Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ පරිගණකයට Firewall එකක් අත්‍යවශ්‍ය ඇයි?

මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් වෙතිනි.

ඔබ Firewall ගැන මීට කළින් අහලා ඇති. සමහරවිට අහලා නැතුවත් ඇති. සමහරවිට ඔබ දැනටමත් ඔබගේ පරිගණක පද්ධතිය තුළ Firewall එකක් පාවිච්චි කරනවා ඇති. සමහරවිට එහෙම නොවෙන්නත් ඉඩක් තියෙන්න පුළුවනි. ඒ කරුණු කාරණා කොහොම වෙතත්, අපේ පරිගණකයට Firewall එකක් අත්‍යවශ්‍ය ඇයි? අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තුවන්නේ ඒ ගැනයි.

Firewall එකක් කියන්නේ මොකක්ද?

Firewall එකක් අවශ්‍ය ඇයි කියලා හොයන්න කළින් Firewall එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන ඉතා කෙටියෙන් හැඳින්වීමක් කරන්න අපි අදහස් කළා.

firewall එකක් නැතිව අන්තර්ජාලයට සම්බන්ධ වෙන විට. (linux4windows.com)

ඔබගේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත්නම් ඒ හරහා ඔබ සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්වන්නට ඉතා විශාල ඉඩක් පවතිනවා. ඒ යම්කිසි සයිබර් අපරාධකරුවෙක් විසින් ඔබගේ පරිගණක පද්ධතියේ ඇති ආරක්ෂක දුර්වලතාවයන් උපයෝගී කරගෙන ඒ හරහා ඔබගේ පරිගණකයට පිවිසීම මඟින්.

සරළවම කියනවානම්, මේ ආකාරයට ඔබගේ පරිගණකයට අනවසරයෙන් ඇතුළුවන සයිබර් අපරාධකරුවෙකුහට ඔබගේ බැංකු ගිණුම් විස්තර, On-Line accounts වල passwords, ඔබගේ වැදගත් ලියකියවිලි හෝ ඡායාරූප පමණක් නොවේ ඔබගේ පරිගණකයේ ඇති වෙබ් කැම් එක, මයික් එක ක්‍රියාත්මක කරගෙන ඒ හරහා ඔබ මේ මොහොතේ සිදුකරන දේවල් සජීවීව දැකබලාගන්න පවා හැකියාව තියෙනවා.

Firewall එක සහිතව අන්තර්ජාලයට සම්බන්ධ වෙන විට. (linux4windows.com)

Firewall එක ඔබගේ ආරක්ෂාවට එන්නේ මේ වෙලාවේදීයි. එය ඔබත් ඔබගේ පරිගණකය සහ අන්තර්ජාලය අතර බාධකයක් එහෙමත් නැතිනම් ආරක්ෂක තාප්පයක් ලෙසට ක්‍රියාකරනවා.

ඔබ විසින් අන්තර්ජාලයට නිකුත් කරන දත්ත සහ අන්තර්ජාලය ඔස්සේ ඔබ වෙත පැමිණෙන දත්ත යන මේ දෙකම Firewall එක මඟින් නිරන්තර පරික්ෂාවට ලක් කරනවා. යම් විදියකින් ඔබ විසින් ඉල්ලන ලද දෙයකට පරිබාහිර යමක් අන්තර්ජාලයෙන් ඔබට ලැබෙනවානම්, ඒ ලැබෙන දත්ත Firewall එක මඟින් ක්ෂණිකවම ඔබගේ පරිගණකයට ලැබීමට පෙර නවතා දමනු ලබනවා.

මේ නිසා දත්ත ලබාදෙන මුවාවෙන් සයිබර් අපරාධකරුවන්ට ඔබගේ පරිගණක පද්ධතිය තුළට ඇතුළුවීමට ඉඩ ලැබෙන්නේ නැහැ. Firewall එකක් හේතුවෙන් ඔබගේ ආරක්ෂාව වැඩිවන්නේ ඒ ආකාරයටයි.

Firewall එකකින් ආරක්ෂාව සැළසෙන හැටි. (juniper-firewalls.blogspot.com)

මේ අනුව Firewall එකක ක්‍රියාකාරීත්වය පිළිබඳව දළ අදහසක් දැන් ඔබට ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් අපි දැන් සාකච්ඡා කරමු, අපිට Firewall එකක් අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව.

1. අනවසර Remote Access වලින් ආරක්ෂා කරන්න

සයිබර් අපරාධකරුවන් දැන් හැමතැනම. (blog.internetcreations.com)

කෙනෙකුට වෙන්න පුළුවන් නරකම දේ තමයි, තමන්ගේ පරිගණකය වෙනත් පුද්ගලයෙකු විසින් වෙනත් තැනක සිට පාලනය කරනු ලැබීම. බොහෝ සයිබර් අපරාධකරුවන් විවිධාකාර හේතූන් නිසා මේ වැඩේ සිදුකරනවා.

නමුත් ඔබ හරි විදියට configure කරපු Firewall එකක් සහ සාපේක්ෂව හෝ අලුත් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරනවානම්, ඒ ආකාරයේ අනවසර Remote Access වලින් ඔබට ආරක්ෂා වෙන්න හැකියාව තියෙනවා. බොහෝ වේලාවල්වලදී Firewall එක මඟින් ඔබේ පරිගණකයේ ඇති Remote Access පහසුකම අක්‍රීය කිරීම සිදුකරනවා.

නමුත් තවත් දෙයක්, ඔබ තවමත් පාවිච්චි කරන්නේ මංකොල්ලකන ලද (Pirated) මෙහෙයුම් පද්ධතියක් නම්, Firewall එක සක්‍රීය කර තිබුණත් ඔබගේ පරිගණකයේ ආරක්ෂාව පිළිබඳව කිසිම ආකාරයකින් සෑහීමකට පත්විය නොහැකියි කියන එකත් සඳහන් කරන්නම අවශ්‍යයි.

2. අනවශ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම වළක්වන්නට

වෙබ් අඩවිවලට පිවිසීමත් පාලනය කළ හැකියි. (netfreerouter.com)

ඔබගේ පරිගණකයට හෝ පරිගණක ජාලයට අනවසර පුද්ගලයින් ඇතුළුවීම වළක්වනවා වගේම, ඔබේ පරිගණකය හෝ පරිගණක ජාලය භාවිතා කරනා පුද්ගලයින් විසින් අනවශ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම නවතා දමන්නටත් Firewall එකක් ආධාරයෙන් හැකියාව තිබෙනවා.

උදාහරණයක් විදියට ඔබගේ කාර්යාලයේ පරිගණක ජාලය තුළින් කාර්යාල වේලාවේදී Facebook, Twitter වැනි සමාජ ජාලවෙත සිදුකරන පිවිසීම නවතා දමන්නට මෙහිදී ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබගේ නිවසේ ඇති පරිගණක මඟින් කුඩා දරුවන්ට නුසුදුසු pornography, extreme sports, alcohol ආදී කාණ්ඩවලට අයත්වන වෙබ් අඩවි සඳහා පිවිසීම නතර කර දමන්නත් මෙහිදී ඔබට පුළුවනි. මේ නිසා කාර්යාල වේලාවන්හිදී ඉහළ ඵලදායීතාවයක් සහ කුඩා දරුවන් සිටිනා නිවසක් නම් අන්තර්ජාලය තුළ ඉහළ ආරක්ෂාවක් ලබාගැනීමට Firewall එකක් හරහා හැකියාව තිබෙන බවට පැහැදිලියි නේද.

3. හානිකර වැඩසටහන්වලින් පරිගණකය ආරක්ෂා කරන්න

ආරක්ෂාවට මුල්තැන. (myonlinesecurity.co.uk)

අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියෙන පරිගණකයක් තුළට නිරන්තරයෙන්ම නා නා ප්‍රකාර හානිකර පරිගණක වැඩසටහන් පැමිණෙන්නට තියෙන්නේ ඉතා ඉහළ ඉඩක්. Malwares, Virus, Worms, Spam ඒ අතරින් ප්‍රධානයි.

Firewall එක මඟින් නිරන්තරයෙන්ම මේ ආකාරයේ හානිකර වැඩසටහන් පරිගණකයට ඇතුළුවීමේ ඉඩ අහුරනවා. ඒ වගේම වඩාත් දියුණු Firewall පද්ධති විසින් ඒ ආකාරයේ හානිකර වැඩසටහන් පිළිබඳ සටහනක් තබාගැනීම සිදුකරනවා. ඒ හරහා පරිගණකයට හෝ ජාලයට පිටතින් පැමිණෙන හානිකර වැඩසටහන් හඳුනාගෙන ඒවා බැහැර කිරීම සිදුකරනවා.

පිටතින් පැමිණෙන අනවසර ඇතුළුවීමේ උත්සාහයන් සටහන් කරගැනීමත් වර්ථමානයේ ඇති බොහෝ Firewall මඟින් සිදුකරනවා. මේ සටහන් හරහා ඔබට පුළුවනි ඔබගේ පරිගණකයට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ අවස්ථාවන් සහ වැඩසටහන් පිළිබඳව විවරණයක යෙදෙන්නට.

4. වඩාත් ආරක්ෂිත Online Gaming අත්දැකීම් සඳහා

සෙල්ලම් කරන්නේ පරිස්සමෙන්. (economist.com)

අන්තර්ජාලයට සම්බන්ධ වී පරිගණක ක්‍රීඩාවන්ගේ නිරතවීම මේ වෙද්දි අපේ රට තුළ වගේම ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය ක්‍රියාවලියක්. ඔබත් Online Gamer කෙනෙක්නම්, Firewall එකක් හරහා ඔබගේ ආරක්ෂාව සහතික කරගන්න කියන එක තමයි අපේ නිර්දේශය.

ඒකට හේතුව මෙහෙමයි. නියමිත ආකාරයට ආරක්ෂක සැකසුම් සකස් නොකළ game servers බොහෝ සයිබර් අපරාධකරුවන් විසින් තමන්ගේ ඊළඟ ගොදුර ඩැහැගැනීමට සුදුසු භූමිය ලෙසට භාවිතා කරනවා. ඒ වෙනුවෙන්ම නිර්මාණය කරන ලද හානිකර වැඩසටහන් ඔවුන් විසින් මේ සඳහා භාවිතා කරනවා. මේ නිසා Online ක්‍රීඩා කරන්න කළින් ඔබගේ Firewall එක සක්‍රීය කරගැනීම මඟින් ඒ ආකාරයේ සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්වීමෙන් වැළකෙන්න පුළුවන්.

5. ඔබගේ Network Bandwidth එක පාලනය කරන්න

(7labs.heypub.com)

බොහෝ දෙනෙකුට තියෙන පොදු ප්‍රශ්නයක් තමයි තමන්ගේ ජාලයේ දත්ත ගමන්කරන වේගය නියමාකාරයට පාලනය කරගන්න නොහැකි වීම. වේගවත් Broadband සම්බන්ධතාවයක් තියෙන අපේ රටේ බොහෝ කාර්යාලවල මාසික අන්තර්ජාල දත්ත ප්‍රමාණය ඉතා වේගයෙන් අවසන්වීම පිළිබඳව වූ ගැටළු සහ මැසිවිලි අපිට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. Firewall එකක් භාවිතය මඟින් ඒ ගැටළුවටත් පිළියමක් යෙදීමට පුළුවනි.

උදාහරණයක් විදියට කාර්යාලීය කටයුතු සඳහා අවශ්‍ය නොවන සංගීත, වීඩියෝ, ඡායාරූප වැනි දත්ත ගොනු සඳහා යම් යම් වේග සීමාවන් පැනවීම තුළින් කාර්යාලයට අදාල කටයුතු සඳහා වැඩි වේගයකින් දත්ත ගමනාගමනය සිදුකිරීම සිදු කළ හැකියි. ඒ වගේම අනවශ්‍ය පරිදි වැයකරන දත්ත ප්‍රමාණය පාලනක කිරීමත් සිදුකරන්නට පුළුවනි.

මේ කරුණු පිළිබඳව සැළකීමේදී ඔබගේ පරිගණකය සඳහාත් Firewall එකක් අත්‍යවශ්‍ය ඇයි කියලා ඔබම තේරුම් ගන්න ඇති කියලයි අපිට හිතෙන්නේ. අද ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරන Windows 7, Windows 8 හෝ Windows 10 මෙහෙයුම් පද්ධති සඳහා Firewall සක්‍රීය කරගන්න ආකාරය පිළිබඳව ලියවුන ලිපි අන්තර්ජාලයේ ඕනෑතරම් සොයාගන්න පුළුවනි.

ඒ කටයුත්ත සිදුකරගන්න අවශ්‍ය තාක්ෂණික දැනුම ඔබට නැතිනම්, ඒ සඳහා සුදුසු කෙනෙකුගේ සහය ලබාගෙන හෝ මේ ආකාරයට ආරක්ෂිත වීම සුදුසුයි කියලයි අපිටනම් හිතෙන්නේ. ඇපල් මැක් පරිගණකවල Firewall සක්‍රීය කරන්නේ මේ විදියටයි. ඒ වගේම ලිනක්ස් පාධක මෙහෙයුම් පද්ධති සඳහාත් Firewall සක්‍රීය කරගන්න ආකාරය ගැන මේ තැන්වලින් ඔබට කියවන්න පුළුවනි.

ඒ වගේම ඔබ අන්තර්ජාලයට සම්බන්ධවීමට උපයෝගී කරගන්නා රවුටරයේ Firewall පහසුකම තිබෙනවානම්, එයත් සක්‍රීය කරගැනීම ඉතා වැදගත් දෙයක්. ඒ වගේම මීට අමතර තවත් Firewall මෘදුකාංග විශාල ප්‍රමාණයක් අද වෙළඳපොළේ තියෙනවා.

Firewall එක සක්‍රීය කරගත්තම මගේ පරිගණකය සම්පූර්ණයෙන්ම ආරක්ෂිතද?

ඔබ අපෙන් එහෙම අහන්න පුළුවනි. පැහැදිලිවම නැහැ, Firewall එකට පමණක් ඔබව සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන්න බැරි බවත් මෙහිදී සඳහන් කරන්නම අවශ්‍යයි. නමුත් ඔබට හොඳ ආරක්ෂාවක් ලබාදෙන්න Firewall එකට පුළුවනි. ඔබ, අපි සියළුදෙනාම කැමතියි ආරක්ෂිතව ඉන්න.

ඉතින් එහෙමනම් ආරක්ෂාව සඳහා ගන්න පුළුවන් හැම ආකාරයකම ක්‍රියාමාර්ගයන් ගන්න එක නේද කරන්න සුදුසුම දේ?

ඩයලොග් - ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි සංදේශ සේවාදායකයා.

ඩයලොග් – ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි සංදේශ සේවාදායකයා.

කවරයේ පින්තුරය: (pcworld.com)

Related Articles