ලෝකෙන් ලොකුම එක නම් - ඒක අපේ එක


"ගාලු මුවදොර ඉදිකෙරෙන ලෝකයේ උසින් වැඩිම නත්තල් ගහ ගැන ඔබගේ අදහස කුමක්ද කියල තමයි සාකච්ඡාව පවත්වන්නේ" සේවකයා යළිත් වරක් පවසා සිටියේය.
අනෙක් පස සිටි පුද්ගලයාට එය වැටහුණු පාටක් නැත. "ගාල්ලේ හදන ඒවා ගැන අපි මොකට වදවෙනවද ? හැබැයි හයිවේ එකකුත් තියෙන එකේ අපිටත් බලන්න යන්න පුළුවන් ඕනේ නම්"
සේවකයා ඉවසීමෙන් යුතුව ගාලු මුවදොර යනු කුමක්දැයි පහදා දුන්නේය.
"අහා ! මේ කොළඹනේ.... ගෝල්ෆේස් ! හරි-හරි.. ඉතින් ඇයි කවුරුත් අටපට්ටමක් හදන්නේ නැත්තේ. එතන ලොකු ඉඩක් තියනවනේ. හනසු - පොල් කොළ වගේ දේවල් වලින් හැදුවා නම් තමයි අගේ වැඩි"
වෙසක් කූඩු සාදන්නේ වෙසක් උත්සවයටය. සේවකයා ඒ බව සැණින් පවසා සිටියේය.
"ෂහ් ..... මේ වෙසක් නෙමේ නේන්නම්. ඉතින් අපිට පුළුවන්නේ ගෝල්ෆේස් වල "නරිබෑණා " පෙන්නන්න . එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා ගිය මාසේනේ නැති වුණේ.
එවර නම් සේවකයා වැටුණේ ලොකුම අමාරුවකටය. නරිබෑණා යනු සරච්චන්ද්‍රයන් ගේ නාට්‍යක් නොවන බවත් මෑතකදී පරලෝසැපත් වුණේ පණ්ඩිත් අමරදේවයන් බවත් පවසන විට ඔහුට දහඩිය ද දමා තිබිණ.
"හරි දෙයියනේ .. කාගෙ වුණත් මොකෝ. නරිබෑණා පෙන්නන්න කියමුකෝ. හැමෝම ආසයි ඔය ශේක්යෂ්පියර් නාට්‍ය බලන්න... මේ මම වුණත් ආසයි ... "
නරි බෑණා යනු ශේක්ෂ්පියර් නාට්‍යක් නොවන බව නොදත් නමුත් එය නත්තලට පෙන්වන නාට්‍යක් නම් නොවන බව පහදා දෙන්නට සේවකයා ඉවසිලිවන්ත විය..
"ඕ .. හෝ .. නත්තල .. මම මේ අහන්නමයි හිටියේ . ඒ මොකක්ද හැබෑට? මේ හදිසියේ දැන් ගහකුත් හදන්නේ ? "
ඉමහත් ප්‍රීතියට පත් සේවක තැන ජේසු බිළින්දාගේ උපතේ සිට ලැප්ලන්තයෙන් එන නත්තල් සීයා දක්වාම කතාව රසකරමින් පවසන්නට විය.
"ෂහ් !! මරුනේ හලෝ"  අනෙක් පුද්ගලයා පුටුවෙන් උඩ පැන අත්පුඩියක්ද ගැසුවේය.  "දැන් ඔහේ කියන්නේ නත්තල් සීයා කියන කෙනා ඉල්ලන ඕනෙම දෙයක් දෙනවා කියලා ? .. හ්ම්ම්ම්......" ඔහු කල්පනා කරන්නට විය. "මම මේ හිතුවේ මං මොනවද ඉල්ලන්න ඕනේ කියලා"
කලබලයට පත් වූ සේවකයා යථාර්ථය පහදන්නට විය. "ඇත්තටම.. අපිට නෙමෙයි තෑගි . ඒවා පොඩි ළමයින්ට විතරයි"
අනෙක් පුද්ගලයා කණගාටුවෙන් සුසුමක් හෙළයි. "එහෙනම් මොනව කරන්නද ? අපිත් එදාට ගෝල්ෆේස් යමු. ගිහින් කැන්ඩි ෆ්ලොස් කමු. "
නොඉවසිලිවන්ත වූ සේවකයා පැවසූ පණිවිඩය නැවතත් පවසයි. "ඒ හදන්න යන නත්තල් ගහ ගැන තමයි ඔබතුමාගේ අදහස අහන්නේ"
"මොන මගුලක්ද මේ ? ඇයි අයිසේ ඔය දේවල් මගෙන්ම අහන්නේ ?" අනෙක් පුද්ගලයා කෝපාවිෂ්ඨ වනු දැක සේවකයා බැගෑපත් වී කණට කොඳුරයි.
"ෂ්.. කෑගහන්න එපා. ඔබතුමානේ දැන් ලංකාවේ කාඩිනල් තුමා.ඒ නිසයි ඔබතුමාගෙන් ම අහන්නේ. නැතුව තරහකට නෙමේ නේ"
කාදිනල් තුමා විස්මයට පත්විය.
"අඩ්ඩඩ්ඩා .. ඕක කලින් කියන්න එපැයි. කෝ දෙනවා බලන්න ඔය ලැප්ටොප් එක. ඔහු සේවකයාගෙන් ලැප්ටොප් යන්ත්‍රය උදුරා ගන්නේය. "දැන් ඉතින් මොනාහරි වැදගත් දෙයක් කියන්න වෙනවනේ "
----------------------------------------------------------------------------------------
පසුදා පැවති කාදිනල් තුමන් ප්‍රමුඛ මාධ්‍ය හමුව සාර්ථක ලෙස අවසන් වූ අතර නත්තල් ගස සෑදීමට යන මුදල් දිළිඳු පවුලකට හෝ පාසල් ළමුන්ගේ යහපත වෙනුවෙන් වෙන්කළ හැකි නම් එය ඉතා අගනා බවද උන්වහන්සේ පෙන්වාදුන්නේය.

2016 දෙසැම්බර් 08 
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment