Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හැමට ප්‍ර‍ථම ඇප්ස්වල පහසුකම් දැකිය හැකි බීටා වෙළුම

දිනපතා අළුත් වෙන තාක්‍ෂණික දැවැන්තයන් තමන්ගේ නිශ්පාදන සඳහා අනෙක් තරගකාරී සමාගම් අභිබවා නවතම දේවල් දෙන්නට හැමවිටම උත්සුක වෙනවා. ඉතින් තාක්‍ෂණික ලෝකයත් එක්ක ඉදිරියට යන අපිත් අනිත් අයට කලින් ඒ නවතම දේවල් පිළිබඳ දැනගන්න බොහොම කැමතියි. සමාගම්වල බ්ලොග් අඩවි කියවීමෙන්, පුවත් කියවීමෙන් හැරුණා ම මේවා දැක බලාගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි අප අද ඔබට කියා දෙන්නේ.

මෘදුකාංගයක සංවර්ධන ජීවන රේඛාවේදී එය විවිධ අවධි පසු කරනවා. ප්‍රථම වෙළුම හෝ පසුව ඊට එක් කරන පහසුකම්, දෝෂ සැකසීම් ආදී හැම එකකදීම එහි ස්ථායී බව (stability) පරීක්‍ෂා කෙරෙන අතර එහි ද ඇල්ෆා, බීටා ලෙසින් මුල් අවධීන් දෙකක් තිබෙනවා. මේවායේදී යෙදුම හෝ නිශ්පාදනය නිසි ආකාරව බිඳ වැටීමකින් තොරව, අඩු රැම් හා ප්‍රොසෙසර ධාරිතාවක් භාවිතා කරමින් ඉලක්ක කරන්නට අදහස් කළ සියළු උපාංගවල ක්‍රියා කරනවාද යන්න පරීක්‍ෂා කර බැලෙනවා. මෙහි ඇල්ෆා අවධිය මෘදුකාංගයේ සංවර්ධකයන් අතින් ම සිදු කෙරෙනවා. තෙවන පාර්ශවයක් සඳහා පිටතට ලබා දෙන්නේ බීටා වෙළුම යි.

මොකක්ද බීටා කියන්නේ?

(qainfotech.com)

බීටා කියන්නේ ග්‍රීක හෝඩියේ ප්‍රථමයාවූ ‘ඇල්ෆා’ වලට පසුව එන ඊළඟ අක්‍ෂරය යි. හෝඩිය යන්නෙහි ඉංග්‍රීසියෙන් වචනය, “ඇල්ෆබට්” යන්න සෑදී ඇත්තේ ද මේ ඇල්ෆා සහ බීටා යන යෙදුම් දෙක එක්වීමෙනු යි. මෙලෙස මුල් අකුරු දෙකක් වෙමින් භාෂාවේ ආරම්භය සනිටුහන් කරන නිසා මෘදුකාංග සංවර්ධනයේදීත් ආරම්භක අවස්ථා හඳුන්වන්නට ඇල්ෆා, බීටා යන යෙදුම් භාවිතයට ගන්නවා.

බීටා පරීක්‍ෂාව

(huffpost.com)

බොහෝ අවස්ථාවලදී සංවර්ධකයන් විසින් ම ඔවුන් විසින් රචිත කේතයක් සහිත මෘදුකාංගයක් අත්හදා බැලීමේදී ඔවුන්ට හමුවන අඩුපාඩු සංඛ්‍යාව ඉතා ම අල්ප යි. මේ නිසා තත්ව පරීක්‍ෂක කණ්ඩායමක් ද මේ වෙනුවෙන් යොදවා ඇති අතර ඇල්ෆා අවධිය මෙලෙස ආයතනය තුළ ම ගෙවෙනවා. එහිදී හමුවූ දෝෂ සැකසීමෙන් අනතුරුව තනන බීටා වෙළුම තෝරාගත් තෙවන පාර්ශවයක් එනම්, ආයතනයෙන් බැහැර, එම සේවාවට කැමැත්තක් දක්වන, නිතර භාවිතා කරන හෝ මෘදුකාංග සම්බන්ධ මූලික දැනුමක් ඇති සාමාන්‍ය පුද්ගලයන් කිහිප දෙනෙකුට ලබාදී පරීක්‍ෂා කරවා ගැනීම බීටා අවධියට අයත් වෙනවා.

මේ කාලය තුළදී මෘදුකාංගය “ක්‍රියා කරනවා ඒ වුණාට මොන වෙලාවේ ක්‍රෑෂ් වෙයි ද ෂුවර් නැහැ” සිට “ඕනම දේකට ඔරොත්තු දෙනවා” දක්වා වූ ගමනක යෙදෙනවා. අතුරු මුහුණත් දෝෂ, භාවිතා කිරීමට අපහසු හෝ යොදා ඇති බොත්තම් ආදිය භාවිතය සඳහා අපහසුතාවක් ගෙන දෙන බව, ඔවුන්ගේ උපාංගවල ක්‍රියා කිරීමේදී එහි පැණ නැගුණු දෝෂ ආදී අතුරුමුහුණතේ සිට ක්‍රියාකාරී හදවත දක්වාවූ සියල්ල පුරා යමින් පරීක්‍ෂා කරන්නන් විසින් සොයාදෙන දෝෂ මෙහිදී සලකා බලමින් නිරාකරණය කෙරෙනවා. මෙම පරීක්‍ෂාවේදී ඇතැම් විට සමීක්‍ෂණ පත්‍රිකාවක් ද ඇතැම් විට ලබා දෙන අතර ඒ හරහා ඔවුන්ව අවශ්‍ය කොටස් පරීක්‍ෂා කළ බවට සහ ඒ සඳහා ලබා දෙන ප්‍රතිචාරය පිළිබඳ දත්ත ගොනු කර ගැනෙනවා.

(joyreactor.com)

බීටා පරීක්‍ෂාව දින කිහිපයක, සතියක සිට මාස ගණනක් පුරා වුව ද දිවෙන්නට පුළුවන්. එය රැස්කර ගත යුතු පරීශීලක අදහස් ප්‍රමාණය අනුව හෝ පරීක්‍ෂා කරවා ගත යුතු කොටස් ප්‍රමාණය අනුව තීරණය වෙනවා. අතීතයේදී මෙම පරීක්‍ෂාව සඳහා විශ්වාසවන්තදායී කිහිප දෙනෙක් කැඳවා ගනු ලබනමුත් දැන් ගෝලීයකරණයත් සමඟ ලොව ඕනෑම කෙනෙක්ට පහසුවෙන් ළඟාවිය හැකි නිසා ලොව විවිධ රටවල් තෝරාගෙන ඒ රටවල් වලට සේවාවේ හෝ මෘදුකාංගයේ නව වෙනස්කම ලබාදී පිරික්සීම හෝ විවෘතව මේ සඳහා සහභාගී වන ලෙස කැඳවුම් කරනවා.

ෆේස්බුක් ආයතනය නිතරම මෙම රටවල් අනුව තෝරාගත් පිරිසකට සේවා හඳුන්වාදීම් සිදුකරන අතර ඒ සඳහා ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුළු යුරෝපීය රටවල් නිතර සහභාගී කර ගැනෙනවා. එහිදී ඔවුන් පෙර තීරණය කරන ලද කාල සීමාවක් සඳහා නව පහසුකම හෝ සැකසුම වෙබ් අඩවිය හරහා තෝරාගත් රටට ලබාදෙන අතර බොහෝවිට පරිශීලකයන්ට ද නොදැනෙන සේ ඔවුන් එය භාවිතා කරන ආකාරය, ඊට දක්වන කැමැත්ත ආදී තොරතුරු රැසක් එක්රැස් කරගනු ලබනවා. ඉන් ලැබෙන ප්‍ර‍තිඵලවල සාර්ථකත්වය අනුව තමයි අනෙක් රටවල් සඳහා ද ඒ වෙනස්කම ලැබෙනවා ද නැත් ද යන්න තීරණය වෙන්නේ.

