තුවානම සිඹ කුණාටුව ලෙස - ඉරණවිලගින් නගී ගිනි කඳ


වසර 23 ක් තිස්සේ තානාපති මුක්තිය යටතේ පවත්වාගෙන ගිය ඉරණවිල සම්ප්‍රේෂණාගාරය වසා දැමීමට තීරණය කර ඇත. කෙටි තරංග විකාශන ශ්‍රාවකයින් ප්‍රමාණය අඩු වීම සහ කෙටි තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමේදී අවශ්‍ය ඉහළ පිරිවැය හේතුවෙන් මෙය වසා දැමූ බව හේතු ලෙස දක්වා තිබිණ. පිටස්තරයින්ට ඇතුළු වීමට තහනම් මේ බිම් ප්‍රදේශය පිළිබඳව අදවන විට පැතිරී ඇති නොයෙක් කටකතා සහ ජනප්‍රවාදයන්ට ඔබ්බෙන් සැඟවුණු අතීතයක් ඇත.

ඉරණවිලට ඇත්තේ  නොසිඳෙන වේදනාවකි. ඇවැසි නම් හඬන්නට ඕනෑතරම් කඳුළු එහි ඇත..
ඉරණවිල යන නාමය මුල් වරට කරළියට එන්නේ 1991 වසරේදීය. මිලියන 40ක ආයෝජනයකින් වයඹදිග මුහුදු වෙරළේ ඉදිකෙරෙන තරු පහේ හෝටලයක් සමග ඉරණවිල ඉදිකෙරෙන ඇමරිකානු කෙටි තරංග සම්ප්‍රේෂණාගාරයක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් විය.බිම්මට්ටමේ දීම එල්ල වූ විරෝධතා මධ්‍යයේ තරුපහේ හෝටලය අකුලා ගත්තද කෙටිතරංග සම්ප්‍රේෂණාගාරය නොනැවතී දියත් විය.
ඉරණවිල කෙටිතරංග සම්ප්‍රේෂණාගාරය 
ඒ අනුව රජය විසින් හෙක්ටයාර 400 ක් එනම් අක්කර 988 ඇමරිකාව වෙත ලබා දුන් අතර ගම්වාසීන්ගේ විරෝධතා පැණ නැගිණ. පසුව එම භූමි ප්‍රමාණය හෙක්ටයාර 160 ක් එනම් අක්කර 395 ක් දක්වා අඩු විය.නුමුදු උද්ඝෝෂණ එසේමය. තානාපති මුක්තිය යටතේ පාලනය වන මෙම භූමි භාගය හේතුවෙන් ගම්වාසීන් ට වන හිරිහැර සහ ගැහැට පිළිබඳ වාර්තා වන්නේ මේ අතරවාරයේ දීය. මේ බිම් හරහා ගමන් කිරීම තහනම් කිරීම ධීවරයින්ට මහත් හිරිහැරයක් වූ අතර ආරක්ෂිත කලාපය ආශ්‍රිත ජල මූලාශ්‍ර වල ධීවර කටයුතු වල යෙදීමට ද බාධා ඇති විය. මෙලෙස පීඩාවට පත්වන ධීවර ජනතාව වෙනුවෙන් සංවිධාන පිහිටුවාගනු ලැබූ අතර ඒ සඳහා ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන වල ද නොමද සහාය ලැබිණ. මේ සුවිසල් භූමි භාගය් තුළ සිදුවන පරිසර විනාශය සහ සම්ප්‍රේෂණාගාරයක් හරහා ප්‍රදේශ වාසීන්ට එල්ලවන සෞඛ්‍ය උවදුරු පිළිබඳව ද ආගමික නායකයින් ප්‍රශ්න කරනු දක්නට ලැබිණ. එහිදී හෙළි වූ කරුණක් වූයේ මෙය 1983 වසරේ දී පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැනුණු සම්මුතියක් මත ක්‍රියාත්මක වන්නක් බවය. Voice of America හෙවත් "ඇමරිකන් හඬ" නාලිකාවේ අග්නිදිග ආසියානු සම්ප්‍රේෂණාගාරය ලංකාවේ ස්ථාපිත වන්නේ එලෙසය .
මූලික යෝජනාව ඉදිරිපත් වූ 1991 වසරේ දී , එවකට සිටි පාරිසරික ඇමතිවරයා මේ සම්මුතිය අරභය පවසන ලද්දේ " පොල් ගස් කිහිපයක් කැපීම හැරෙන්නට වෙනත් පරිසර හානියක් සිදු නොවේ" යනුවෙනි. නමුත් 1993 වන විට එම " කිහිපය " පොල්ගස් 3,000 ද ඉක්මවා ගොස් තිබිණ. 1994 අගෝස්තු 16 වැනිදා 17 වසරක එජාප පාලනය අවසන් කරමින් මහමැතිවරණය අවසන් වූ අතර අගෝස්තු 19 වැනිදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ නව කැබිනෙට්ටුව දිවුරුම් දෙන ලදි. නමුත් නිමාවක් නොමැතිව දිගින් දිගටම ධීවරයින්ට එල්ල වන බාධා මධ්‍යයේ මේ ඉදිකිරීමට එරෙහිවන්නට ඉරණවිල සහ හලාවත ප්‍රදේශවාසීන් තීරණය කළහ.

බිෂොප් ෆ්‍රෑන්ක් මාර්කස් ප්‍රනාන්දු පියතුමා 
1994 ඔක්තෝබර් 04 වැනිදා හලාවත දියෝකීසියේ බිෂොප් ෆ්‍රෑන්ක් මාර්කස් ප්‍රනාන්දු පියතුමන් ප්‍රමුඛ විරෝධතාකරුවන් ඉරණවිල වෙන්කළ ඉඩම අවහිර කරන්නට කටයුතු කරති. පොලිසිය උද්ඝෝෂකයින්ට පිළිතුරු සපයන්නේ ජීව උණ්ඩ වලිනි. එක් ධීවරයෙක් වෙඩි වැදී බරපතල තත්ත්වයේ පසුවන බව අසන නියෝජ්‍ය ඇමතිවරුන් වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ සහ මිල් රෝයි ප්‍රනාන්දු හෙලිකොප්ටරයකින් ඉරණවිල ට ළඟා වේ. අගමැතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙඩිතැබීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමටත් නියෝජ්‍ය පොලිස්පති එස්.ජී රන්දෙණි සහ පොලිස් අධිකාරි බී.එම් ප්‍රේමරත්න යළි කැඳවීමට නියෝග දෙයි. ඉරණවිල ඉදිකිරීම් තාවකාලිකව අත් හිටුවන ලදි
බෙනඩික්ට් ප්‍රනාන්දු 
1994 වසරේ ඔක්තෝබර් 04 වැනිදා එල්ල වූ පොලිස් වෙඩි පහරින් බෙනඩික්ට් ප්‍රනාන්දු නම් වූ ධීවරයා ජීවිතක්ෂයට පත් විය. අදටත් ඉරණවිල සුළඟ පවසන්නේ ඒ අමතක වූ අමිහිරි අතීතය පිළිබඳවය. වැඩිදියුණු කිරීම් සමග ඉරණවිල ඉඩම කෘතඥතා පූර්වක ආපසු ශ්‍රී ලංකා රජයට භාරදෙන බව පවසන ඇමරිකානු තානාපති කාර්යාලයට ද බෙනඩික්ට් ප්‍රනාන්දුගේ ජීවිතය අමතක වී ඇත. 

"බලන් අවරග පිපී හිනැහෙන" යනුවෙන් නිලාර් එන් කාසිම් ලියූ "ඉරණවිල වේදනාව " නම් වූ ගීතය එවකට රජය විසින් ගුවන් විදුලියෙන් වාරණය කරන ලද්දේ අපට ඉරණවිල ගැන අමතක කිරීමටය. අද වන විට එදා බලෙන් අමතක කරන්නට සැදූ බොහෝ දේ අපට අමතකම වී ඇත.

බලන් අවරග පිපී හිනැහෙන
මහලු ඉර මල හිඳී ව්‍යාධිව

සෙක්කලේ යන තෙප්පමේ අග

පුංචි කඳුළක් නැඟෙයි අවදිව

කළු වලා මැද පියාපත් හැර
ඈත සමුදුර ගෙවාගෙන එන
මිනී කන ගිජු ලිහිණියන්ගේ
විදුලි නාදය ඇසී ගහකොළ  - සැලෙයි තැති ගෙන

ඉරුණු හිතකට කඳුළු කුමටද
කැකෑරෙන රොස කන්සලා එන
තුවානම සිඹ කුණාටුව ලෙස
ඉරණවිලගින් නගී ගිනි කඳ 

පියාපත් හැර පියාඹා එන
මිනී කන ගිජු ලිහිණියන්
යළිදු නොයවා ගයන ගීතය
කුමට නුඹ මා අසනු සකිසඳ
කුමට නුඹ මා අසනු සකිසඳ

ගායනය                   : ප්‍රදීපා ධර්මදාස | අමරසිරි පීරිස්  | සමන්ත පෙරේරා
පද රචනය               : නිලාර් එන්. කාසිම්
තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


                                      


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment