මාර්තු 08 : Fight of the Century - "සියවසේ බොක්සිං සටනෙන්" මොහොමඩ් අලි පරාජයට පත් වේ




1971 වසරේ අද වැනි දවසක පැවැති "සියවසේ බොක්සිං සටනෙන්" ලෝක හෙවිවේට් සූර මොහොමඩ් අලි පරාජයට පත් විය.
Fight of the Century ලෙස විරුදාවලිය ලද මේ තරගය පැවැත්වුණේ මෑන්හැටන් නගරයේ මැඩිසන් චතුරස්‍රයේදීය. කළු ජාතික ඇමරිකානුවන් දෙදෙනෙකු වූ මොහොමඩ් අලි සහ ජෝ ෆ්‍රේසර් ලෝක සූරයා වීමේ අරමුණින් තරග වැදුණහ.


1960 වසරේ සිට අඛණ්ඩව තරග 29 ක් ජය ලබා සිටි මොහොමඩ් අලි 1967 දී තරග තහනමකට ලක් වේ. ඒ යුධ සේවයට බැඳෙන ලෙස ඇමරිකානු රජයෙන් ලද නියෝගයට පිටුපෑමට ලැබෙන දඬුවමක් ලෙස ය. උපතින් කැෂියස් මාර්සෙලස් ක්ලේ ලෙස උපත ලබා පසුව ඉස්ලාම් ලබ්ධිය වැළඳ ගත් මොහොමඩ් අලි තමාට වියට්නාම වැසියන් සමග සටනක් නැතැයි පවසා රජයේ නියෝගය ප්‍රතික්ෂේප කළේය.එහි ප්‍රතිඵලය පැහැදිලිය. 1967 අප්‍රේල් මස 28 වැනිදා සිට ඔහුගේ ලෝක බොක්සිං හෙවිවේට් කිරුළ අහිමි කරන ලද අතර ඔහුට එරෙහිව තරග තහනමක්ද පැණවිණ. වසර තුනකට පසු එනම් 1970 දී යළිත් තරග බිමට පිවිසෙන අලි , පළමු තරග දෙකේදීම ජයග්‍රහණය ලබා ක්‍රීඩා ලෝකයේ මහත් කැළඹීමක් ඇති කිරීමට සමත් විය.

ජෝ ෆ්‍රේසර් තරග බිමට එන්නේ 1965 වසරේ සිටය. අඛණ්ඩව තරග 26 ක් ජය ලැබූ ෆ්‍රේසර් ඒ වන විටත් ලෝක සූරයා ලෙස අභිෂේක ලබා සිටියේය. අනෙකුත් සෑම ක්‍රීඩකයෙක්ටත් වඩා මොහොමඩ් අලිගේ අධිකාරී බලයට අභියෝග කිරීමේ හැකියාවෙන් යුතු වූ ෆ්‍රේසර් බොක්සිං ලෝකයේ නව ශක්තිවන්තයා වී සිටියේය. තරග තහනමෙන් පසු කරළියට පිවිසි හිටපු ලෝක සූරයා වන අලි සහ ඔහු නොමැති අවසරයෙන් ලෝක සූරයා බවට පත් වූ ෆ්‍රේසර් අතරින් සැබෑ ලෝක සූරයා කවුදැයි බොහෝ දෙනෙක් තුළ කුකුසක් පැණ නැගිණ. 1971 දී සියවසේ සටන ලෙස ක්‍රියාත්මක වන්නේ එලෙස සැබෑ ලෝක සූරයා සොයා ගිය වත්මන් සූරයින්ගේ බොක්සිං තරගයයි.


තරග වට 15 කින් මේ ලෝකප්‍රකට බොක්සිං සටන නිම වූයේ ජෝ ෆ්‍රේසර් ට ඉතිහාසගත ජයක් සහ මොහොමඩ් අලිට ඉතිහාසගත පරාජයක් හිමි කර දෙමිනි. තම පරාජය " සුද්දන්ගේ සැලැස්මක්" යැයි ඇඟවෙන අයුරින් කටයුතු කළ මොහොමඩ් අලි කෙටිකලක් මාධ්‍ය සහ මහජනයාගෙන් මදක් දුරස්ව සිටියේය. නැවතත් 1974 දි සහ 1975 දී ජෝ ෆ්‍රේසර් බොක්සිං වළල්ල තුළ දී මුණ ගැසුණු අවස්ථාවන් දෙකෙහිදීම ජය ගැනීමට අලි සමත් විය. නමුත් ඉතිහාසගත සියවසේ සටන ලියැවෙන්නේ ෆ්‍රේසර් ගේ නමටම ය.


ජෝ ෆ්‍රේසර් 2011 නොවැම්බර් 07 වැනි දින 67 වැනි වියේදී ආමාශයේ පිළිකාවකින් මෙලොවින් සමු ගනී. එදා මැඩිසන් චතුරස්‍රයේ දී තමාට බිම වැටෙන්නට වමත් මුෂ්ටි පහරක් එල්ල කළ ප්‍රතිමල්ලවයා මිය ගිය පුවත අසා 69 හැවිරිදි මොහොමඩ් අලි බොහෝ සෙයින් කම්පාවට පත් විය. ෆ්‍රේසර් ගේ වියෝව තමන්ගේ ඇසට කඳුළු ගෙන ආ බැව් පවසා වියපත් මොහොමඩ් අලි ශෝක ප්‍රකාශයක් ද නිකුත් කළේය. ඉන් වසර පහක් ගිය තැන 2016 ජූනි මස 03 වැනිදා මොහොමඩ් අලි ද බොක්සිං වළල්ලත් , ජීවිත සටනත් අතැර මෙලොවින් සමුගන්නේය.
නමුත් ඔවුන් ශේෂ කළ ස්වර්ණමය ඉතිහාසය තවමත් එලෙසින්ම පවතී. මතුවටද පවතිනු නිසැකය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment