ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම පසුපස බංගලාදේශය හඹා එයි

205

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් පීඩනය යටතේ වාර්තා කල විශිෂ්ට ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම අද (16) ලකුණු 300 ඉක්මවා යාමට සමත් විය. නමුත් එම ලකුණු සංඛ්‍යාව හඹා එන බංගලාදේශ පිතිකරුවන් ද දෙවැනි දිනය නිමාවන විට කඩුලු 5කට ලකුණු 214ක් රැස් කරගෙන හොඳ ස්ථාවරයක සිටියි.

පිතිකරණය නාය යද්දී චන්දිමාල් තනිවම සටනක

වසර 16ක් ඈත අතීතයට ඇදී යන බංගලාදේශ ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ සියවැනි පරිච්ඡේදයට අද (15) බංගලාදේශ කණ්ඩායම මුහුණ දුන්නේ කොළඹ පී. සරා ඕවල් පිටියේදීයි…

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දිමාල් සහ නායක රංගන හේරත් බිඳ වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම පිලිසකර කරමින් සිටි අතර ලකුණු පුවරුව දැක්වුනේ ලකුණු 238කට කඩුලු 7ක් ලෙසයි. අද ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු 3 දැවී යන අතරතුරේදී තවත් ලකුණු 100ක් එක්කාසු කරගන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් විය.

දිනයේ මුල්ම කඩුල්ල ලෙස ලකුණු 25ක් රැස් කරගෙන සිටි රංගන හේරත් දවාගන්නට ශකීබ් අල් හසන් සමත් විය. පිත්තේ පිටත අග්‍රයේ වැදී ඇදී ගිය පන්දුව ස්ලිප් කලාපයේ සිට සෞම්‍ය සර්කාර් සුරැකිව රැක ගැනීමත් සමග ඔහු සහ චන්දිමාල් අතර ගොඩනැගුණු ලකුණු 55ක සබඳතාවය නිමාව දිටීය. ඒ වනවිට ශ්‍රී ලංකාවට ලකුණු 300 කඩයිමත් සිහිනයක්ම වන ලකුණු පෙනෙන්නට තිබුනත් අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි සුරංග ලක්මාල් පිතිකරණයේදී දැක්වූ අනපේක්ෂිත දක්ෂතාවය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 338ක් දක්වා ඉහළ දමා ගැනීමට හැකි විය. හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත කරමින් ඔහු රැස්කල ලකුණු 35 සටහන් වූයේ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ඊයේ උදෑසන ශ්‍රී ලංකා පිළේ කඩුලු 4ක් ඉක්මනින් දැවී ගිය අවස්ථාවේ සිට අද මධ්‍යහ්නය දක්වාම පීඩනය යටතේ හොඳින් පන්දුවට පහර දුන් දිනේෂ් චන්දිමාල් අද ඔහුගේ 8 වැනි ශතකය වාර්තා කිරීමට සමත් විය. දර්ශනීය හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමගින් ඔහු තම ලකුණු 138 රැස්කලේ පන්දු 300කට මුහුණ දෙමිනි. විශේෂයෙන්ම කණ්ඩායම අර්බුදයකට ලක්ව සිටි මොහොතේ ඔහුගේ පිත්තෙන් ගලා ආ ශතකය නොවන්නට ශ්‍රී ලංකාවට මෙම තරගයේදී අත්වන ඉරණම ඉතාමත් සෝචනීය වන්නට ඉඩ තිබුණි.

දිවා විවේකයෙන් අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කල බංගලාදේශ පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තරගයට පිවිසීමට කිසිදු අවස්ථාවක් නොතබමින්‍ ප්‍රථම කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 95ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් විය. කෙසේ හෝ අවසානයේ හොඳින් පන්දුවට පහර දෙමින් අර්ධ ශතකය ආසන්නයටම පැමිණ සිටි තමීම් ඉක්බාල්ගේ ඉනිම නිමා කිරීමට රංගන හේරත් සමත් විය.

ඒ විනිසුරු තීරණයට අභියෝග කරමිනි. පුනරූපන මගින් පැහැදිලි වූයේ තමීම්ගේ පා ආවරණයේ වදින පන්දුව මැද ඉන්න සහ පා ඉන්න අතර ගැටෙන්නට තිබූ පන්දුවක් බවයි.

හොඳින් පන්දුවට පහර දෙමින් අර්ධ ශතකය සපුරා තිබූ සෞම්‍ය සර්කාර් බංග්ලාදේශ ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ඒ ලක්ෂාන් සඳකැන් දක්ෂ අයුරින් විරුද්ධ අතට දඟ කැවූ මැජික් පන්දුවක් මගිනි. කලින් තරගයට ක්‍රීඩා කල මොමිනුල් හක් වෙනුවට මෙම තරගයට එක්කර තිබූ ඉම්රුල් කයිස් ලකුණු 34ක් රැස් කරමින් බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 2කට ලකුණු 192ක් ලෙස සුරැකිව ඉදිරියට ගෙන යාමට සමත් වූවත් නැවතත් ක්‍රියාත්මක වුනු ලක්ෂාන් සඳකැන් ඊට හරස් කැපීය. සඳකැන් ක්‍රියාත්මක කල 57වැනි පන්දුවාරයේදී ඉම්රුල් කයිස්ට සහ තයිජුල් ඉස්ලාම්ට පිට පිටම තම කඩුලු අහිමි වන්නේ ඒ අනුවයි.

ඉම්රුල් කයිස් දැවී යනවිට තරගය දෙවැනි දිනය සඳහා නතර කිරීමට ආසන්නව තිබූ නිසා බංගලාදේශ නායකයා රාත්‍රී රැකවලා ලෙස තයිජුල් ඉස්ලාම්ව පිටියට එවීම නිසා කඩුලු ත්‍රිත්වයකට උත්සාහ දැරීමට සඳකැන්ට අවස්ථාව උදා වූවත් ශකීබ් අල් හසන් එම පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් සඳකැන්ගේ බලාපොරොත්තු බොඳ කිරීමට සමත් විය. කෙසේවෙතත් දිනය නිමාවීමට මොහොතකට පෙරාතුව සබ්බීර් රහ්මාන්ව දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වීම නිසා දෙවැනි දිනය නිමාවන විට තරගය දෙපිළටම විවෘත විය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් ලකුණු 65කට කඩුලු 3ක් දවාලූ අතර සුරංග ලක්මාල් සහ රංගන හේරත් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. බංගලාදේශ පිතිකරුවන් සියලු දෙනාම පාහේ හොඳ ආරම්භයක් ලබා ගත්තත් එම කිසිදු පිතිකරුවෙකු විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අපොහොසත් වීම ශ්‍රී ලංකාවට සැනසුමට කරුණක් විය. කෙසේ වෙතත් අද දිනය නිමා වන විට කඩුල්ලේ රැඳී සිටින බංගලාදේශය නායක මුෂ්ෆිකර් රහ්මාන් සහ ශකීබ් අල් හසන් යන අවදානම් පිතිකරුවන් දෙදෙනාව හෙට හැකි ඉක්මනින් පිටියෙන් ඉවත් කිරීම ශ්‍රී ලංකාව පැත්තෙන් ඉතාමත් වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 338 (පන්දුවාර 113.3): දිනේෂ් චන්දිමාල් 138, සුරංග ලක්මාල් 35, නිරෝෂන් දික්වැල්ල 34, ධනංජය ද සිල්වා 34, රංගන හේරත් 25, මුස්ටාෆිසූර් රහුමාන් 2/50, මෙහෙදි හසන් 3/90, සුභාශිස් රෝයි 2/53.

බංගලාදේශ (ප්‍රථම ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 214 (පන්දුවාර 60): සෞම්‍ය සර්කාර් 61, තමීම් ඉක්බාල් 49, සබ්බීර් රහ්මාන් 42, ඉම්රුල් කයිස් 34, ලක්ෂාන් සඳකැන් 3/65.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට