තියුණු තරගයකින් ශ්‍රී ලංකා A කණ්ඩායම එංගලන්තය පරදවයි

754
England Lions v Sri Lanka A 4 days 2nd test

සංචාරක එංගලන්ත ලයන්ස් පිළ සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 3ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට අද (27) ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත සිව්දින ටෙස්ට් තරගාවලිය අද 1-1ක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් විය. විශේෂත්වය වන්නේ ප්‍රථම දිනයේ සම්පූර්ණ වාසිය ප්‍රතිවාදී එංගලන්ත කණ්ඩායම සතු වූවත් අනෙක් දිනයන්හිදී ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් ශක්තිමත්ව තරගයට අවතීර්ණ වීමයි.

ජයග්‍රහණයට දොරටු විවර කරමින් දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (26) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය.

මීට දින හතරකට පෙරාතුව රංගිරි දඹුල්ල තණතිල්ල මත දී කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක කීතන් ජෙනින්ග්ස් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබාගත් අතර ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ එංගලන්ත පිතිකරුවන් ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 353ක් රැස් කිරීමට සමත් වූහ. එංගලන්ත පිළේ මැදපෙළ පිතිකරු ලියාම් ලිවින්ග්ස්ටන් කණ්ඩායමේ නැංගුරම බවට පත්වෙමින් ශතකයක් වාර්තා කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුකරණයේ වගකීම සම්පූර්ණයෙන්ම තම කරපිට පටවා ගත් මලින්ද පුෂ්පකුමාර කඩුලු 8ක් බිඳ හෙලීය.

දැවැන්ත ලකුණු ගණනක් හඹා යාමට සිදු වූ ශ්‍රී ලංකා පිළේ මුල්පෙළ කඩුලු 3ක් ලකුණු 30ක් තුල බිඳ වැටී අසරණ වූ අවස්ථාවේ පිටියේ එක්වුනු දිමුත් කරුණාරත්න (212) සහ සදීර සමරවික්‍රම (185) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 315ක අති විශිෂ්ට සබඳතාවයක් පැවැත්වීම නිසා ශ්‍රී ලංකාවට නැවතත් ජය මාවතට අවතීර්ණ වීමට හැකි විය. මොවුන් දෙදෙනාම තම පළමුපෙළ ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාවන් වාර්තා කරමින් දැක්වූ දායකත්වයත්, නායක ධනංජය සිල්වාගේ ලකුණු 74ත් නිසා ශ්‍රී ලංකාවට තම ප්‍රථම ඉනිම ලකුණු 548ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි විය.

ඒ අනුව ලකුණු 195ක පුරප්පාඩුවක් සමගින් තම දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදු වූ ලයන්ස් පිළට ඒ වන විට සිදුව තිබුණේ ජයග්‍රහණය කෙසේ වෙතත් තරගය බේරා ගැනීම සඳහා පිතිකරණයේ යෙදීමටයි. නමුත් අද අවසන් දිනයේ දී සටන්කාමී පන්දු යැවීමක නිරත වුනු ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 284කට සීමා කළහ. ප්‍රථම ඉනිමේ දී මෙන් මලින්දව තනි නොකල සහයක පන්දු යවන්නන් එක් අන්තයකින් කඩුලු බිඳ හෙලද්දී මලින්ද අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වෙමින් දෙවැනි ඉනිමේ දී ද කඩුලු 5ක් බිඳ හෙලීය. දකුණත් පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 3යි. ශ්‍රී ලංකා පිළේ දඟ පන්දු තර්ජනයට සාර්ථක පිළිතුරක් ලබා දීමට සමත් වූ එකම පිතිකරුවා ලෙස ලියාම් ලිවින්ග්ස්ටන් දෙවැනි ඉනිමේ දී ද නොදැවී ලකුණු 140ක් රැස් කළේය.

ඒ අනුව අද සන්ධ්‍යා කාලයේ දී අඩු පන්දුවාර සංඛ්‍යාවක් තුල දී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 90ක ඉලක්කයක් හිමි වූ ශ්‍රී ලංකා පිතිකරුවන් කෙසේ හෝ ජය කණුව පසු කර යාමේ අදිටනින් වේගවත් පිතිහරඹයක යෙදෙන්නට විය. පෞද්ගලික ලකුණු සංඛ්‍යාවන්ට වඩා ජයග්‍රහණය උතුම් කොට සැලකීම නිසා දෙවැනි ඉනිමේ කඩුලු 7ක් අහිමි වූවත් අවසානයේ දී පන්දුවාර 17යි පන්දු 4ක් ගත වන තැන අදාළ ඉලක්කය පසු කර ගොස් ජයග්‍රහණයේ සතුට සැමරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය. ඒ වෙනුවෙන් උදාර ජයසුන්දර ලකුණු 32කින් ද, ධනංජය සිල්වා ලකුණු 23කින් ආධාර විය.

ඉතාම අවාසිදායක ආරම්භයක් තරග ජයග්‍රහණයක් දක්වා ගෙන යන්නට හැකි වූ මෙම ජයග්‍රහණය පසුපස සිටි දැවැන්ත සෙවණැලි බවට පත් වූයේ ද්විත්ව ශතකයක් රැස්කල දිමුත් කරුණාරත්න, තම ක්‍රිකට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කල යොවුන් පිතිකරු සදීර සමරවික්‍රම සහ පන්දුවෙන් කඩුලු 13ක් බිඳ හෙලූ මලින්ද පුෂ්පකුමාර යන ක්‍රීඩකයින්ය. මෙම දක්ෂයින් තිදෙනාට බොහෝ දුරට හෙට නම් කිරීමට නියමිත බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමි වනු ඇත. මේ සියල්ල මැද සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය එළඹෙන මාර්තු දෙවැනි දා මෙම ක්‍රීඩාංගණයේ දීම ආරම්භ වීමට නියමිතව ඇත.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 353 (පන්දුවාර 97.5): ලියාම් ලිවින්ග්ස්ටන් 105, ටොම් වෙස්ට්ලි 68, කීතන් ජෙනින්ග්ස් 44, බෙන් ෆෝක්ස් 30, මලින්ද පුෂ්පකුමාර 8/127, අසිත ප්‍රනාන්දු 1/41, ධනංජය ද සිල්වා 1/44.

ශ්‍රී ලංකා A කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 548 (පන්දුවාර 135.2): සදීර සමරවික්‍රම 185, දිමුත් කරුණාරත්න 212, ධනංජය ද සිල්වා 74, ජෙෆ්රි වැන්ඩර්සේ 26, මලින්ද පුෂ්පකුමාර 20, ඔලී රේනර් 4/164, රෝලන්ඩ් ජෝන්ස් 3/67, ටොම් කුරාන් 2/74.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 284 (පන්දුවාර 92.1): ලියාම් ලිවින්ග්ස්ටන් 140*, බෙන් ෆෝක්ස් 54, කීතන් ජෙනින්ග්ස් 18, මලින්ද පුෂ්පකුමාර 5/78, ජෙෆ්රි වැන්ඩර්සේ 3/102, ධනංජය ද සිල්වා 2/47.

ශ්‍රී ලංකා A කණ්ඩායම (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 90 (පන්දුවාර 17.4): උදාර ජයසුන්දර 32, ධනංජය ද සිල්වා 23, ටොම් කුරාන් 4/38, මැතිව් ලීච් 2/3, ඔලී රේනර් 1/17.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට