ගුටි හරඹයේ කළු පැල්ලම මකා දැමු වෙස්ලි විදුහල්පතිගේ නිහතමානීත්වය

21208
Trinity

පාසල් රග්බි තරග වාරය ආරම්භයේ දීම වෙස්ලි-ත්‍රිත්ව විද්‍යාල දෙක අතර ඇතිවූ ගැටුම්කාරී වාතාවරණයෙන් පසුව රග්බි ක්‍රීඩාවට ඇතිවූ කළු පැල්ලම මකාලමින් වෙස්ලි විද්‍යාලයීය විදුහල්පතිතුමන් විසින් ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් නිල වශයෙන් සමාව භජනය කළ ආකාරය, ක්‍රීඩාවේ ජීව ගුණය තවදුරටත් රැක ගැනීම වෙනුවෙන් ගන්නා ලද වටිනා පියවරකි.

ත්‍රිත්ව – වෙස්ලි ගුටි කෙළියක; පීතරයෝ ජය පැන් බොති

පාසල් රග්බි සැණකෙළිය ආරම්භ කරමින් අද (24) පැවති තරග ද්විත්වයෙන් ජයග්‍රහණය වාර්තා කරන්නට මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

ක්‍රීඩාව වෘත්තීය මට්ටමට පැමිණෙත්ම එහි ජීව ගුණය රඳවා ගැනීමට බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩකයන් පවා අසමත් වන බැව් අපට දිනෙන් දින දිස්වේ. එබැවින් ඔවුන්ගේ මඟ යන නව යොවුන් පාසල් ක්‍රීඩකයන් ද ජයග්‍රහණය ගැන පමණක්ම සිය අවධානය යොමු කරන්නේ ක්‍රීඩාවේ ගෞරවය මඳකට හෝ මායිම් නොකරමිනි.

පසුගිය සිකුරාදා පැවැත්වුණු 2017 තරග වාරයේ පළමු තරගයේ දී ත්‍රිත්ව විදුහල සිය දසවැනි උත්සාහක දිනුමත් වාර්තා කිරීමත් සමඟම පෙර කී ගැටුම්කාරී තත්වය ඇතිවිය. උරහිසින් කරන ලද තල්ලුවක් නිසා ක්‍රීඩකයන් අතර ඇතිවූ ගැටුම පසුව නරඹන්නන් අතරට ද පැතිර ගිය බැවින් පිටිය තුළ දිස්වූයේ සම්පුර්ණයෙන්ම ගුටි හුවමාරුවකි. පසුව විනිසුරුවරුන් සහ පොලීසියේ මැදිහත් වීමෙන් තත්වය සමථයකට පත්විය.

තරගයෙන් අනතුරුව ත්‍රිත්ව විද්‍යාලයීය විදුහල්පතිවරයා වෙත ලිපියක් යවමින් වෙස්ලි විද්‍යාලයීය විදුහල්පති අවංක ප්‍රනාන්දු මහතා, තමන්ගේ ක්‍රීඩකයන් අතින් සිදු වූ සියලු වැරදිවල වගකීම තමා වෙතට පවරා ගනිමින්, පවතින තත්වය තුළ දී මුහුකුරා ගිය වැඩිහිටියකුගේ වගකීම් සහිත භාවය මනාව පිළිබිඹු කළේය.

“මම පෞද්ගලිකව ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරයාට කතා කරලා සමාව ඉල්ලුවා වගේම ත්‍රිත්ව විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ හැමෝටමත් කතා කරලා මගේ කණ්ඩායමේ පුතාලගේ නොමනා හැසිරීම ගැන සමාව ඉල්ලා හිටියා.” එසේ පැවසූ ඔහු තවදුරටත් කියා සිටියේ වෙස්ලි විද්‍යාලයීය රග්බි නායකයා සහ තමන් විසින්ම ත්‍රිත්ව විද්‍යාලය වෙත ගොස් ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටින බවයි.

“එදාම මං හිතුවා ඊළඟ සතියේ දී මගේ කණ්ඩායමේ නායකයාත් උප නායකයාත් එක්ක ත්‍රිත්ව විද්‍යාලයට ගිහින් ඔවුන්ගේ විදුහල්පතිවරයාත්, නායකයාත්, උප නායකයාත් හමුවෙලා සමාව ඉල්ලලා අපි දෙගොල්ලන්ගේ පොදු අවබෝධය නැවතත් ගොඩනගාගෙන, අප තුළ තිබුණු ශක්තිමත් බැඳීම ඒ විදිහටම පවත්වා ගෙන යන්න.”

තමාගේ වචනය එලෙසින්ම ක්‍රියාවට නැංවූ වෙස්ලි විද්‍යාලයීය විදුහල්පතිවරයා පසුගිය දා ත්‍රිත්ව විද්‍යාලයට ගොස් එහි විදුහල්පති සහ රග්බි නායක/උපනායක හමුවිය. තවදුරටත් වාර්තා වන්නේ වෙස්ලි විද්‍යාලයේ අධිකාරීන් විසින්, නැවතත් එවන් ගැටුමක් සිදුවීම වළක්වා ගැනීමට අවශ්‍ය විනයානුකූල පියවර ගනු ඇති බවයි.

ThePapare.com අපි, සෑම විටම ක්‍රීඩාවේ යහපත් මානයන් අගය කරන මාධ්‍යයක් වශයෙන්, මෙම ක්‍රියාව අගය කරන්නෙමු. සෑම කණ්ඩායමක්ම ජයග්‍රහණය වෙත පමණක්ම අවධානය යොමු කරන මෙවන් අවධියක ක්‍රීඩාවේ වටිනාකම් සහ සාරධර්ම වියැකී යන සේයාවක් අපි දැක ඇත්තෙමු. විශේෂයෙන්ම නව යොවුන් ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි එවන් වටිනාකම් ඔවුනට පහදා දීමේ වගකීම ඇත්තේ වැඩිහිටි බලධාරීන්ටයි.

තම තමාගේ කණ්ඩායම් හැඟීම පාලනය කර ගැනීමකින් තොරව ක්‍රීඩාවට අවමන් වන සේ ක්‍රියා කරන සියලු ක්‍රීඩකයන් අදාළ සීමාවන් තුළ රඳවා තබා ගැනීම වෙනුවෙන් වෙස්ලි විද්‍යාලාධිපතිතුමන් විසින් තබන ලද උක්ත පියවර, අනෙකුත් බලධාරීන්ට ද අනුගමනය කළ හැක්කකි. වෙස්ලි විද්‍යාලයීය විදුහල්පතිතුමනි, ඔබට අපගේ ආචාරය!

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට