයේ යෙදුනු දිල්රුවන් පෙරේරා පරාජයෙන් කෙළවර වීමට නියමිතව ඇති තරගය කෙසේ හෝ ජය පරාජයෙන් තොරව නිමාකර ගැනීමේ අධිෂ්ඨානයෙන් පන්දු 126කට මුහුණ දී නොදැවී ලකුණු 26ක් රැස්කර ගත්තේය. අනෙක් අන්තයේ පන්දුවට පහර දෙන සුරංග ලක්මාල් නොදැවී ලකුණු 16යි. ඔහු මෙම තරගයේදීම ප්‍රථම ඉනිමේ දී තම ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් සාර්ථකත්වක් පෙන්නුම් කළ නිසා හෙට දිනයේ දී ඔහුගෙන් දිල්රුවන් යම් සහයෝගයක් අපේක්ෂා කළ හැකි ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් බංගලාදේශ ප්‍රථම ඉනිමට වඩා ලකුණු 139ක් පමණක් ඉදිරියෙන් පසුවන නිසා කෙසේ හෝ හෙට දිනයේ දී වැඩි වේලාවක් තම කඩුල්ල ආරක්ෂා කර ගැනීම මෙම පිතිකරුවන් දෙදෙනාගේ පරම වගකීම බවට පත්වනු ඇත. එසේ නොවුනහොත් තම සියවැනි ටෙස්ට් තරගයේදීම බංගලාදේශයට ටෙස්ට් තරගයකදී මුල් වරට ශ්‍රී ලංකාව පැරදවීමේ සිහිනය සැබෑ කර ගැනීමට හැකිවනු ඇත.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 338 (පන්දුවාර 113.3): දිනේෂ් චන්දිමාල් 138, සුරංග ලක්මාල් 35, නිරෝෂන් දික්වැල්ල 34, ධනංජය ද සිල්වා 34, රංගන හේරත් 25, මුස්ටාෆිසූර් රහුමාන් 2/50, මෙහෙදි හසන් 3/90, සුභාශිස් රෝයි 2/53.

බංගලාදේශ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 467 (පන්දුවාර 134.1): ශකීබ් අල් හසන් 116, මොසෙද්දික් හුසේන් 75, සෞම්‍ය සර්කාර් 61, මුෂ්ෆිකර් රහීම් 52, තමීම් ඉක්බාල් 49, සබ්බීර් රහ්මාන් 42, රංගන හේරත් 4/82, ලක්ෂාන් සඳකැන් 4/140.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 268 (පන්දුවාර 100): දිමුත් කරුණාරත්න 126, කුසල් මෙන්ඩිස් 36, දිල්රුවන් පෙරේරා 26*, උපුල් තරංග 26, සුරංග ලක්මාල් 16*, මුස්ටාෆිසූර් රහ්මාන් 3/52, ශකීබ් අල් හසන් 3/61.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට