Main Logo

Saturday 18 March 2017

යුද්ධාපරාධ, අධිකරණය හා ව්‍යවස්ථාව



යුද්ධාපරාධ, අධිකරණය හා ව්‍යවස්ථාව


රනිල් හා මංගල කරන්න යන්නෙ මොකක් ද කියන එක දැන් හොඳට ම පැහැදිලියි. ඒ වෙන මොකක්වත් නොවෙයි එක්කෝ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම, නැත්නම් ව්‍යවස්ථාව තමන්ට අවශ්‍ය විධියට සංශෝධනය කිරීම. ඒක නවත්වන්න තියෙන එක ක්‍රමයක් තමයි රනිල් අගමැති කමෙන් ඉවත් කිරීම හා මංගල විදේශ ඇමති ධුරයෙන් පහ කිරීම. මේ දෙන්නට ම වුවමනා රට බෙදීම ඒ කියන්නෙ දෙමළ ජාතිවාදීන්ට හා ඔවුන් පිටුපස සිටින එංගලන්තයට හා ඉන්දියාවට අවශ්‍ය විධියට පළාත් සභාවලට බලය බෙදීම. ඒකීය රාජ්‍යයක බලය බෙදීම කියන්නෙ ම ප්‍රෝඩාවක්. දැනටත් මේ රට සරල සංධීය රාජ්‍යයක් ඇති රටක්. රනිල් මංගල දුස්සංයෝගයට අවශ්‍ය තව තවත් බලය බෙදා සහසන්ධීය රාජ්‍යයක් ඇති කිරීම. අප කළ යුත්තේ සරල සංධීය බවත් නැති කර ඒකීය රාජ්‍යයක් බවට පත් කිරීම. ඒක අද කරන්න බැරි බව දේශපාලන විචාරකයන්ට හැර අනෙක් අයට තේරෙනවා. අප අද කරන්නේ ඒ සඳහා උද්ඝෝෂණය කිරීම, ජනමතය සකස් කිරීම ආදියයි. 
 

මංගල ඇතුළු ආණ්ඩුව (මෛත්‍රිපාල ආණ්ඩුවේ ද) කියන කරුණු අපි සලකා බලමු. පළමුවෙන් මෙරට හමුදාවට ලැබී ඇති අපකීර්තියෙන් ඔවුන් මුදවාගැනීම. හමුදාවට අපකීර්තියක් ලැබී ඇත්නම් ඔවුන් ඉන් මුදා ගන්නේ කෙසේ ද? මේ ඊනියා අපකීර්තිය විශේෂයෙන් ම මානුෂික මෙහෙයුම්වල අවසාන සති දෙකේ සිදු වූ යුද්ධාපරාධ නිසා ඇති වූ බව කියනවා. මේ කාලයෙහි වැඩ බලන ආරක්‍ෂක ඇමති මෛත්‍රිපාල සිරිසේන. ඔහු ඒ ඊනියා යුද්ධාපරාධ සිදු වූ බව පිළිගන්නවා ද? නැත්නම් සරත් ෆොන්සේකා පිට පටවනවා ද? සුදු කොඩි කතාවෙන් සරත් ෆොන්සේකා හමුදාවට ම පහරක් එල්ල නො කෙළේ ද? ඒ කතාව සම්බන්ධයෙන් ඔහු හිරභාරයට ගැනීම වැරදි ද? සුදු කොඩි රැගෙන ත්‍රස්තවාදීන් කණ්ඩායමක් එන බවත් ඔවුන්ට සමාව දිය යුතු බවටත් පොරොන්දුවක් තිබිණි ද? තිබිණි නම් ඒ පොරොන්දුව දුන්නේ කවුද? ඕනෑම අයකුට එවැනි පොරොන්දු දිය හැකි ද? ඒසේ පොරොන්දුවක් දුන්නේ නම් ඒ බව වැඩබලන ආරක්‍ෂක ඇමතිට දැනුම් දුන්නේ ද? එවැනි පොරොන්දුවක් ගැන හමුදාවට දන්වා තිබිණි ද? හමුදාව කර ඇති වරද කුමක් දැයි මෛත්‍රිපාල හරි සරත් ෆොන්සේකා හරි කියනවා ද? 

යුද්ධාපරාධ පෞද්ගලිකව හෝ පොදුවේ හෝ සිදුවිය හැකියි. පෞද්ගලික ව හමුදා භටයකු අත්තනෝමතිකව අණක් ඇතිව හෝ නැතිව හෝ යුද්ධාපරාධයක් කළ හැකියි. අණක් නැත්නම් භටයා ඒ අපරාධයට (අපරාධයක් සිදු වී ඇතැයි උපකල්පනය කර) දඬුවම් චිදිය යුතුයි. අණක් ඇත්නම් අණ දුන් තැනැත්තා දඬුවම් විඳිය යුතුයි. පොදුවේ යුද්ධාපරාධ කෙරෙන්නේ අණක් දුන්විටයි. ඊනියා ජාත්‍යන්තරය කියන පොදු යුද්ධාපරාධ වේ නම් ඒ මෛත්‍රිපාල ආරක්‍ෂක ඇමති් ලෙස වැඩ බැලූ කාලයේ සිදු වූ දේ. ඊනියා යුද්ධාපරාධ සඳහා අවසානයේ දී අණ දුන්නේ ඔහු ද? ඔහු ඒ පිළිබඳ දැනුවත් ව සිටියේ ද?  

අවසාන දින කිහිපයෙහි කොටි ත්‍රස්තවාදීන් ජනතාව ලක්‍ෂ ගණනක් මිනිස් වළල්ලක් ලෙස යොදා ගත් බව ප්‍රසිද්ධ කරුණක්. ඒ බව ඊනියා ජාත්‍යන්තරයත් මංගලත් රනිලුත් දන්නවා. කොටි වළල්ලෙන් මිදී පැන යෑමට ජනතාවට ඉඩ දුන්නේ නැහැ. ජනතාව වළල්ලෙන් පැන ඒද්දී කොටි වෙඩි තැබුවා. එකී ජනතාව දහස් ගණනින් ඝාතනය වූයේ කොටි වෙඩි පහරින්. යුද්ධාපරාධ කර ඇත්තේ කොටි බව අප කලිනුත් කියා තිබෙනවා. කොටි කළ යුද්ධාපරාධ හමුදාව හා රාජපක්‍ෂවරුන් මත පැටවීමට එංගලන්තය උත්සාහ ගන්නවා. ජෙනීවාහි හුසේන් කුමාරයා හෙවත් සේනා (හමුදා) මාරයා එයට සහාය දෙනවා. අද මෛත්‍රිපාල කළ යුත්තේ මේ ඊනියා යුද්ධාපරාධවලින් තමනුත් රණවිරුවනුත් නිදහස් කිරීමයි.  එය කැප්පෙටිපොළ දිසාව ඇතුළු පිරිස දේශද්‍රෝහී නොවන බව කීමට වඩා වැදගත් වේවි. එදා සිට ම යුද්ධාපරාධ කර ඇත්තේ කොටි. ඒ පිළිබඳ ව කොටින්ට ආධාර කළ කොටි වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටි සම්බන්ධන්ලාට, පාක්‍යසෝතිලා ඇතුළු සිවල් සාමාජිකයන්ට කළ යුත්තේ කුමක් ද කියා වත්මන් සේනාධිනායක මෛත්‍රිපාල කියනවා ද 

මංගලගේ තර්කය ඊනියා යුද්ධාපරාධ විභාග නොකිරීමෙන් මෙරට අධිකරණය අපකීර්තියට ලක් වී ඇති බව මත පදනම් වෙනවා. අධිකරණය ඇත්තේ තමන් හමුවට ගෙනෙන පැමිණිළි පිළිබඳ තීන්දු දීමට මිස නගර ගානේ ගෙවල් ගානේ ගොස් පැමිණිළි ඇත් ද කියා සොයා බැලීමට නො වෙයි. අධිකරණය තමන් ඉදිරියට පැමිණි ඊනියා යුද්ධාපරාධයක් ගැන විනිශ්චය දීම අත්හැර දමා තිබෙනවා ද? එසේත් නැත්නම් පක්‍ෂපාති තීන්දුවක් දී තිබෙනවා ද? මහින්දගේ කාලයේ අධිකරණය අපකීර්තියට ලක් වී යැයි මංගල කියන්නේ මෙලෝ දෙයක් දැන ගෙන ද? අධිකරණයට දේශපාලන ඇඟීලි ගැසීම් හා අධිකරණය අපකීර්තියට පත්වීම කියන්නේ දෙකක්. අද අධිකරණයට දේශපාලන ඇඟිලි ගැසීම් නැත් ද කියා අලුත්කඩේ පැත්තෙන් දැනගන්න පුළුවන්.   

ඊනියා යුද්ධාපරාධ ගැන චෝදනා ඉදිරිපත් කෙරී නැත්නම් කළ යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට චෝදනා ගොනු කිරීමයි. අදත් එය කළ හැකියි. එය අධිකරණයේ කටයුත්තක් නො වෙයි. ඒ සඳහා දෙමුහුන් අධිකරණ අලුතෙන් අවශ්‍ය නැහැ. අද පාක්‍යසෝතිට ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ හමුදා නිලධාරීන් ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනය කරන්නේත් ඔහු ඒ ආරාධනය පිළිගන්නේත් ඊනියා යුද්ධාපරාධ චෝදනා තිබිය දී ද? යුද්ධාපරාධ ගැන මහින්දගේ කාලයේ අධිකරණය අපකීර්තියට ලක් වී ඇත්තේ කෙසේ දැයි පළමුව මංගල හා රනිල් අපට කියා දිය යුතුයි.  

වත්මන් ආණ්ඩුව දිනාගත් ජාත්‍යන්තර කීර්තියක් නැහැ. බටහිරයන්ට බැළ මෙහෙවර කරන ආණ්ඩුවකට අත්වෙන කීර්තිය කුමක් ද? බටහිරයන් මේ ආණ්ඩුව ලවා තමන්ට අවශ්‍ය දේ කරවා ගන්නවා. එසේ කරවා ගෙන ගුඩ් ජොබ් කියා කියනවා. එපමණයි. සෝමාලියාවේ පැහැර ගත් නැව බේරා ගත්තේ මේ ආණ්ඩුවේ ඊනියා ජාත්‍යන්තර සම්බන්ධතා උඩ නො වෙයි. සෝමාලියා රාජ්‍යය කොල්ලකරුවන්ට වෙඩි තබා ඔවුන් යටත් කරගෙන. ආණ්ඩුව අලින්නෙ අපේ කතාවක් කියනවා. අදාළ නැවියන් ලංකාවට ආපසු ඔවුන් ලවා බොරු කියවා ගන්නත් ඉඩ තියෙනවා.  

එංගලන්තය හා ඉන්දියාව මහින්ද ගෙදර යවා මේ ආණ්ඩුව බලයට පත් කර ගත්තේ දෙමළ ජාතිවාදයට කප්පන් දීම සඳහා ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට හා සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට, ඒ බැරි නම් දුර්වල කිරීමට. මංගල හොරගල් අහුලන්නේ මේ ව්‍යවස්ථාව සඳහායි. ඒකාබද්ධ විපක්‍ෂය මෙයට වඩා ව්‍යවස්ථා ප්‍රශ්නයට මැදිහත් විය යුතුයි. ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට නොගෙනවිත් ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ පමණක් සම්මත කර ගැනීමටත් ඉඩක් තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයේ අනුකමිටුවලින් ඉවත්වීමට ගත් තීරණය ජනතාවගේ පැසුමට ලක් වුණා මදි. ඒකාබද්ධ විපක්‍ෂය මේ සමස්ත ව්‍යවස්ථා මණ්ඩල ක්‍රියාවලියෙන් ම ඉවත් විය යුතුයි.




මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. 

https://www1.kalaya.org  

නලින් ද සිල්වා 

2017 මාර්තු 18