බීටා වෙළුමක් අත්විඳින හැටි

(droid-life.com)

තාක්‍ෂණික දැවැන්තයෙක්ගේ හෝ ඔබ ඇළුම් කරන, නිතර භාවිතා කරන යෙදුමක බීටා වෙළුමක් අත්විඳින්නට හැකියාව ලැබෙනවා නම් ඔබටත් ඔවුන්ගේ නවතම දේවල් දැකබලා ගනිමින් අන් හැමට ප්‍රථම ඒවා ගැන දැනගන්නටත්, අත්දැකීම් ලබන්නටත් හැකියාව ලැබෙනවා. මෙහිදී ඇන්ඩ්‍රොයිඩ් සඳහා ෆේස්බුක් ආයතනය විසින් ලබාදෙන වැඩි පිරිසකගේ සිත්ගත් සහ ලොව වැඩිපුරම භාවිතා වන යෙදුම් තුනක් වන ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් යන යෙදුම් තුන පිළිබඳව සලකා බැලෙනවා.

ගූග්ල් ප්ලේ ස්ටෝර් හරහා ඕනෑම යෙදුමක් නිපදවන්නා හට එහි බීටා වෙළුම් අත්හදා බැලීම සඳහා ඕනෑම කෙනෙක්ට අවස්ථාව ලබා දෙන්නට හෝ තෝරාගත් පිරිසකට යවන්නට හෝ හැකියාව ලබාදී තිබෙනවා. මේ අනුව ෆේස්බුක් සමාගම ද ඔවුන්ගේ යෙදුම්වල බීටා වෙළුම් අත්හදා බැලීම සඳහා ලබා දී ඇති අතර ඒවා හරහා ඔබට ද ඔවුන් කිසියම් නව පහසුමක් ලොවට නිකුත් කරන්නට ප්‍රථම ඒවා අත්විඳින්නට අවස්ථාව ලැබෙනවා. එහිදී අස්ථායීතා එනම් නිතර බිඳවැටීම්වලට ඔබට මුහුණ දීමට සිදුවීමේ ද අවධානමක් තිබෙන අතර ඔබ එවන් දෑට අකමැති නම් මෙය තෝරා නොගත යුතු බව සිහිතබා ගැනීම වැදගත්.

බීටා යෙදුම් සඳහා ඇතුලත් වීමට පහත ලින්ක් වලින් පිවිසෙන්න:

එහි ඇති Become a Tester යන්න ක්ලික් කොට ඇතුලත් විය හැකි අතර ඉන්පසු එම පිටුවේ පහතින් ඇති සබැඳිය හරහා බීටා යෙදුම බාගත කරගත හැකියි. මෑතකදී ප්ලේ ස්ටෝර් එකෙහි My Appsහි ඉහළ ඇති tabsවලට Beta යන නමින් තෙවැන්නක් ද එක් කර ඇති නිසා ඔබ මෙලෙස පිවිසෙන සියළු යෙදුම් එමඟින් බලාගත හැකි වෙනවා. ඔබට මින් ඉවත්වීමට අවශ්‍ය වුවහොත් ඒ වෙත ගොස් අවශ්‍ය යෙදුම තෝරා එම තිරයේ පහළින් ම ඇති You’re a beta testerහි Leave යන්න ක්ලික් කරන්න.

එහෙනම්, අළුත් ම දේවල් ඉක්මණින් ම දැනගන්නා අතරතුරේ මෘදුකාංග සංවර්ධකයන්ටත් අතහිත දෙන වැඩපිළිවෙලට ආයුබෝවන්!

කවරයේ පින්තූරය: vaiha.in

Related Articles